Tuesday, December 29, 2020

👉 වල් බල්ලට පණු පෙති.... 👈


මේ පාර හේනේ කුරහන් ඉහින්න පටන් ගත්තු මුල්ම දවස් වල ඉදන් මගේ ඔළුවේ තිබ්බා බල්ලෙක් හදන්න ඕනි කියලා අදහසක්... ඒ හේනට පාටි දාන්න එන බීමත් රිලව්, වදුරො, මොනරු, හාවෝ, ඌරෝ, හරක්, අලි වගේ නොසන්ඩාලයෝ බය කර ගැනීමේ අරමුණෙන්. ඉතින් ඔය කුරහන් වපුරන අතරේ මහන්සියට තේ බොන අරමුණෙන් පාර්ලිමේන්තු සැසියක් තියෙන වෙලාවක මගේ අදහස යෝජනාවක් විදිහට අපේ ගෙදර අයට ඉදිරිපත් කරලා ඒකමතිකව සභා සම්මත කර ගන්න මට පුළුවන් උනා... ඇත්තටම ඒකමතිකවම නෙවේ, අම්මගේ බර බරේ මැද්දේ තමා ඒක සම්මත උනේ... කොහොමෙන් කොහොම හරි ප්‍රජාතන්ත්‍රවාදී පව්ල් සංස්ථාවක් ඇතුලේ අපි බලු පැටියෙක් හොයාගෙන හදන එක ගැන විවිධ තීරණ හා සැලසුම් සාකච්ඡා කරා...

"කුරහන් වලට යන්නේ මාස තුන හමාරයි. එතකොට දැන් බලු පැටියෙක් හොයා ගත්තොත් මාස තුනක් යනකොට ඌ ටිකක් ලොකුයි. මාස තුනක් වෙනකොට තමා කුරහන් රකින්න අමාරුම. එතකොට ඌ සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි..." එහෙම කිව්වේ මම...

"එකෙක් නෙවේ. දෙන්නෙක් හදන්න ඕනි. බල්ලෙකුයි බැල්ලියෙකුයි හැදුවොත් තමා හොඳ... වට කරලා සත්තු අල්ලයි. දෙන්නෙක්නේ අකිල එතකොට" එහෙම කිව්වේ අයියා...

"ආපෝ උන් පැටව් දාන්න ගත්තාම එපා වෙයි" එහෙම කිව්වේ ආයෙත් මම...

"ඒකටනම් බැල්ලිව ඔපරේෂන් කරලා දාන්න බැරියෑ බන්.. නැත්නම් බල්ලොම දෙන්නෙක් හදන්න ඕනි..." එහෙම කිව්වේ තාත්තා...

"පොඩි කාලේ ඉදන් හේනෙම හදා ගන්න. ගෙදර ගේන්න බෑ. ගෙට ගන්නත් බෑ. ජරාව අයින් කරන්නත් ගේන අය භාර ගන්න ඕනි.., මං ආය නොකිව්වයි කියන්න එපා.." එහෙම කිව්වේ...., ඔව් ඔව් අම්මා තමයි...!

"හේනෙම හදන්න බෑ. ගෙදර හදලා හේනට ගේන්න ඕනි. පොඩි කාලේ ඉදලා හේනෙ හැදුවොත් බල්ලො රිලව්න්ට පුරුදු වෙයි.. රිලව් එක්ක යාළු වෙයි.... ආය රිලව්න්ට බුරන එකක් නෑ."  එහෙම කිව්වේ ආයෙත් අයියා...

අයියා කියන එක හරි. මට මතක් උනේ සත්තිගුම්බ ජාතකය... අර ගිරව් පැටව් දෙන්නෙක් හුළං බොකන වෙලාවක දෙපැත්තක වැටිලා එක ගිරවෙක් යහපත් වචන කතා කරනකොට අනිත් ගිරවා "පෙත්තෝ පෙත්තෝ කියනකොට, පෙත්තො නෙවේ හු#තෝ කන්න දෙයක් ගෙනපිය" කියපු ජාතක කතාව... 

