Saturday, December 26, 2020

👉 ජීවිතේ සැනසීම තියෙන්නේ මේ රඟපාන එක නතර කරන එකේ නෙවේද ? 👈


මේ ලියවිල්ල ලියන මොහොතේදි මා මානසික ආතතියෙන් පෙලෙනවාදැයි මා නොදනිමි. මානසික ආතතිය පිළිබද මා දන්නා බොහෝ කරුණු වලට අනුව බොහෝවිට මේ මානසික ආතතිය විය හැකියි සිතමි....

         මේ මොහොතට හේතුවක් නොදනිමි. මේ මොහොතේදි කිසි අරමුණක් නැත... බලාපොරොත්තුවක් නැත... දුශ්ඨයෙක් නැත... සටනක් නැත.. මම සටන අත ඇරලා ඉන්න බවයි දැනෙන්නේ.... මට අදුරෙන්වත් එළියෙන්වත් වැඩක් නැත... මට බඩගිනි වෙන්නේ නැත. නිදිමත වෙන්නෙ නැත.... කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නැත.... මේ තත්ත්වය ආතතිය නොවේද ?

         මට ඕනි උනේ මගෙ ඇතුලාන්තයේ නිවීම හොයාගන්න. ඇතුලාන්තයේ සැනසීම හොයා ගන්න. සැනසීම වෙනුවෙන් මම කරේ හිතන්න ගත්තු එක.. හිතාගෙන හිතාගෙන යනකොට මට ප්‍රශ්න එනවා... මම ඒවට උත්තර කල්පනා කරනවා. ප්‍රශ්න උත්තර එක්ක මම අතරමං වෙනවා. කාලය යනවා දැනෙන්නේ නෑ. නින්ද යන්නේ නෑ... පැය ගානක් මම හිතන එකයි කරලා තියෙන්නේ... ප්‍රශ්න වලදි උත්තර නිවැරැදි ම උත්තර වීමටනම් මා අවංක විය යුතුයි මම හිතනවා. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නය එනවා..  

               මම අවංකද ? මම ඇත්තටම අවංක මනුස්සයෙක් ද ? අනිත් අයට කෙසේ වෙතත් මම මට අවංකද ? මට පුළුවන් ද කණ්නාඩියක් ගාවට ගිහින් මගේ හෘද ශාක්ෂියට එකඟව මම අවංකයි කියලා කියන්න.....? මම හොඳ යහපත් අයෙකු කියා කියන්න.. ? මට ආය හිතෙනවා... අවංකනම් මට ඇයි මූණවල් ගොඩාක්... අවංකනම්, මගේ සැබෑ ස්වරූපය එළියට පෙන්වනවනම් මම කොහොමද හොඳ මිනිහෙක් විදිහට සමාජේ පිළිගැනීමට ලක් වෙන්නේ ? කොහොමද අනිත් අය මට ආදරේ කරන්නේ ?

       මට ආය ප්‍රශ්නයක් එනවා... මම ආදරය කරනවද ? කරන්න දන්නවද...? මම මගේ පෙම්වතියට ආදරෙයිද ? මම ඇයට කරන්නෙ ආදරයද ? මම එයා හිතාගෙන ඉන්න කෙනා නෙවෙයි කියලා හොඳටම දැන දැන ඇයට වෙනස්ම චරිතයක් පෙන්වීමේ තියෙන්නේ ආදරයද ? මට අවශ්‍ය ඇය සතුටින් සිටීම උනත්, ඇයගේ සතුට ගැන මම හිතන එක ආදරයද ? ඒත් ඒ වෙනුවෙන් මම ඇයට බොරු කරන එක සාධාරණද ? ඇයට කොපමණ බොරු කර ඇත්ද... ? ඒ බොරු මතක් වෙනකොට මට මං ගැනම ඇතිවෙන පිළිකුලෙන් මිදෙන්නේ කොහොමද ? ඇයගේ සතුට වෙනුවෙන් මම මවාපෑම් කරන එක ආදරයද ? මම රඟපානවා වගේ. ඔව් මම රඟපානවා. මම නළුවෙක් වගේ. තැනෙන් තැනට මම චරිතේ මාරු කරනවා... මම වෙස්වලා ගන්නවා. කටහඩ වෙනස් කරනවා. හැසිරීම වෙනස් කරනවා... හැගීම් වෙනස් කරනවා. මම එකිනෙකා රවට්ටනවා. ඒ එක්කම මාවත් රවට්ට ගන්නවා මම කරන්නේ ඇත්තක් කියලා.... 
       
