Saturday, December 26, 2020

👉 මාස්ක් එක දා ගන්න.... 👈


කොරෝනා භීශනය තදින්ම තිබු දවස් වල ගමේ සිට සිදාදියට යෑමට මම තරමක් බිය විය.... ඒ කොරෝනා හැදේවි යන සැකයට වඩා වෙනත් හේතුවකි. මට බයක් තිබුණේම, මීඩියා නිසා ය. මීඩියාකාරයෝ නිසා ය. උන් වැහි වැහැලා ය. කැමරා පෝන් එකක් අතේ තියෙන ගංකඹරයෝ සේරම මීඩියා සීන් එකේ ය. ඒ විතරක් නම් කමක් නැත, බලනවට සල්ලි දෙන - සල්ලි දීලා බලව ගන්න ටීවී චැනල් කාරයොත් හැම තැනම ය... 

          ඉතින් කැළෑ ගමේ ඉදන් නගරෙට එන මට අමුතු බියක් තිබිණි. ඒ දවස් වල ටීවි එකෙ පෙන්වන්නෙම,

         "ඒ මාස්ක් එක කෝ ?" 
         "මාස්ක් දාන්නෙ නැද්ද ?"
         "මාසක් තියෙන්නේ නිකටට දාන්නද ?"
         "මාස්ක් එක අපි දාන්නද ?"

වගේ සැර ප්‍රශ්නයක් අහලා, මාස්ක් එක නැති එකාට කට උත්තර නැති වෙන විදිහ වීඩියෝ කරලා ඒක හෙන ලොකු වැඩක් කරා වගේ පෙන්වන එකය... 

       මට බිය තිබුණේ ඇදගෙන ඉන්න කමිසේ පිටින් මාව ටීවි එකේ පෙන්නුවොත් කමිසේ අයිතිකාරයා කොහේ හෝ සිට මේක දැක, මගෙන් කමිසේ ඉල්ලාවි කියලා ය. 

මම කන්න හෝ බොන්න මාස්ක් එක පාත් කරපු වෙලාවක ඔය කැමරාවක් උස්සගෙන එන සෙට් එකක් වීඩියෝ කරන ගමන් මගෙන් ඔය ඉහත කී ප්‍රශ්න ඇසීමට ඉඩ ඇත. මීඩියානම් මීඩියාය. උන් එහෙමය... එහෙම උනොත් එක්කො මම, "අනේ අයියේ ටීවි එකෙ දාන්න එපා" යැයි උන් ඉදිරියේ වැද වැටිය යුතු යි. නැත්නම් උන්ට අල්ලගෙන ගුටි කැටියක් දී වීඩියෝ එක ඩිලිට් කළ යුතු යි. එච්චර කෙලියක් කිරීමට මට බැරිය. මම බස් එකේ යන ගමන් කල්පනා කිරීමට පටන් ගතිමි. බස් එකේ ජනේලයක් ගාව එළිය බලාගෙන සිටීමේදි අදහස් එන්නේ සුළගේ ගසාගෙන ය. මට අදහසක් ආවේ ය.... එය මන්‍තරයකි. එය නියමිත වෙලාවට මැතුරූ පසු වීඩියෝ කරන කෙනා ආය ඕක පබ්ලිෂ් කරන්නේ නැත. අත්දුටු ය... පත්‍යක්ෂ ය... 

ඒ මෙහෙමය... 

ඔය වීඩීයෝ කරන ගමන් "ඒ මාස්ක් එක කෝ ?" වගේ මාස්ක් එක ගැන අහගෙන එනකොටම කැමරාවට හිනා වී ලස්සන පෝස් එක්කට ඇවිත් කැමරාව දිහා බලාගෙනම ශබ්ධ නගා පහත මන්තරය කිව යුතු ය....

"ආ සොරි. ඔය වීඩියෝ කරන කෙනා මාස්ක් දාන්න ඕනි නැද්ද ?" හෝ 

"ඔය වීඩියෝ කරන කෙනාගෙ මාස්ක් එක කෝ ? එයා දාන්නේ නැද්ද ?" කියා පමණි....

(කියා අවසන් වන විටම ඔවුන් මඟහැර පසු පස නොබලා යෑමට වගබලා ගත යුතු ය...)

#අකිල

No comments:

Post a Comment