Tuesday, January 17, 2023

👉 මරණ විකුණගෙන කන කාළකණ්නි දූපත් ජීවිත 👈

 


මං මැරුණාම මං ගැන හෑලි ලිය ලිය, මං මැරුණු විදිහ ගැන විචාර ලිය ලිය, මං කරපු දේවල් ගැන නිසදැස් ලිය ලිය, මගේ පොටෝ ශෙයා කර කර උඹලගේ රීච් හදා ගන්න රැල්ලට හැ මි නෙන්න එපා මචන්....  ප්ලීස්. අඩුම තරමේ උඹලගේ හෑලි වලට මගේ පොටෝ දාන එක, මගේ පොටෝ ශෙයා කරන එක, මගෙ පොටෝ පාවිච්චි කරන එක නොකර හිටහල්ල... 

මොකද මගේ පව්ලේ ඥාතීන්ට, මගේ සමීපතමයින්ට හා හිතවතුන්ට, මගේ දෙමාපියන්ට හා සහෝදර සහෝදරියන්ට, ඒ මගේ පොටෝ ආය ආය දකින එක හෙනම ආතල් එකක් වෙන්නෙ නෑ... මගෙ පොටෝ එක දකින දකින වාරයක් ගානේ මට ආදරය කරපු අය වේදනා විදියි...  ප්ලීස්. මං මැරුණාම උන්ට හිත හදා ගන්න දීපල්ලා. උන්ට පාඩුවේ ඉන්න දීපල්ලා. ජීවත් වෙලා ඉන්න උන් ආය ආය නොමරා හිටහල්ලා... ආය ආය ඒ හිත් පාරන්න එපා.

බලාගෙන ඉදලා බැරිම තැන මෙහෙම කියන්න උනේ... මේ තියෙන්නෙ මගේ සමීපතම මිතුරියක් ඝාතනය උනාම, ඒ කෙල්ලගෙ පොටෝ විකුණගෙන කන විදිහ දැකලා වේදනාවෙන් ලියපු ලිපියක්... මේක ආයම දාන්න හිතුනා මට...
...................................................

මම ඉතාමත් කණගාටුවෙන් හා පිළිකුලෙන් යුතුව මෙසේ ලියා තබමි.

නිර්වාණය කියා හෝ නිවන කියා ලබ්බක් තිබේදැයි මා නොදනිමි. එසේ තිබුනත් නැතත් මට කමක් නැත. නමුත් නිවන කියන එක ෆේස්බුක් එකේ හෝ වෙනත් සමාජ ජාලාවක  "නිවන් සුව ලැබේවා...!" යැයි කියා අදාල මිය ගිය අයගේ පොටෝ එක දැමීමෙන් ලැබෙන්නෙ නැති බවනම් මා හොඳින්ම දනිමි. නිවන එසේ පොඩි වැඩකින් ලබා දෙන්න පුළුවන් එකක් නම් මාර ආතල් ය. නමුත් ඒක එහෙම නෑ බන් ය...

බොහෝවිට ඔය මිය ගිය කෙනෙකුගේ පොටෝ එකක් සමාජ මාධ්‍යයේ දමා "නිවන් සුව" බැනර් එක ගහන්නෙ වැස්සකටවත් පංසලකට ගොඩ නොවුන උන් වෙන්නට ඇතිය. සමහර වෙලාවල් වල "නිවන් සුව ලැබේවා...! අපි අතරම ඉපදේවා...!" යැයි එකටම අමුණලා ය. නිවනුත් ගිහින් අපි අතරම ඉපදෙන සීන් එක දකින මට සිතුනේ මා දන්නා ලබ්බක් නැති බවය. එක්කො නිවන අප්ඩේට් වෙලා වෙන්නට ඇතිය.

             එසේත් නැතිනම් එසේ දමන්නේ තමා මාර ටෞඛ්න බෞද්ධයෙක් යැයි හිතාගෙන එය උලුප්පා පෙන්වීම ආඩම්බරයක් කර ගත්තු උන් වෙන්නට ඇතිය. සමහරවිට මිනිස්සුන්ගේ නූගත්කම නිසාම එසේ නිවන් සුව ලබාදීම පාර්ථනයකින් කළ හැකියි උන් සිතනවා ඇතිය. බුදුන් කියා ඇත්තේනම් "නිර්වාණං පරමං සුඛං" ය.... මේ නිවන් යවන විදිහත් මාර සුඛංය.... සු නොව හු ය....

