Saturday, December 26, 2020

👉 තණමල්විල කොල්ලෙක් 👈


මම කැමති නිර්මාණවල කියවීම ඇතුලේ තියෙන කියවිල්ල කියවන්න. මාව නිතරම සතුටු කරන්න පුළුවන් උනේ ඒ වගේ නිර්මාණ වලට....  කියන කතාව ඇතුලේ නොකියන කතාව ලස්සන එකක් නෙවේ. ඒක මාරම කැතයි. අප්‍රසන්නයි. අසරණයි.. ඒ වගේම ඒක බයානකයි. මං බයානකයි  කියන්නෙ ඒ නොකියන කතාව ඇතුලේ ප්‍රේක්ෂකයා නිරුවත් කරන්න ඒ නිර්මාණවලට හැකියාවක් තියෙන  නිසා... මිනිස්සු ඒ වගේ නිර්මාණ වලට අකමැති වෙන්නෙත් බය වෙන්නෙත් ඒකමයි. කව්ද කැමති රෙදි ගලව ගන්න......

මම දැකපු කියවීම ඇතුලේ කියවීමක් තියෙන පොත් ගත්තොත්,  උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයගේගේ අම්මා පොත..., සුනන්ද මහේන්ද්‍ර මහත්තයගේ නිරුවත් දෙවිවරු පොත...., ශ්‍රීනාත් චතුරංග මහත්තයගේ බුදුන්ගේ රස්තියාදුව පොත...., ඒ.එම්.පී. පාදෙණිය මහත්තයගේ ලෝකෝත්තරයෙකු නොවෙමි පොත...., අරවින්ද් අඩ්ගාගේ ධවල ව්‍යාඝ්‍රයා පොත...., කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්තයගේ සැමීගේ කතාව වගේ පොත් පෙන්වන්න පුළුවන්....

එතකොට ෆිල්ම් විදිහට ගත්තොත් Slumdog Millionaire, ඉඟිලෙන මාළුවෝ ෆිල්ම් එක, ඒ වගේම අශෝක හඳගම මහත්තයගේ ගේ ෆිල්ම් සේරම වගේ ඒ ගොඩට දාන්න පුළුවන්....

ඒ වගේම මම බලපු ටෙලිකතා කිව්වොත්, කූඹියෝ, සහෝදරයා, ත්‍රෛලෝකා, පෙන්වන්න පුළුවන්.... 

ඉතින් මට හම්බුනා ඒ වගේ තවත් එකක්... ඒකේ නමින්ම දැනෙනවා ඒකේ තියෙන වෙනස් ගතිය...

             "තණමල්විල කොල්ලෙක්". 

            මගේ ගමේ කතාව වගේ. බොහෝවිට හැම ගමකම කතාව වෙන්න පුළුවන් මේ. මට පෞද්ගලිකව මේ කතාව සමීප වෙන්නේ මම මේ ජීවිතේ විදලා තියෙන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ජීවිතේ දැකලා තියෙන නිසා වෙන්න පුළුවන්. මේ චරිත සැබෑ ජීවිතේ මම රඟපාපු නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ චරිත මම දැකපු ඇසුරු කරපු නිසා වෙන්නත් පුළුවන්. පවුල ගොඩ දාන්න කසාද බදින අක්කලා මම දැකලා තියෙනවා.. පවුල ගොඩ දාන්න ආමි එකට යන අයියලා මම දැකලා තියෙනවා.. ඒ අයියලා අක්කලා විදින දුක බලාගෙන හූල්ලන විදවන මල්ලිලා, නංඟිලා මම දැකලා තියෙනවා. තමන්ට තියෙන දේවල් වලින් උපරිම සතුට ලබන තාරුණ්‍යය දැකලා තියෙනවා.. ඒ වගේ ගත්තොත් මෙතෙක් බලපු මුළු කතාවේ සියළුම චරිත එක්ක මම සැබෑ ජීවිතේ ගත කරලා තියෙනවා....  මේ තියෙන්නේ 13 වෙනි කොටසේ දෙබසක්..

දීප්ත :- "මොකද්ද බන් මේ කරන විකාරේ ?"

කිතුලා :- "ට්‍රේනින් උනා බන්..!"

දීප්ත :- "මොකටද ?"

කිතුලා :- "ආමි යන්ට"

දීප්ත :- "රෑට අලි ගහන පාරක දුවන්න උඹට පිස්සුද යකෝ...!"

කිතුලා :- "හමුදාවට බය වෙලා යන්න බෑ බන්...මුලින්ම බය නැති කරගෙන ඉන්න ඕනි.. එහෙමයි ලොක්කා අයියා කිව්වේ.. ඒකයි තනි අලියා ඉන්න පාරේ දිව්වේ" 
.........................................................................

