71දී අපි මිනි මැරුවෙමු. ඒ කවුද කියා මා මෙහි කියන්නේ නැතිය. එය කිව්වොත් උඹ ඒවා දැක්කාද කියා අහන්නට බැරි නැත. එහෙත් අපේ තාත්තා මුහුණ දුන් අත්දැකීම් බොහොමයක් මට කියා ඇත.
දඹුල්ල කුරුනෑගල පාරේ ඇති පාලමකට චේගුවේරා කාරයෝ යැයි කියා ගන්නා පිරිසක් ගිනි තියන්නේය. උන් ගිය පසු පාලම මායිමේ ඉන්නා කඩයක අයියා මලයෝ දෙදෙනා පැමිණ බාල්දි වලින් වතුර ඇද ගින්න නිමමින් සිටින්න්නේය. ජීප්පුවක් පැමණ උන් දෙදෙනාට වෙඩි තබා මරන්නේය.
83 ජූලියක් ආවේය. බස් එකේ ගිය අහිංසක දෙමලා බිමට ඇද කීතු කලේය. යාපනේ පුස්තකාලය ගිනි තැබීය. අහිංසක සිංහලයාද මැරුනේය.
88/89 ආවේය. දරුවන් වෙනුවෙන් දෙමාපියන් මැරුම් කෑවේය. ඉස්කෝල ලමයින්ද මැරුම් කෑවේය. හන්දියේ සිටි බල්ලෝ මිනිමස් කන්නට පුරුදු විය. තල්පොත හන්දියේ මිනිස් අත පය ඇදගෙන දුවන බල්ලෝ මා දෙඇසින් දැක ඇත්තේය. මිනිසත්කම බල්ලො කෑවේය.
තිස් වසරක තිරිසන් යුද්ධයකට අපි මැදි වුනේය. LTTE තිරිසන් යක්කු බඩ දරු අම්මාගේ බඩ පලා ළමයා වැටේ ගැසුවේය. පල්ලියගොඩැල්ල මුස්ලිම් පල්ලියේ දෙවියන් යදිමින් සිටි මිනිසුන් මැරීමෙන් අපේ ගම සලිත විය. ජය සිරි මහා බෝ පාමුල සුදු වත ලෙයින් තෙත් විය. අරන්තලාවේ ස්වාමින්වහන්සේලා කඩු පහරට බිලි විය. ලියා ඉවර කරන්නට බැරිය.
සාමයෙන් සිටි අපිව සහරාන් ඇවිත් සමාදානයේ සැතපුවේය. සිය ගනනක් එක් පැයකින් දෙව් තුරුලට යවා ඌ අපාගත විය.
මේ හැම විටකදීම අපි ඔය එකී මෙකී නොකී හැම එකාගේම හත්මුතු පරම්පරා වලටම දෙස් දෙවොල් තැබුවෙමුය. 88/89 කාලේ ඒ සිද්ධි වලට ගෑවුන එකාගේ බාප්පාගේ පුංචි අම්මාගේ කලින් කසාදේ ලමයාගේ පන්තියේ එකාටද වයිර කලෝය.
ප්‍රභාකරන් එහේ මරද්දී මෙහේ වැඩකාරිට රැව්වේය. දෙමළා පරයා වුනේය.
සහරාන්ද ලෙසටම හැමෝටම කෙලවූයේය. තොප්පිය දා ගත් හැම එකා දෙසම සිංහලයා සැකයෙන් බැලුවේය. පාතිමා වහ කදුරු විය.
මා ජීවිතයේ අසා සිටියේ හමීඩ්ලා දෙදෙනෙක් ගැනය. එක් අයෙක් ප්‍රකට දේශපාලකයෙක් ය. අනෙක් මිනිසා ජානක පෙරේරා බෝම්බයෙන් රැගෙන ගිය හමීඩ් ලෝයර් මහතාය. ඔවුන් දෙදෙනාම සැබෑ ලාංකිකයින් ය.
