Thursday, December 24, 2020

👉 මේ බිත්තරය මා වෙනුවෙන් ද ? 👈

 


       කලකට ඉහත එක්තරා වෙසක් සමයක දී වූ සිදුවීමකි. ඒ මා හිච්චි එකා කාලයේ සිදුවීමකි. හිච්චි කීවට හරියටම කීවොත් මා ඇටෙන් පොත්තෙන් එළියට එන කාලයේ විය යුතුය. බුදු දහම වැළලී යන කාලෙක එය රැක ගැනීමට මගේ ගමේ දසසිල් මාතාවන් වූ දිරිය කාන්තාවන් කරපු අරගලයක ප්‍රතිඵලයක් ලෙස මරණාධාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ ඒකමතික තීරණයෙන් ගමේ උන් හැමෝම සිල් ගන්න ඕනෑ ලෙස යෝජනා කර ස්ථිර කෙරිණි.... ඒකට ඔවුන් කීවේ සීල ව්‍යාපාරයක් කියාය... ව්‍යාපාර කතාව මට තේරුම් ගියේ පසුවටය. ඒ ගැන පසුවම කියන්න බලාපොරොත්තු වෙමි.....
       
          සීල ව්‍යාපාරය මරණාධාර සමිතියේ යෝජනා කර, මරණාධාර සමිතියේ සාමාජිකයින්ගේ ඈනුම් හා බැනුම් මැද්දේ ඒ පිළිබඳ දේශණයක් කර, සියළු ගම්වාසීන් මෙයට සහභාගී විය යුතු බවත් නොවුනනොත් සිදු වන අපා ගත වීම ගැනත් ත්‍රාසජනක ලෙස විස්තර කර, සීල ව්‍යාපාරයේ සියළුම බර කරට ගෙන, එය සංවිධානය කර, රටේ භෞමික අඛණ්ඩතාවය, දළ දේශීය නිශ්පාදතිය හා ගමේ මිනිසුන්ගේ සාක්ෂරතාව වගේ ලොකු ලොකූ දේවල් කිරීමේ ප්‍රධානම ගෞරවය හිමිවිය යුත්තේ අපේ ගමේ මහම මහා උපාසිකා අත්තම්මාට බව ගමේ වැඩිහිටි පරිණත පණ්ඩිත උගතුන් කතා වෙනවා ඒ දවස් කීපය පුරාම දක්නට අහන්නට ලැබුණු බව මට මතකය......

          ඇත්තෙන්ම ඒ උපාසිකා අත්තම්මා ගැන මා සඳහනක් නොකලොත් මා හෙන පව්කාර ඩයල් එකක් ලෙස ඉතිහාසයට එක් වීමට ඉඩ ඇත... එය මහානාම හාමුදුරුවෝ රාවණා රජතුමා ගැන මහා වංශයේ නොකියා හිටියාට වඩා බලවත් වරදක් වීමටද ඉඩ ඇත.... තමා ගැන පොඩි විස්තරක් කිරීමට මයික්‍රෆෝනය අතට ලබා දුන් විගස තමා ගැන නොකියා රටේ කාන්තාවන්ට නිසි තැන ලබා දිය යුතු යැයි අක්කා කෙනෙක් යොවුන් පුරේදි ගිරිය කඩාගෙන ගෑ ගසා කී සැටි මතක් වී මේ ලියන මොහොතේදිත් මගේ ඇඟ සීතල වී ගිය බව කියවන ඔබ දැනගත යුතුය.....

         මේ උපාසිකා අත්තම්මාගේ නම කුමක්ද කියා මා දන්නෙ නැත. ඒත් ගමේ ප්‍රසිද්ධ සෝමා අත්තම්මා කියාය. ඈ දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරියයි... පංසලේද බුදු හාමුදුරුවන්ගේද අයිතිකාරියයි... මේ ගමේ දහම් පාසල් ළමුන් බොහෝ වාසනාවන්තය, මන්ද සෑම ඉරිදා දිනකම සෝමාවතිය වැදපුදා ගැනීමට අවස්ථාවක් ලැබීමය.. ගමේ දහම් පාසලේ සියළුම කොළු ගැටයන් ඉරිදට දහම් පාසල් යන එක ගැන කියන්නේ සෝමාවතිය බැලීමට යනවා කියාය.... ඒ කාලේ නොදන්නා කමට මා කීවෙත් එසේය..... නමුත් දැන්, ඇත්තටම දැන් කියලත් වෙනසක් නැත.....