ඒක මතක් වෙලා පණ්ඩිතයා වගේ,
"අයියා කියන එක හරි අම්මා. පොඩි කාලේ ඉදන් නරක ආශ්‍රයට වැටුනොත් බල්ලො නරක් වෙන්න ඉඩ තියෙනවා. නරක ආශ්‍රය නිසා රිලවෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ගස් නගින්නත් ඉඩ තියෙනවා...!!!" කියලා කියපු නිසා මම නිකම් මෝඩයා උනා.... 

..............................................................

ඔහොම සතියක් විතර ගියා. අපි බලු පැටව් හෙව්වා හෙව්වා හැම තැනම. අපේ කරුමෙට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ම වල් බල්ලෙක්ගෙ පැටියෙක් හොයා ගන්න හම්බුනේ නෑ. අහන අහන එකා ගාව පැටව් ඉන්නවා, හැබැයි සල්ලි වලට. නිකම් දෙන්නෙ නෑ. අනික හෙන ගණන්. හරියට සිංහල තේරෙන සිංහල බල්ලො වගේ සීන් එකක් තිබ්බේ... සමහර පැටව්න්ගේ ගණන් කියනකොට මට අහන්න හිතුනේ යකෝ මේ පැටිය හැදුනේ උගේ අම්මට සිංහයෙක් මෙව්වා කරලද ?" කියලා... හැබැයි හිතුනා විතරයි ඇහුවේ නෑ මම.... සිංහල බල්ලන්ගෙ ලොකුකම කියලා මට එදා තේරුනා... ඒත් මගෙ කරුමෙට මුෂ්ලිම් බල්ලෙක්වත් හිටියේ නෑ...

ඇත්තටම මට ඕනි උනේ දඩාවතේ යන, මං මුලාවී පාර අසාගෙන, සසරක් හොයමින් යන, සසරක් නැති බලු පැටව් දෙන්නෙක් හොයා ගන්න.... මම මගේ පාප මිත්‍රයාට SMS එකක් දැම්මා...

"ඒ මචන්..  බලු පැටියෙක් හොයලා දියන්කො" කියලා.  

උගෙන් රිප්ලයි එකක් ආවා.. ප්‍රශ්නාථයක්.
"ඒ මොකටද යකෝ ?"

"කන්න කියලා හිතුවද ප#යෝ... හදන්න හොයන්නේ"

"ඉතින් මාව හදා ගනින්කො"

"අනේ හුයන්නො... බැල්ලියක් නෙවේ හොයන්නෙ බල්ලෙක්....!" කියලා මම ඒ සංවාදේ නතර කරා... 

කොහොමෙන් කොහොම හරි බලු පැටව් හම්බුනේ නෑ සෑහෙන්න හොයලත්. තව සතියක් විතර ගියා බලු පැටව් හොයමින්... ඔහොම යනකොට දඩයමෙන් දිවි ගෙවන, කැලෑ වැදිලා ඉන්න වල් බල්ලෝ දෙන්නෙක් මාරුවෙන් මාරුවට නිතරම හේනට එන්න ගත්තා... මොකද අපි දවසෙ වේල් දෙකක්ම කෑවේ හේනේ ඉදන් ඒ දවස් වල. ඉතින් ඉතුරු බත් දාන නිසා මුන් දෙන්නා සැරෙන් සැරේට කන්න ආවා... මුන් හෙන සැර, දරුණු, දඩයම් කරන, සත්තු මරාගෙන කාලා ජීවිතේ ගෙවන උන් දෙන්නෙක්... අනික මිනිස්සුන්ට හෙන බය ගතියක් තිබ්බා. අපි ලං වෙනකොට මුන් දුවනවා..