               මට ආයම හිතෙනවා... මම අම්මට තාත්තාට ආදරෙයිද ? මේ ලෝකේ ඉන්න හොඳම අම්මා තාත්තා ඉන්නේ මටද ? එයාලා ඇත්තටම හොඳම අයද ? එතකොට මම එයාලට පෙන්වන මූණ ඇත්ත එකක්ද ? මම එයාලගෙ හොඳම පුතාද ? නෑ මම එයාලා ඉස්සරහත් රඟපානවා. මම නළුවෙක්... රඟපාලා එයාලා රවට්ටන ගමන් මම මාවත් රවට්ට ගන්නවා. මගේ අම්මයි තාත්තායි තමා ලෝකේ හොදම අම්මයි තාත්තායි කියලා..... මම ආය ආය මාව රවට්ට ගන්නවා. මම නළුවෙක් වගේ. තැනෙන් තැනට මම චරිතේ මාරු කරනවා... මම වෙස්වලා ගන්නවා. කටහඩ වෙනස් කරනවා. හැසිරීම වෙනස් කරනවා... හැගීම් වෙනස් කරනවා. මම එකිනෙකා රවට්ටනවා. ඒ එක්කම මාවත් රවට්ට ගන්නවා මම කරන්නේ ඇත්තක් කියලා....  මම ආදරෙයි කියලා මම හිතනවා... එතකොට ආදරය කියන කාරණය රඟපෑමකින් බිහි කරන අතුරු ඵලයක්ද ? තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන රඟපෑමක්ද ?

          මට ආයම හිතෙනවා. මම වැඩ කරන තැන හොඳම තැනද ? මගේ බොස් ලෝකේ හොඳම බොස්ද ? අනිත් ධනපතියන් වගේම මොහුත් කරන්නේ අපගෙ මහන්සිය හූරා කන එක නෙවේද ? ඔහු ඇත්තටම කැමති ද ඔහුගේ සේවකයින් දියුණු වෙනවට ? එහෙම දියුණු උනොත් ඔහුගේ ආයතනයේ වැඩ කරන්න සේවකයින් කොහෙන්ද ? එතකොට මගේ මිතුරන් ඇත්තටම හොඳ අයද ? පණ උනත් දෙන්න කතා කරාට එහෙම පුළුවන් ද ? ඔවුන්ගේ ජීවිතේ මා වෙනුවෙන් දෙන්න හදන්නේ බලාපොරොත්තුවක් නැතුවද ? කොපමණ මිත්‍රයෙක් උවත් මගේ බිරිදගේ නිරුවත් දර්ශණයක් දැකීමට ඔවුන් තුල ආසාවක් නැද්ද ? එවැනි දර්ශණයකින් ඔවුන්ව ලිංගික උද්දීපනයකට පත් කරන්නේ නැද්ද ? මම ඔවුන් ඉදිරියේ රඟපානවා සේම ඔවුනුත් මා ඉදිරියේ රඟපානවා නොවේද ? මට ආයෙත් හිතෙනවා. මම නළුවෙක්. මම රඟපානවා. ඒ විතරක් නෙවේ, උනුත් නළුවෝ. උනුත් රඟපානවා.... මම වගේම තැනෙන් තැනට චරිතේ මාරු කරනවා... වෙස්වලා ගන්නවා. කටහඩ වෙනස් කරනවා. හැසිරීම වෙනස් කරනවා... හැගීම් වෙනස් කරනවා. එකිනෙකා රවට්ටනවා. ඒ එක්කම උන්වත් රවට්ට ගන්නවා උන් කරන්නේ ඇත්තක් කියලා....  එතකොට මේ ලෝකේ තියෙන සෑම බැදීමක්ම තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන රඟපෑමක්ද ?

          මට ආය මතක් වෙනවා සංජය ශ්‍රීකාන්ත්ගේ ලිපියක කියවපු දෙයක්... "තමාව පහතට හෙළා ගන්නෙ නැති, කණ්ණාඩියෙන් බැලුවම තමා ගැන පිළිකුලක් ඇති වෙන්නැති මනුස්සයෙක්ට අවංකව ලෝකෙ ගැන හිතන මනුස්සයෙක් වෙන්න බෑ" කියන කාරණය...

ඒ වගේම මට මතක් වෙනවා, "Can someone who is self-conscious have any degree of self-esteem?" ("තමන්ගේ ස්වභාවය ගැන හරි හැටි අවබෝධයක් ඇති කෙනෙකුට තමන් ගැන ආත්මාභිමානයක් තබා ගන්න පුළුවන් වේවිද...?") කියන ප්‍රශ්ණය...