       සෝම අත්තම්මා ඉතා නිහතමානි කාන්තාවක් ලෙස ගමේම ප්‍රසිද්ධය. ඈ ඉහළ කුළේ කාන්තාවකි. ඇයගේ ඒ නිහතමානිත්වය ගැන කියනකොටම මගේ මතකයට එන්නේ මගේ හොඳම යාළු අයියා කෙනෙක් ඈට "නැන්ද" කියූ පසු "තෝ කාටද ගෙරි පද්දෝ නැන්දා කිව්වේ" "තොගේ තරම දැනගෙන කතා කරපන් වේ#ගේ පුතා" කියා අර අයියාට පැය බාගයකට ආසන්න කාලයක් ඉතා මිහිරි නාදයෙන් ධර්ම දේශනයක් පැවැත්වූ ආකාරයයි.....
     ඒ පිළිබඳව කොල්ලන් තාම කතා කරන්නේ ඈ ගැන මහා ගෞරවාන්විත ආකාරයෙන් ය. කොච්චරද කියනවනම් ඈට කිමුහුම් බර ගානක් යන තරමටය.....

              සෝමා අත්තම්මා මහමෙව්නා අසපුවේ අග්‍ර හෝ උග්‍ර උපාසිකාවක් විය යුතුය.. ඈ හැසිරෙන්නේම එසේය... නිතරම ඈ කියන කතාවක් ඇත. "මෙහෙ ඉන්නෙ මොක්කුද... සංඝරත්නය ඉන්නේ මහ මෙව්නාවෙ, දකිනකොට හිත පිරිලා යනවා" කියාය. මොන හාමුදුරුවෝ කෙනෙක් ගමේ පංසලට ආවත් ඈ ඒ හාමුදුරුවන් ගේ සියුරේ හිල් සොයා මසා දීමට උත්සුක වෙයි. හාමුදුරුවන් ට උගන්වයි, ධර්ම දේශණා පවත්වයි. පංසලේ රැදීමටනම් ඈ කියන බණ වලට සාදු කියා බලාගෙන සිටිය යුතුය. ඈ කියන බණ පදේකට හෝ විරුද්ධ උනොත් ඒ පංසලේ හාමුදුරුවන්ගේ අවසානයයි.... කේලාම් වැරදි මවා හාමුදුරුවෝ එළවීමට ඈට මාර හැකියාවක් ඇත. ඒ තරම් ඈගේ සිල් ගුණය බලවත්‍ ය..... අනේ සාදු.....!!!
     
ගමේ මළ ගෙවල් වල හත් දවසේ දානේ දෙනකොට හාමුදුරුවෝ වඩම්මනකොට ඉස්සර අපි කීවේ "සාදු! සාදු! සාදු!" කියාය... දැන් කියන්නේ "බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ !" කියා කාව්‍යාත්මක මෙව්වා එකකි. ඒ මහ මෙව්නා මෙව්වා එකකි.... සෝමා අත්තම්මා මැරුණු පසු පාංශුකූලේ දීමට මහවෙව්නාවෙන් සංඝරත්නය ඍර්ධියෙන් වඩින බව ගමේ සෑම දෙනෙකුගේම විශ්වාස යි, එනිසා ඈ මැරෙන තුරු ඇඟිලි ගැන ගැන සිටින අයද නැත්තේම නොවේ....
 
         සෝම අත්තම්මා නිර්මාංශය... නැත නැත, මට වැරදිනි... ඈ වෙජිටේරියන් ය.. 
    දත් ඇති කාලේ මස් කෑ පසු මාත් වෙජිටේරියන් වීමට බලාපොරොත්තු වන්නේ ඇගේ අඩි පාරේ යමිනි... හැබැයි ඉතින් දත් නෑ කියා ඈ වගේ මස් නොකා ඉන්න මට ලේසි නැත... ඈ කියන්නේ මා වෙනුවෙන් සූදානම් කරපු ආහාරයක්නම් මාංශ එපා කියායි.... අනේ වාසනාවන්....!! සාදු....!!!!!

                සෝම අත්තම්මාගේ සෑම ක්‍රියාවක්ම සිල්වන්තය... ඈ ඇවිදිනකොට, කතා කරනකොට, කෑම කනකොට, නානකොට, නිදා ගන්නකොට ආ නෑ නෑ නානකොට නිදා ගන්නකොට කොහොමද දන්නේ නෑ... කෙසේ නමුත් ඈ ගමට සම්පතකි.. ඈ තරුණ කාලේ ගමට විතරක් නෙවේ අහල පහල ගම් වලටද සම්පතක් බව මට කීවේ ගුණේ මාමාය... අනේ වාසනාවන්.. සාදු....!!!