බොහෝවිට ඔය හුඟාක් උන් "නිවන් සුව ලැබේවා..!" යැයි අනෙකාගේ පොටෝ ෆේස්බුක් දාන්නේ සැබැවින්ම අනිකාව නිවන් යැවීමට නොව.... අනෙකාගේ මරණයයි මළ මිනියයි විකුණාගෙන කෑමට තියෙන පෙරේතකම නිසාය. සමාජ මාධ්‍ය ජාලයේ තියෙන ලයික් කොමෙන්ට් ශෙයා ආදීන්ගෙන් මිලක් දී මිනී විකුණන්නට ශ්‍රී ලාංකිකයන් වන අපි ජාතියක් ලෙස අපි මාර දක්ෂය. මිනිස්සුන්ට අවශ්‍ය වන්නේ කුණු රසය.. ඒක මළ මිනියකින් යසට උන් වලදින්නේ මළ මිනියට උඩින් "නිවන් සුව ලැබේවා.." යැයි අයිසින් දාමා ගෙන ය. සැබැවින්ම පිළිකුල් ය. තූ නොදකින් ය.

මේක කාළකණ්නි රටක් ය.. අසූචි කන බහිරවයින්ගෙන් පිරුණ මාධ්‍යය භාවිතයක් තියෙන රටක් ය. අතවරයකට ලක් උන කෙනෙක්ගේ පොටෝ පෙන්නමින් දහස් වාරයක් සමූහ දූෂණය කරන, මරණයක් සිදු වූ පසු මිය ගිය කෙනාගේ පොටෝ පෙන්නමින් දහස් වාරයක් ඝාතනය කරන, විනාශ කරන, මැරුණ කෙනාව විතරක් නොව මැරුණ කෙනාගේ සමීපතමයින් ද දහස් වාරයක් ඝාතනය කරන මාධ්‍යයක් තියෙන රටක් ය.... සැබැවින්ම ම පිළිකුල් ය. තූ නොදකින් ය. ඒකටම හරියන්නට හැදුන සමාජ මාධ්‍යය භාවිත කරන තාරුණ්‍යයත් මරේ මරු ය.

කෙසේ නමුත් අපි වසර 2500ක ඉතිහාසයක් තියෙන ප්‍රෞඩ ජාතියක් ය. අපිට මිනිහෙක් ගේ මරණයක් තරම් විකිණිය හැකි තවත් යමක් නැතිය.... බෙල්ලෙ වැල දා ගත්ත කෙනෙක්, ඔලුවට වෙඩි තියා ගත්ත කෙනෙක්, වාහනයකට හැප්පුන කෙනෙක්, බෙල්ල කපපු කෙනෙක්, ඔය එකී මෙකී නොකී අයුරින් මැරෙන හැම කෙනෙක්වම මාතෘකාවක් කරගෙන මැරුණ කෙනාගේ චරිතය හෝ මරණය වූ ආකාරය කියා මළ මිනිය ඝාතනය කරන්නේ කරන්නට දෙයක් නොමැති නිසාද කියා මට තේරෙන්නේ නැතිය.... මැරුණ කෙනාගේ පොටෝ, මළමිනියේ පොටෝ, කලින් දාපු ස්ටේටස්, පෙර වැරදි, ගතිගුණ, ගුණ කතන, කවි, පත හෑලි, අරකයි මේකයි අර රෙද්දයි මේ රෙද්දයි ඔක්කොම අවුස්ස අවුස්ස උන් එසේ හැසිරෙන්නේ ලයික් කොමෙන්ට් වෙනුවෙන්ද නැතිනම් ප්‍රසිද්ධිය වෙනුවෙන්ද කියා තේරෙන්නේම නැතිය...

තව සමහර උන් මැරුණ කෙනා එක්ක සමීප සම්බන්ධයක් නැතුව, හතුරු කමක්වත් නැතුව, කොටින්ම දැකලවත් හම්බෙලාවත් නැතුව මැරුණ කෙනා ගැන ලොකු ලොකු ටොක් දමන්නේ, උගේ ජීවිත කතාව ලියපු එකා ලෙස ය. ඒ තරම් ලාංකිකයන් දැනුමෙන් සන්නද්ධ ය.

ඔය බහුතරය ටෞඛ්න බෞද්ධ සෙට් එක ය. අපි බුදු බණට හීලෑ උන යක්කු බොලව් කියන, අපි බුද්ධාගම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති කියන, ටෞඛ්න බෞද්ධයන් ය. ඇහුවොත් තෙරුවන් සරණ කටේ ය. පංචශීලය කරේ ය. බුදුන් හිසේ ය. නමුත් කිසිදා දැකලවත් නැති ප්‍රවෘත්ති වලින් දැකපු සිද්ධියකට කියන්නේ "ඕකි බඩුව, බඩුවට බඩුව නොකියා මොකක් කියන්නද ?" "ඕකුන් මැරෙන එකම තමයි හොඳ..." කියා ය. හෙන ශීලවන්ත පිංවන්ත බෞද්ධයෝ ය. කොටින්ම උන්ට අවම සදාචාරයවත් නැති ය....   ආය කතා දෙකක් නෑ " carry ම බෞද්ධයෝ ය.."