මේ ටික දකිනකොටම මට පොත් දෙකක් මතක් උනා. පළවෙනි එක, කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්තයගේ සැමීගේ කතාව. ඒ කතාවේ එක කොටසක් මේ,

        "අපි දුවනකොට අපි බයගුල්ලො වගේ කියලා හිතාගෙන උන් අපිව පස්සෙන් පන්නන්නෙ හරියට හරක් පස්සේ දුවනවා වගෙ. යුද්දෙට යන දුප්පත් අපි වගේ මීගොන් තවත් නෑ. මහ ලොකුවට යුද්දෙට යනවා. බැරි වෙනකොට පණ බයේ ආ පස්සට දුවනවා. එච්චරයි" 
       "ටවුන් වල ඉන්න මහ එකාලගේ පුත්තු කෝ ? මහ එකාලා මොනවාද කරන්නෙ? මදියා මල්ලිගේ තරහව එන්ඩ එන්ඩම දරුණු තත්වයට ආවා.!
උන් යුද්දෙට යනවද ? දරුවන්ව අරිනවද ?බෑ. මේ උන්ගෙත් රට නෙවෙයිද ? රට උන්ටත් අයිතියි."
      "උන්ගේ රට.... උන්ගේ භටයො... ඒත් යුද්දේ අපේ ! යුද්ධ උන්ගේ නෙවෙයි නේද ? කල්පනා කරපල්ලා... මදියා දිගට හරහට කියපු විශ්ම කර්ම වචන මට තේරුනේ නෑ. අම්මයි - නංඟිලා දෙන්නයි මදියගේ කටින් පිටවුණ හැම වචනයෙක්ම අත නෑරම අල්ලගෙන වගේ බලා හිටියා" (පිටුව 115)

(ඉතින් ඇත්තටම දෙපැත්තෙම අසරණ දුප්පත් කොල්ලො කෙල්ලෝ මැරුණා......)
.......................................................................

ඒ වගේම මේ තියෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයගේ අම්මා පොතේ කොටසක්...

         "ඇත්තට ම පීඩිතයාට මරණය වේදනාවක් නො වන්නේ ය. ජීවත් වීම වේදනාවක් වූ හැමෝටම මරණය සැපතකි. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීම කාට හෝ මහා වීර ක්‍රියාවක් නම් පීඩනයෙන් හෙම්බත් වී මා වැනි අසරණ වූ මේ කොදෙව්වේ හද්දා පිටිසර ඕනෑ ම හුජ්ජ කොල්ලෙකුට දුෂ්ඨයා මරාගෙන මැරී තමන් ද කුඩු පට්ටං වීම අතිශය සරල ක්‍රියාවකි. අරමුණක්, අනාගතයක්, ජීවත් වීමක්, හෙට දවසක් හෝ අවම වශයෙන් අවම පීඩනය යටතේ හෝ මනුෂ්‍යයකු ලෙස පැවතීමට ඉඩක් නො දෙන්නේ නම්, මරාගෙන මැරෙනවා හැර වෙනත් විකල්පයක් අසරණ අපට නැත."

    "කිරි කළ හතකින් ශ්‍රී මහා බෝධිය නෑවූ උපාසක උපාසිකාවන් සිටි අපේ ගමේ, අපේ ගෙදර තිබුණේ පංසල පාමුලේ ය. මට කිරි කළ හතක් තියා කිරි බිංදුවක්වත් තිබුණේ නැත. උන් අපට කිරි දුන්නේද නැත. අපගේ ඇටසැකිලි දෙස බල බලා වෘක්ෂ දේවතාවුන් පිදූ හ. අප ජීවත් වූ අපාය දෙස බලමින් ඔවූහු දෙව්ලොව සුව ම පැතූ හ." (198 පිටුව)

මේ දෙක කොච්චර ගැලපෙනවද කියලා තේරේවි කතාවේ ඉතුරු දෙබස අහනකොට.
.......................................................................

දීප්ත :- "උඹ ඇයි මාව දැක්කාම දිව්වේ ? තොට පිස්සුද යකෝ"

කිතුලා :- "මට උඹව දැක්කම ලැජ්ජා හිතුනා බන්"  (එහෙම කියලා නැගිටන කිතුලා අඬ අඬ මෙහෙම කියනවා)

         "උඹ දන්නවනේ අපේ තාත්තා කිතුලෙන් වැටුනට පස්සේ ගස් මල් කැපීම නැවැතුනා. අපේ අම්මා තනියම හේන් කෙටුවා. මට තාම මතකයි....  උන්දැගේ මාළු මිරිස් ගස් ටික.... වතුර නැතුව වේලෙද්දි බැරිම තැන, මමයි අම්මයි මාතර මුදලාලි ගාවට ගියා වතුර පොම්පයක් ඉල්ල ගන්න.... මුදලාලි රෑක වතුර පොම්පය ගෙනත් දුන්නා. අපේ අම්මගේ කදුළු අරගෙන උන්දෑ වතුර දීලා ගියා... මං අපේ අම්මට ආදරෙයි බන්...!! උන්දැට හැම කන්නෙදිම වතුර ගන්න උන්දැට කදුළු දෙන්න උනා. අමු අන්නාසි ගැට කන්න උනා.... කිරි ගැහිච්ච ගස්ලබු ගැට කන්න උනා..."

මම මෙතනින් එහාට මුකුත් කියන්නේ නෑ. මම යෝජනා කරනවා යූ ටියුබ් එකේ තියෙනවා. බලන්න. බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ... ඒත් බලනවට බලන්නෙ නැතුව, කියවලා බලන්න. කතාව ඇතුලේ තියෙන කතාව......

#අකිල

No comments:

Post a Comment