           මම ආය කල්පනා කරනවා. එතකොට එහෙම අය නැද්ද ? මට එතකොට මතක් වෙන්නේ ගොඩාක් සිල්වත් හැසිරීම් පෙන්වන අය..  නිතරම සිල් ගන්න සෝමා අත්තම්මා, අපේ ලොකු අම්මා, පිරිත් ගෙවල් වල පිරිත් කියන පිරිත් නඩේ... එයාලා එහෙම හැසිරෙන්නේ එයාලවත් රවට්ටගෙනද ? එයාලා තමන්වත් රවට්ටගෙන අනුන්වත් රවට්ටන්නේ ඇයි ? එයාලා රැවටිලා ඉන්නේ කාටද ?
                  
                   මට මතක් වෙන්නේ මම පොඩි කාලේ ඉදන් මට උගන්නපු ආගම. බුද්ධාගම. බුදුන් ගැන මට හිතෙනවා. බුදුන් අවංකද ? ඔහු ඇත්තටම හොඳ මනුස්සයෙක්ද ? ඔහු මනුස්සයෙක්ද ? දෙවියෙක්ද ? මනුස්සයෙක් නොවන නිසාද පස් මහ බැලුම් බැලුවේ ? බුදුන් සියල්ල අත හැරියද ? මමත් සියල්ල අත ඇරියොත් මමත් බුදු වෙයිද ? එහෙම නැත්නම් රහත් වෙන්නවත් සෝවන් වෙන්නවත් පුළුවන් වෙයිද ? මට මොනවාද තියෙන්නේ අත අරින්න ? මට සියල්ල අත ඇරලා බලාපොරොත්තු නැති කරලා, කිසි දෙයක් ගණන් නොගන්නා තැනට එන්න පුළුවන් ද ? එහෙම පුළුවන් උනොත් මම ඒ ගැන හැමෝටම කියව කියව යන්න ඕනිද ? සියල්ල අත ඇරලා මම අම්මව තාත්තාව මගේ යාළුවන්ව, දුක් විදින ජනතාව හොයාගෙන යන්න ඕනිද ?  ඒ ගැන කියන්න යන්න ඕනිද ? එතකොට මොකද්ද මම අත ඇරලා තියෙන්නේ ? එතකොට බුදුන් කරලා තියෙන්නේ බොරුවක්ද ? සියල්ල අත ඇරියා අත ඇරියා කිය කිය, අනිත් අයටත් සියල්ල අත අරින්න කිය කිය, ඇයි ධර්ම ප්‍රචාරයේ ගියේ ? ඇයි අනිත් අය ගැන හිතුවේ ? ඇයි අංගුලිමාල වගේ අය වෙනුවෙන් දිව්වේ මහන්සි උනේ ? ඇයි ක්ෂණයකින් වැඩියේ ? බුදුන් කරෙත් රඟපෑමක්ද ? හරියට දේශපාලනික ක්‍රියාවලියක් වගේ තමන්ගේ ගොඩ වැඩි කරගන්න මහන්සි උනේ ඇයි ? තුන් බෑ ජටිලයෝ ගාවට ගියේ ඇයි, ලංකාවට වැඩියේ ඇයි ? සියල්ල අත ඇරපු කෙනෙක්ට සටනක් ඇයි ?  නන්ද කුමාරයට ජනපද කළ්‍යාණි හා වැදිරියක් මවා පෑවේ ඇයි.... බලය අනිසි විදිහට පාවිච්චි කරා නෙවේද ඒ ? ඒකට කියන්නේ මෝහනය කියලා නෙවෙයිද ?  මන්දා මට තේරෙන්නෙ නෑ... මට ස්ට්‍රෙස් නිසාද මෙහෙම හිතෙන්නෙ ? මට විතරද ස්ට්‍රෙස් එතකොට ? බුදුන් කරෙත් රඟපාන එකනම් මම කරන්නෙත් රඟපාන එකනම් අනිත් අය කරන්නේ රඟපෑමක් නොවන්නෙ කොහොමද ? 

            මට ආය හිතෙනවා, අනිත් අයට ඒ ගැන හිතෙන්නෙ නැත්තේ මොකද ? මම හිතන එකේද ගැටළුව ? මට හිතෙන ඒවා වැරදිද ? මම ස්ට්‍රේස් නිසා විකාර කියවනවද ? 

          ජීවිතේ සැනසීම තියෙන්නේ මේ රඟපාන එක නතර කරන එකේ නෙවේද ? මට හිතෙන්නෙම එහෙම. මම හිතන්නේ මේ අසීමිත විවිධාකාර රඟපෑම් නතර කළ යුතුයි කියාය... ඒ ගැන හොඳින්ම දැන දැනත් ඇයි මට මේ රඟපෑම් නතර කරන්න දෙන්නේ නැත්තේ ? ඇයි මට මේ රඟපෑම් නවත්වන්න බැරි ?...............

මම තවත්, තව තවත් හිතනවා... 

#අකිල

No comments:

Post a Comment