Saturday, December 26, 2020

👉 අපි ත්‍රී වීල් එකක් ගත්තා බන්... 👈

 

        අපි ත්‍රී වීල් එකක් ගත්තා බන්... අපිට සතුටුයි ගොඩාක්. ඇත්තටම සතුටු වෙන්න ඕනි කාරණයක්නේ ඒක. හැබැයි ඒ ඇතුලේ පොඩි දුක හිතෙන සිදු වීමකුත් තියෙනවා බන්... අපි ගත්තේ පාවිච්චි කරපු වීල් එකක්. නෑ නෑ පාවිච්චි කරපු එකක් නිසා නෙවෙයි දුක හිතෙන කාරණයක් තියෙනවා කිව්වෙ. ඒක කලින් පාවිච්චි කරපු කෙනා නිසා.

       වීල් එක ගත්තේ අයියා අවුරුදු ගාණක් හම්බ කරලා එකතු කරපු සල්ලි වලින්. ඒ වගේම ඒ වීල් එකේ මුල් අයිතිකාරයත් ඒ වීල් එක මුලින්ම අරන් තියෙන්නෙත් කාලයක් එකතු කරපු සල්ලි වලින්. එයාට සල්ලි හදිස්සියක් නිසා තමයි වීල් එක විකුණනවා කියලා කිව්වේ. 

         ජීවිතේ හැමදාම එකම රිද්මයකට ගලාගෙන යන්නේ නැති එක තමයි ජීවිතේට තියෙන එකම අභියෝගය මම හිතන්නෙ. මිනිස්සුන්ට හැමදේම ලැබෙන, හැමදේම තියෙන කාලයක් වගේම හැමදේම නොලැබෙන, නැති වෙන කාලයක් ස්භාව ධර්මයෙන් අනිවාර්යයෙන් ම සෑම මිනිහෙකුටම උරුම කරන්නේ මේ ලෝකේ සමබරතාවය ආරක්ශා කරන්න වෙන්න ඇති... 

        ඇත්තටම වීල් එක විකුණපු මුල් අයිති කාරයා කීවේ ණය වගයක් පියවන්න වීල් එක විකුණනවා කියලයි. "අපි ලෝකෙට ණය වෙලා වීල් වලින් යනකොට ණය දුන්න අයට කොහොම හිතෙනවා ඇතිද... පයින් යන එක සැපයි ණය වලින් නිදහස් වෙලා" කියලා තමයි එයා කීවෙ. 

           සමහරවිට ඔය ඉරණමට අපිටත් මූණ දෙන්න වේවි. අපිටත් අපේ වටිනම දේවල් විකුණන්න සිදු වේවි. අපි එක්ක ආත්මීයව බැදිලා තියෙන දේවල් අපේ අසරණකමක් නිසා අමතක කරන්න වේවි. ඒ තමයි ජීවිතේ හැටි......

          අපි ආත්මීය විදිහට යමක් එක්ක බැදෙන්න ඒක පණ තියෙන දෙයක්ද නැති දෙයක්ද කියලා බලපාන්නේ නෑ මට හිතෙන විදිහට. සමහර උපකරණ, භාණ්ඩ තියෙනවා අපේ ජීවිතේ වටිනම තැනක් ලැබෙන. උදාහරණයක් කියනවනම් මගේ මේ පෝන් එක. අවුරුදු 7ක් පරණ උනත්, මේ වෙනකම් මේ පෝන් එක විකුණන්න මගේ අදහසක් නෑ. අදහසක් ඇවිල්ලම නෑ. අලුත් පෝන් එකක් ගන්න උවමනාවක් තිබ්බත් මේ පෝන් එක විකුණන්න බැරි බැදීම නිසා අලුත් පෝන් එක්කට යන්න බැරි අසරණකමකින් මාව ගැට ගහලා තියෙන්නේ.. මේ පෝන් එකේ කී දෙනෙකුගේ ජීවිත කතා, සිදුවීම්, ඡායාරූප, වීඩියෝ, මතක ඇත්ද...? ඒවා ඩිලිට් කරලා ෆෝර්මැට් කරත් මේ පෝන් එකෙන් ඒවා සඳහටම අයින් වේවිද....?

       එදා අපි ඒ වීල් එක ගන්න ගෙදරට ගිය වෙලාවේ, අපිට හොඳටම දැනුණා ඒ ගෙදර සාමාජිකයෙක් ගානටම තැනක් ඒ වීල් එකට ගෙදර අය දීලා තියෙනවා කියලා. අවුරුදු ගානක් ගෙදර දුකට සැපට හැමදේටම හිටපු ගෙදර සාමාජිකයෙක් අපි අරගෙන ආවා වගේ එයාලටත් දැනෙන්න ඇති. අපිටත් ඒ විදිහටම දැණුනා. තව කාලයක් යනකම් ඒ ගෙදර මේ සාමාජිකයා නැති අඩුව තියේවි... ගෙදර ඉන්නවා නිතරම එයාලට දැනේවි.

         එයා නෑ කියලා දැනුනාම ඇත්තටම කියා ගන්න බැරි අසරණකමක් දුකක් එයාලට දැනේවි. වීල් එක අරගෙන එන්න ගියපු අයියට, තාත්තට, මට වගේම ගෙදර ඇවිත් සිදුවීම කියනකොට අම්මට උනත් සතුටත් එක්කම මොකද්ද මන්දා දුකක්, අසරණකමක් දැණුනා කියලා මට විශ්වාසයි. ගෙදර දරුවෙක් වගේ හැදුන එයා ගිය අඩුව ටික කාලයක් තියේවි. හැබැයි ටික දවසකින් ඒක අමතක වේවි. මිනිස් ජීවිත එහෙමයි. 

       හැබැයි ඒ ගෙදර අයගේ කදුළු පිරුණු ඇස් කියපු කතාව, කෑ ගහපු ඇස් වලින් එළියට ඇහුන කතාව, "අනේ එයාව හොඳින් බලාගන්න" වගේ මට දැනුණ එක කවදාවත් මටනම් අමතක නොවේවි.....

#අකිල

No comments:

Post a Comment