හැබැයි ඉතින් මම උන්ට ආදරේ දක්වනකොට උන්ගෙන් එකෙක්ට ඒක දැනෙන්න ගත්තා... "සම්මත උනත් අසම්මත උනත් ආදරේ දැනෙන තැනක තමයි රැදෙන්න ඕනි" කියලනේ ඔය කෙල්ලොයි බල්ලොයි දෙගොල්ලොම හිතාගෙන ඉන්නේ.... (හැබැයි පූසොයි පූසියොයි ඒම නෑ ඈ. උන්ට කොහොම සැලකුවත් උන් හිතාගෙන ඉන්නෙ උන් තමයි අපිව පාලනය කරන්නෙ කියලා... කිරි කැටියො. දෙන්නෝන පයින් ඕකුන්ට) ඉතින් මම මුන්ට බත් දාන එක පුරුද්දක් කර ගත්තා. හැමදාම බත් විසික් නොකර තියාගෙන ඉදලා උන් එන වෙලාවට දුන්නා... උනුත් දවසෙ එක වෙලාවකම ආවා. කොහොමෙන් කොහොම හරි මම මුන් එක්ක යාළු වෙලා, මුන්ව අත ගාලා, කනේ ඇහේ බෙල්ලෙ හැම තැනම හිටිය කිණිතුල්ලො ගලවලා ගිණිගොඩට දාන එක පුරුද්දට ගියා. හැබැයි දෙන්නගෙම නෙවෙ එකෙක්ගේ. අනිත් එකානම් අල්ලන්න ලං වෙනකොටත් බලු කුණුහරුපෙන් බනිනවා... හැබැයි ශේප්. කරදරයක් නෑ. "පාඩුවේ හිටපන් ලව් කරන්න එන්නෙ නැතුව" වගේ සීන් එක්කින් ඌ ඉන්නෙ.. අව්ලක් නෑනේ ඒත් හේනෙ ඉන්නවනම්. ඉතින් මුන් දෙන්නා දවසෙම හේනේ ඉන්න පුරුදු උනා කුරහන් වලට මාසයක් වෙනවත් එක්ක. මොකද අපේ ගෙදර කෙනෙක් අනිවාර්යයෙන් ම හේනේ ඉන්න ඕනි උනා හරක් රිලව් මොනරු වගේ උන් නිසා... ඉතින් හේන තනි නොකර අපි හිටියා. අපිව තනි නොකර බල්ලො දෙන්නා හිටියා....



මේ බල්ලො දෙන්නගෙයි අපෙයි බැදීම තවත් ශක්තිමත් වෙන්න හේතු උන තව කාරණයක් තිබ්බා... ඒ හාවෙක්. ඒ දවස් ටිකේම බීමත් හාවෙක් වෙරි පිට ඇවිත් කුරහන් යාය විනාශ කර කර හිටියේ... අපි මොකද කරන්නෙ කියලා හිත හිත හිටියට මුකුත් කර ගන්න බැරි උනා අපිටත්...ඉතින් දවසක් පාන්දර 1.25ට පැලේ නිදාගෙන හිටිය මට ඇහුනා සද්දයක්. මම ඉස්සෙල්ලා වෙලාව බලලා, පස්සෙ ටෝච් එක ගහලා බැලුවා... ම්හූ... මුකුත් පේන්න නෑ... මම ටෝච් එක ගහලා බලන ගමන් හිටියේ.... එතකොට දැක්කා ඇස් දෙකක් කුරහන් යායෙ. "ඒයි..!හාවෙක් නැගිටපන්...! නැගිටපන්...!" කියල අයියවත් නැගිට්ටුවට පස්සෙ තමයි දැක්කේ ඒ අපේ ගස් බල්ලා කියලා.... විසිල් එකක් ගැහුවාම බල්ලා අපි ගාවට ඇවිත් නැට්ට වනලා ආය හිටපු තැනට ගිහින් අපි දිහා බලාගෙන හිටිය නිසා අපි දෙන්නත් අකමැත්තෙන් ම "යමන්කො බලන්න" කියලා ගියා එතෙන්ට...

කුරහන් යායක පාන්දර එකට ගියා කියන්නෙ මුහුද මැදට ගිහින් වැල්ල පෑගුවා වගේ තමා... පින්නට කකුල් දෙකම තෙමෙනවා. සීතල එහෙන්... පින්න එහෙන්. ඒත් හෙන අකමැත්තෙන් යනකොට මෙන්න හෙන පත කිලෝ දෙකක විතර හාවෙක් නිදි කුරහන් යාය මැද... බේබදුකමට බීලා වෙරි පිට ඇවිත් මෙතන වැටිලා... දැන් උඹලට හිතෙයි "ළමයින්ට කන්න ගේන්න ගියපු තාත්තා කෙනෙක් නේද...! දැන් ළමයි පව්, තාත්තා නැතුව බඩගින්නේ ඉදියි නේද....!" කියලා.... මට හිතුනෙත් ඒක... අම්මපා මේ බල්ලට හිතිලා තියෙන්නෙත් ඒක.... ඒ නිසාම මේ බීලා වැටිලා ඉන්න හාවට කෘතිම ශ්වසනය දීලා පියවි සිහියට අරන් ගෙදර යවන්න අපේ බල්ලත් සෑහෙන්න උත්සාහ කරලා කියලා තේරුණා හාවගෙ බෙල්ලෙ තිබ්බ බල්ලගෙ දත් පාරවල් නිසා.... ඒත් වැඩක් වෙලා නෑ... අපි යනකොටත් මැරිලනෙ. 