තෙවෙනි හමීඩ් ගැන ඊයේ ඇසුවේය. දෙමළියක් බේරා ගැනීමට ගිය තම්බියෙක් ය. ජිවිතයක් බේරා ගැනීමට ගිය දෙවියෙක් දෙව්ලොවට කැදවා තිබුනේය.
තවත් තැනක සල්ලි ගන්නට ගොස් තෙරපී මැරිලාය. මැරෙනකං තෙරපී ඇත්තේ දුප්පත්කම මිස ජාතියක් නොවන්නේය.
අටලුගම මුස්ලිම් මිනිසා තරම් සුදුවැල්ලේ කුඩු ඇඩික්ට් වූ තරුණයින් බැනුම් ඇසුවේ නැතිය. ඒ අපේ කටවල් ගාන වැඩි නිසාය.
මිනිසත්කම හා තිරිසන්කම ජාතිය මත රදා නොපවතින්නේය. වැරදි වැටහීම මිනිසා මිනිසත්කමින් ඈත් කරන්නේය. දේශපාලනය හා ආගම දෙකම ඕවඩෝස් වූ කල සිහිය විකල් වන්නේය.
හමීඩ් ඇර දුන් දොරෙන් තෙරපී මැරී නොවැටී රිංගා යන්නට සමස්ථ ලාංකීය ජාතියටම ඉඩක් විවර වී ඇත්තේය. ඒ මිනිසත්කමද මාලිගාවත්තේ තෙරපුනු දිළිදු කමද එක ලෙස පෙනීමට සියලු දෙනාට දෑස් පෙනීම ආරම්භ විය යුතුමය.
දෙනෙත් පෙනන බොහෝ අය අන්ධය. හමීඩ් නමැති නොහදුනන තරුණයා ජල පතුලේ සැගවුනේ ඉල්ලමක් සොයා ගෙනය. එය නිසි ලෙස ගරා ගන්නට සැමට දෙනෙත් පෑදෙන්නට පතන්නේය. ලොව කොහෙත් තෙරපී මැරුනේ හා අනෙකා වෙනුවෙන් දිවි දුන්නේ එකම ජාතියක් ය.
ඒ දුප්පත් ජාතිය ය.
හමීඩ් උඹට සුබ ගමන් මචං. හමීඩ්ගේ දරු පවුල බලා ගැනීම ජාතියේ යුතුකමක් වන්නේ ඔහු කියා දුන් පාඩම නිම කළ නොහැකි නිසාමය. කෙටියෙන්ම කියන්නේ නම් තම දිවි පරදුවට තබා ජීවිතයක් බේරා ගැනීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන මිනිසා දෙවි කෙනෙක් ය. එහෙත් දෙවියන්ට වඩා කපුවන් සැමදා ඉදිරියෙන් ය. ඒ කපුවන් දෙවියන්ව විකුණා කන නිසාය. එනමුත් සහරාන් හා හමීඩ් දෙදෙනෙක් ය.
අරවින්ද හබක්කල ලියපු මේ ලිවිල්ල පෙන්නලා මම අහන්න කැමති ජාතිවාදී වෙලා මා එක්ක තරහා උන මගේ යාළුවන්ගෙන්, සිංහ ලේ කැකෑරෙන, බෞද්ධාගම වෙනුවෙන් මිනිස්සු මරාගෙන මැරෙන්න ලෑස්ති මගේ යාළුවන්ගෙන්, "අකිල උඹ වගේ උන් නිසයි මේ රට විනාශ වෙන්නේ" කියලා මට කියපු දේශප්‍රේමී මිතුරන්ගෙන්....
මම අහන්න කැමති, "හැම මුස්ලිම් එකෙක්ම එකයි. හැම මුස්ලිම් එකෙක්ම මරන්න ඕනි" කියපු මගේ මිත්‍රයන්ගෙන්.... ජාතිවාදි පකයින්ගෙන්....
උඹලට තාමත් ඕනි හැම මුස්ලිම් එකෙක්වම මරන්නද ?....
එහෙනම් අපරාදෙ උඹලා එහෙම මැරුවනම් මේ හමීඩ් උඹලා අතින් මැරෙන්න තිබ්බා.....
No comments:
Post a Comment