        අත්තම්මා ගැන කීවා ඇතිය. එදා සීල ව්‍යාපාරයේ සිදුවීම කීමට කාලය පැමිණ ඇති බව මට පසක් කරේ මගේ ඇඟිලි වල වේදනාව බව කිව යුතුමය. නැත්නම් කියවන ඔබට කවදාවත් හිතන්නේ නැත මේක ටයිප් කරගෙන යන කොට ඇඟිලි රිදෙන බව.... කෙසේ නමුත් එදා සීල ව්‍යාපාරය පැවැත්විණි. දහවල් දානය වෙලාව වෙනතුරු මම එතන සිටි අහිංසකකම ළමයා බව මට ඉවෙන් වගේ දැනී තිබිණි. ඒ භාවනා කරන ගමන් ඇස් ඇරලා හොරෙන් වටේ සර්ච් කරන විට නැන්දලා මා දෙස බලා සිටිනවා දුටු නිසාය...

        ගමේ සිරියාවන්ත මූණක් හිමි අහිංසක පුත් කුමරෙකු වූ මම සිටියේ සෝම අත්තම්මාට ආසන්නයේ හය වෙනි ස්ථානයේය.... ඕන්න මගේ සිල් විසික් උන දවල් දානේ වේලාව පැමිණියේය....

     බත් බෙදාගෙන ගිය පසු, පරිප්පු බෙදාගෙන ගියේය... ඕන්න ඊ ළඟට සෝමා අත්තම්මාගේ අඩි පාරෙම යන දැන් අහල ගම් කීපයකටම සම්පතක් වූ සිරියලතා අක්කා තම්බපු බිත්තර බේසමක් අරගෙන පැමිණියාය.....

    සෝමා අත්තම්මා :- "මේ බිත්තරය මා වෙනුවෙන් සූදානම් කළ එකක්ද ?"

     සිරියලතා අක්කා :- "එහෙමයි අත්තම්මේ!"

      සෝමා අත්තම්මා :- "එසේනම් මම ප්‍රතික්ෂේප කරමි" කියා අතින් පිගාන වසා බිත්තරය බෙදීම ප්‍රතික්ෂේප කළේ ය. 

දානේ බෙදා සිටි සියළුම පිංවතුන්ගේ මූණවල් ශ්‍රද්ධාවෙන් ඇළලී යන අයුරු මට පෙණිනි. අනේ වාසනාවන් අපේ අත්තම්මා.... සාදු...!!!

   දෙවෙනි තුන් වෙනි සිට පස් වෙනි තැන දක්වාම සිටින සෝමා අත්තම්මාගේ ගෝලයන් ඒ අයුරින්ම කතා කර සිරියලතා අක්කාගේ බිත්තරය ප්‍රතික්ෂේප කෙරිණි.... අනේ වාසනාවන්... අවවාදයට වඩා ආදර්ශය උතුම් ය...

     ඊ ළඟට සිරියලතා අක්කා බිත්තර බේසම රැගෙන මා ගාවට පැමිණියා ය.

          මම :- "මේ බිත්තරය මා වෙනුවෙන් සූදානම් කළ එකක්ද ?"

          සිරියලතා අක්කා :- "එහෙමයි පොඩි උපාසක මහත්තයෝ!"

          මම :- "එසේනම් ඒ බිත්තරය මම ප්‍රතික්ෂේප කරමි. ඒ බිත්තරය ඉවත් කර කලින් අයට බෙදීමට ගිය බිත්තර පහම මට බෙදන්න" 

       දානේ බෙදමින් සිටි පිංවතුන්, අතින් කට වහගෙන සිනා වෙද්දී, සෝමා අත්තම්මා ඇතුළු සිල් අම්මලා මා දෙස කන්න වගේ බලා සිටියේ ඔවුන්ගේ බිත්තර සොරකම් කළ නිසා විය යුතුය....

      සැළකිය යුතුයි :- මෙය පීඩියාෆ්‍රෝ ඇඩ් එකක් නොවන බවත්, මේ සිදුවීමෙන් පසු ඒ කාලේ අපේ අම්මා මගේ මොළේ වර්ධනය වීමට ආණ්ඩුවෙන් දෙන ත්‍රී පෝෂ පැකට් ගැනීමට අය නොගිය බවත් මා කිව යුතුමය......

කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ඉස්කෝතුයි...
මනඃකල්පිත කි...(ෆේස්බුක් සිටින ගමේ උන්ගෙන් බේරිමට එසේ කියූ බව සලකන්න)

#අකිල

No comments:

Post a Comment