ඉතින් පාන්දර එකට අධිකරණ වෛද්‍යතුමා නිදිනේ... ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණය කරනකම් හාවා ගෙනල්ලා වාඩියේ එල්ලලා අපි දෙන්නා නිදා ගත්තා... පහුවදා හාවගෙ පශ්චාත් මරණ පරීක්ෂණයකදී ඔප්පු උනා අධික බීමත්කම නිසා සිරෝසිස් හැදිලා හාවා මැරිලා තියෙන්නේ කියලා. හාවා මැරෙන්න ඔන්න මෙන්න ඉන්නකොට හාවා බල්ලගෙන් ඉල්ලීමක් කරලා තිබ්බා... ඒ ඉල්ලීමේ පරිදි හා මස් වලින් කොටසක් බල්ලන්ටත් ඉතුරු කොටස් ටික කතරගම දෙවියන්ටත් ගිහින් දුන්නා... නෑ නෑ කතරගම දෙවියො හා මස් කන්නෙ නෑ. සමහරවිට ඔය කතරගම දෙවියො අදහන බැතිමතෙක්ට හරි දෙවියන්ගෙ දාසයා උන කඩවර මල්ලිට හරි දෙන්න ඇති... මමනම් හිතන්නෙ බැතිමතෙක්ට දෙන්න ඇති. අනික දෙවියො දුන්නම අහක දාන්න බෑනේ කාට උනත්...😋  ඉතින් හාවගෙ ඉල්ලීම ඉටු කරපු නිසා බල්ලන්ට සෑහෙන්න සතුටුයි. ඒ නිසා බල්ලන්ගෙයි අපෙයි බැදීම තවත් ශක්තිමත් උනා... බේබදු හාවො එන එකත් නතර උනා..... 

.............................................................




රෑට අලි හරක් ආවත් කතරගම දෙවියො ආවත් බුරලා සද්දේ දාලා අපිව ඇහැරවන්නේ මුන් දෙන්නා. සමහර දවස් වලට සමන් දෙයියෝ, විශ්ණු දෙයියො, ශිව දෙයියෝ, ගණ දෙයියෝ, පවා එලවන්නෙත් මුන් දෙන්නා.. දවල්ට හරක් එලවන්නෙ මුන් දෙන්නා... කොටින්ම හේන සම්පූර්ණයෙන් ම වගෙ ආරක්ෂා කරන්නෙ මුන් දෙන්නා.... දැන් තේරෙනවනෙ ඔයාලට බල්ලො දෙන්නා හම්බුන විදිහ... හැබැයි කතාව ඒක නෙවේ. මුන්ට මේ ලඟකදි ඉදන් පණු අමාරුව හැදිලා. කුරහන් කොල කනවා. එක එක කොළ ජාති කනවා. වමනෙ දානවා. කන්නෙ අඩුවෙන්. කම්මැලිකමේ ඉන්නෙ. නිදා ගත්තු ගමන්මයි... අලස ගතියෙන්... ඉතින් ඔය රෝග ලක්ෂණ එක්ක මම තීරණය කරා මුන්ට පණු බෙහෙත් දෙන්න.