මේ සතිය ඇතුලත මට දැනුන දෙයක් ඇත. ඒ, තමන්ගේ ජීවිත වල තියෙන අදුර බොහෝ උන්ට නොපෙනෙනවා වෙන්නට ඇතිය. එක්කො උන් ඒක නොදැක ඉන්නවා වගේ රඟපෑමක යෙදෙනවා විය හැකිය. නමුත් උන් අදුරේ ය. තමන් ඉන්නෙත් අනිත් උන් වගේම මහා කාළකණ්නි තැනක කියා උන් දන්නෙ නැති ය... මෑතකදි මට ඇසුණු වචන කීපයක් මෙසේ ය.

"ආමි එකේ එකෙක්ගේ ගෑණියෙක් කියන්නේ බඩුවක්ම තමයි...! මම ගහලා තියෙනවා අම්බානකට ආමි උන්ගේ ගෑණුන්ට...! ආමි එකේ උන් ගෙදර එන්නෙ නෑනෙ, ඒ නිසා ගෑණු ඉන්නෙ අමාරුවෙන්....!"

පුදුමෙට කාරණය, මෙසේ කියූ එකාගේ පියා හමුදා නිළධාරියෙක් ය.... එසේනම් මේ කියා ඇත්තේ තමන්ගේම අම්මා ගැන නොවේදැයි ඔවුන්ට නොතේරෙන තරම් උන් අදුරේ ය.
.........................................

අවසානයේ කීමට ඇත්තේ මෙයයි...,

මිනිසුන් හා සතුන් අතර ඇති වෙනස මිනිසුන්ට ඇති සහකම්පනය (empathy) බව මම තදින් විශ්වාස කරමි. අනෙකාගේ දුක වේදනාව දැනෙන තාක් කල්ම අපි මනුශ්‍යන් සේ ජීවත් වනු ඇත. අනෙකාගේ දුකේදි සතුටු වෙනවනම්, සතුටු වෙන්න පුළුවන්නම් ඒ මනුශ්‍යත්වයෙන් ගිලිහී යන මිලේච්ඡ ජීවියෙක් යැයි මම විශ්වාස කරමි.

මහා කාරුණික දහමක් අදහන සරණ යන බහුතරයක් මනුශ්‍යත්වයෙන් ගිලිහී යන්නේ ඇයි ද කියා මට තේරුම් ගත නොහැකිය.... තව අයෙකුට දුකක් කරදරයක් වූ විට, "ඌ කරපු පව් නිසා ඔය, හොඳ වැඩේ ඕකට" යැයි සිතන්නේම මහා කාරුණික දහමක් සරණ යන, කර්මයක් විශ්වාස කරන, කර්මයක් කර පින්නාගෙන යන උපාසක උපාසිකාවන් ය...

මට මතක් වෙන්නේ මා කිය වූ ලිපියක කොටසකි.....

විසි එක්වන සියවසේ තාක්ෂණය සහ සන්නිවේදනය අතින් අප එකිනෙකා කොයිතරම් ළං වෙලා යැයි අප සිතුවත් මානුෂීය හැඟීම් අතින් අප එකිනෙකාගෙන් කොයි තරම් ඈත් වෙලාද? එක ගොඩේ ජීවත් වුනාට අනෙකාගේ හැඟීම් නොදැනෙන්න තරම් අපගේ සහකම්පනය(empathy) ක්ෂය වෙලාද?

“කාලකණ්ණි දූපත් ජීවිත…
ඉපදෙනවා විතරයි. ඊට පස්සෙ කුණු වෙනවා…
මිනිස්සු ළඟ වැඩියි....
ඒ හින්දම එකෙකුට අනිත් එකාව දැනෙන් නෑ.”

අනෙකාගේ දුක නොදැනෙන මිනිසුන් තුළ ඇති හිස්කම පිරවීමට කුමන ආගමටවත් කුමන විද්‍යාවටවත් කුමන දර්ශනයටවත් නොහැක.

මිනිස්කම මිය යන තැන එතනය...

2021/03/07
#අකිල

පරණ ලිපියකි. මෙය නැවත දමන්නට හේතුව ඔබට දැනටමත් වැටහී ඇත....