මම ගියා ඉතින් මුළු විශ්වයේම මගේ ප්‍රියතම ෆාමසිය වෙච්ච බකමූණෙ එක්තරා ෆාමසියකට.... මගෙ හදවත තප්පර ගානකට මෙව්වා වෙලා යන ඇස් දෙකක් තියෙන එකම තැන... ෆාමසියේ කීප දෙනෙක් හිටියත් මෙදා මගේ කරුමෙට ඒ ඇස් දෙකම තමා මං ගාවට ඇවිත් ඇයි ඇහුවේ ? අහන ශබ්ධයක්නම් ඇහුනේ නැද්ද මන්දා... ඒත් ඒ ඇස් දෙක ලාවට උස්සපු විදිහෙන් "ඇයි" කියලා අහනවා මට දැනුණා.... මම "බල්ලන්ට පණු බෙහෙත් තියෙනවා ද ?" අසමින් ඇය දෙසට පාත් උනා... ඒ ඇස් දෙක දිහා බලපු මිලි තප්පර ගානට, මට අමරදේව මහත්තයා මතක් උනා.. එතුමා මතක් වෙන්න සාධාරණ හේතුවකුත් තිබුණා... අමරදේව මහත්තයාගේ

නිම් හිම් සෙව්වා මා සසරේ....
හමුවී යුගයෙන් බැඳි යුගයේ....
ලං වී වෙන් වී වරින් වරේ... 
ඔබ හා මා රන් හුයකින් බැඳුනේ.... 

සිංදුව මගේ ඔළුවෙන් ඇහෙන්න ගත්තා... ඇහෙන්න අරන් මගේ ඇස් දෙක එයාගෙ ඇස් දෙක පැත්තට බර වෙන්න ගත්තා ටිකෙන් ටික.., හින්දි ෆිලුමක කොස් කිරන්න ලෑස්ති වෙන රොමෑන්ටික් සීන් එකක් වගේ. ඊළඟ පදය යන්න හදනකොටම "දිවියේ ආආඅ "දඩෝං"......!

මගේ හෙල්මට් එකේ වයිසර් කෑල්ල ඇයයි මායි අතර තිබුණු කොරෝනා ආරක්ෂක වීදුරු පවුරේ වැදුනා.... 

ඇය, ඇස කට නාසය මාස් එක ඇතුළු මුළු මූණම අත් දෙකෙන් වසා ගත්තා.... ෆාමසියේ හිටිය සියළු දෙනාම තුෂ්නිම්භූත වෙලා මං දිහා බලනවා වගේ මට දැණුනා.... මම හිතුවේ වීදුරුව ඉවරයි කියලා... එහෙම හිතෙනවත් එක්කම අතේ තියෙන්නේ රුපියල් 200ක් විතරයි කියලා මතක් වෙලා මගේ ඇස් දෙකත් මිලි තප්පර ගානකට වැහුනා... ඒ මිලි තප්පර ගානේ කොහේදි හරි හු#කනවා කියන පදයේ ඉංග්‍රීසි වචනෙ හිතින් කියවුනා.....

මම ඇස් ඇරලා බලනකොට තමයි ඇයත් ඇස් ඇරලා බැලුවේ... මගෙ වෙලාවට අව්ලක් වෙලා නෑ. ඇය "මොනවද ?" කියලා මේ පාර කටින්ම ඇහුවා ශබ්දෙන්. මමත් ලං වෙන්නවත් ඇස් දිහා බලන්නවත් නොගිහින් වීදුරුව දිහා බලාගෙනම "බල්ලන්ට පණු පෙති තියෙනවා ද ? ඇහුවා..

"බල්ලන්ට දෙන්න කලින් තමුසේ බීලා ඉන්නවා.." ඇය එහෙම කිව්වේ නෑ. හැබැයි එහෙම හිතන්න ඇති කියලා මට හිතුනා...  ඒ වෙනුවට එයා, 

"බල්ලගෙ බර කීයද ?" ඇහුවා...

යකෝ මේ වල් බල්ලන්ගෙ බර බලන්න මම ඕකුන්ව වඩා ගන්නවා කියලැයි... අනික මේ වල් බල්ලන්ගෙ බර බල බල ඉන්න උන් මසට ගන්න කුකුල්ලු යැයි.... 

දස අතේ කල්පනා කරලා සාමාන්‍යය ගැලපෙන උත්තරයක් දුන්නා... "ටිකක් ලොකු බල්ලෙක්" කියලා...

"කිලෝ 10ක් විතර ?" ඇය ඇහුවාම මම "ඔව් ඔව් ඒ වගේ ඇති" කියලා කිව්වා...  එහෙම කියලා පෙති දෙකක් ගත්තා... වෙලාවට 160ක් විතර ගියේ. රුපියල් 200ක් විතරයි අතේම තිබ්බේ... 

"කොහොමද දෙන්නේ මේක ?" කියලා අහපුවාම ඇය,

"කිරි එකට දාලා දිය කරලා දෙන්න...!" කිව්වා...

"එළු කිරි වලටද ? බලු කිරි වලටද ?" 
කියලා අහන්න හිතුනට මම ඇහුවේ නෑ... හිතෙන හිතෙන හැමදේම අහන්න යන්න හොඳ නෑ...

යකෝව් කිරි... ? අපිටවත් කිරි නැතුව කොහෙන්ද යකෝ බල්ලන්ට කිරි දෙන්නෙ කියලා කල්පනා කරලා ප්‍රශ්නාර්ථ මූණකින් "කිරි වලට" කියලා ආයම කිව්වාම එතන හිටපු ෆාමසියෙ තව කෙනෙක් 

"මස් එකට දාලා දෙන්න. නැත්නම් ඕකේ අමුතු සැරක් එනවා. එතකොට බල්ලො බොන්නෙ නෑ" කිව්වේ නිකම් එයා බීලා තියෙනවා වගේ. සමහරවිට බීලා ඇති. බෙහෙත් පරික්ෂා කරලා බලලා නෙවැ දෙනවා ඇත්තේ... 

"හෑයියා මස්ස්ස්ස්... ඊයා හලෝ.. අපේ බල්ලෝ වෙජිටේරියන්... උන් මස් කන්නෙ නෑ.." කියලා ඕවර් ඇක්‍ටින් පාරක් දාන්න හිතුනට මම දැම්මේ නෑ. හිතෙන හිතෙන හැමදේම කරන්න යන්නත් හොඳ නෑ... ඊට පස්සේ මම ගෙදර ආවා කොහෙන්ද දැන් මස් කියලා කල්පනා කර කර.....

ගෙදර ෆ්‍රිජ් එකේ මස් තිබ්බෙත් නෑ. මොන මස්ද කියලා හිතලා, බත් එකට දාලා අනලා දෙනවා හිතාගෙන බත් එකත් අරන් බෙහෙත් පෙති දෙකත් අරන් ගියා හේනට. 

යනකොට මේන් මුන් දෙන්නා මුගටි පැටියෙක් මරලා.... එතෙන්ට වෙලා නැට්ට වන වන මට කියනවා "අඩෝ හොරෙක් ඇල්ලුවා... මේ බලපන්... මේ බලපන්... මේ බලපන්..." කියලා. ඔය මේ බලපන් කියන තාලෙට තමයි උන්ගෙ නැට්ට වැනුනේ... මුගටි පැටිය මැරිලා. උගෙ බඩවැල් එළියට ඇවිත් දඟලන විදිහ දැකලා මගෙ බඩවැල් තව පොඩ්ඩෙන් එළියට එන සීන් එකක් තිබ්බ නිසා "තොපි දෙන්නා ඕනි හු#තක් කර ගනින්" කියලා එතනින් කේන්තියෙන් එනකොට හිත රිදිලද මන්දා මුන් දෙන්නත් මගෙ පස්සෙන් ආවා.... 




කොහොම හරි පණු බෙහෙත් දෙක අරගෙන එකක් කුඩු කරන්න ලෑස්ති වෙලා උපකරණයක් හොයාන එනකොට, බිම තිබ්බ අනිත් බෙහෙත් පෙත්ත එකෙක් ඉටි කවරේ එක්කම කනවා... ඌට හෙන පණු අමාරුවක් තියෙන්න ඇති කියලා හිතුනා කවරේ එක්කම කනකොට. මේ බල්ලො කන දේවල් පරික්ෂා කරන්න ගිහින් කලිනුත් බලු කුණුහරුප අහලා අත්දැකීම් තියෙන නිසා මම ආය උගෙ ලඟටවත් ගියේ නෑ... ඌ ඒකම ගිල්ලා බලාගෙන ඉද්දී..... අනිත් එක තලලා කුඩු කරලා බත් එකට දාලා දීලා අනිත් බල්ලටත් කැව්වා.... 

දැන්නම් අව්ලක් නෑ.... ආය වල් බල්ලන්ට පණු බෙහෙත් නොදී ඉන්න මම තීරණය කරා...

#අකිල



8 comments: