Saturday, December 26, 2020

👉 මම ආසම පොත් පහක්... 👈

 


📚 📚  📚 📚 📚 මම ආසම පොත් පහක්... ?

ඇත්තටම අමාරු වැඩක්.. අමාරුව තියෙන්නේ ඒ ගැන හිතනකොට ඔළුවට එන කතා, පොත් කවර, චරිත, කතුවරු, බර ගානක් මාව තෝර ගන්න! මාව තෝර ගන්න! කිය කිය මා වටේ කැරකෙනවා දැනෙන එක නිසා කියල මට හිතෙනව..... දැනුත් මේ ලියන මොහොතෙත් ඔළුවට එන පොත් පෙළ ගස්සන එක පට්ටම අමාරුයි. 

   තීන්ත ගාන ගමන් රෙස්ට් එකට ඩේට ඔන් කරපු විගස ආව මැසේජ් එකේ තිබ්බේ චැලේන්ජ් එකක් විදිහට ආසම පොත් පහක් ගැන ලියන්න කියලයි.. ඒ Charitha Bandara ගෙන්. ඉතින් මම ලියන්නම් කීලා ආයෙම තීන්ත ගාන්න පටන් ගත්තු නිසා මට තීන්ත ගාන ගමන් කල්පනා කරන්න පුළුවන් උනා මේ පොත් වලට ආස උනේ කොහොමද කීලා....

        මම 5 ශිෂ්‍යත්වේ ලියන කාලේ තිබ්බ සම්මන්ත්‍රණයක්. ඒක පොඩි පොඩි ඉස්කෝල කීපයක් එකතු කරලා පැත්ත පලාතේ තිබ්බ ලොකු ඉස්කෝලෙක තිබ්බෙ. ඒකෙ දුන්නු පේපර් එකේ තිබ්බා ඡේදයක් දීලා ඒ ගැන විස්තර. ඒකේ තිබ්බේ මඩොල් දූවේ ඡේදයක්. ජින්නයි උපාලියි ගුහාව සුද්ද කරන සීන් එක... ඒ පොත මොකද්ද කීලා ගුරුවරු අහනකොට හැමෝම කෑ ගහලා මඩොල් දූව කියනකොට මට ඇති උන ලැජ්ජාව තාම දැනෙනවා... ඇත්තටම මම එදා දැනගෙන හිටියේ නෑ මඩොල් දූව කියන්නේ මොකද්ද කියලා... 😑 එදා ඉදලා පුළුවන් හැම වෙලාවකම මම ඉස්කෝලේ පුස්තකාලයේ පොත් කියෙව්වා... පොත් වල ජීවත් වෙනකොට තියෙන්නේ වෙනම ආතල් එකක් කීලා දැනෙනකොට මගේ ඉස්කෝලේ පුස්තකාලයේ පොත් මදි උනා. ඒත් මට ඉස්කෝලේ පුස්තකාලයෙන්නම් මඩොල් දූව ලැබුනේ නෑ... එතකොට මම 7 වසරේ. ඊට පස්සේ පට්ට කට්ටක් කාලා සෑහෙන්න පෙරුම් පුරලා කිලෝමීටර් 9ක් දුරින් තියෙන මහජන පුස්තකාලයට බැදුනා... (මේ පොටෝ දෙක ඒ පුස්තකාලයේ කාඩ් දෙක.. කොච්චර පරණද කියනවනම් අළුත් කරන්න දිනයක් දාන්න තැනක් නෑ)

     මහජන පුස්තකාලයේ මුලින්ම පොත් ගොඩ දැක්කාම මට පට්ට මෙව්වා එකක් ආවා මඩොල් දූව හොයා ගන්න පුළුවන් කීලා.... ඔව් ඔව්. මඩොල් දූව තමා ඒ පුස්තකාලෙන් ගත්තු පළවෙනි පොත.


          1  ඉතින් මම ආස පොත් පහක් ගත්තොත් එකටම දාන්නේ #මඩොල්_දූව.... ඒකේ මම තාම ජීවත් වෙනවා... උපාලියි ජින්නයි අමරණීය ජීවමාන චරිත කරපු මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගෙ මායාකාරී බවට තාම මම ආසයි.....
"මා නිර්භය එකෙකු වුයේ දැඩි සිතක් ඇති නිසාය." කියලා මඩොල් දූවෙ අන්තිම ඡේදය කියවනකොට මාරම දුකක් දැනෙන්නේ ඒක ඉවර නොවී තිබ්බනම් කියලා හිත කෑ ගහන නිසා වෙන්න ඇති....


           #ලෝකෝත්තරයෙකු_නොවීමි 
           (ඒ.එම්.පී. පාදෙණිය)

      තම ළමා දිවිය පදනම් කරගෙන වැඩිහිටි ලේඛකයකු නවකතාවක් ලිවීම සාහිත්‍යය ලෝකයේ නිතර සිදු වී ඇති දෙයක්.. ඉහතින් කීව මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "මඩොල් දූව" ඊට හොඳම උදාහරණයක්නේ... ලෝක සාහිත්‍යයේ ද මෙබදු අවස්ථා සුළබය. චාල්ස් ඩිකන්ස්ගේ "ඩේවිඩ් කොපර්ෆීල්ඩ්" "ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්" වැනි නව කතාවලට පාදක වී ඇත්තේ කතුවරයාගෙම ළමා කළ අද්දැකීම් ‍යැයි විචාරකයෝ පවසනවා.
       
        ඒ.එම්.පී. පාදෙණිය මහතා මෙම නවකතාවේදී, ඔහු තම ළමා දිවිය දෙස විවේචනාත්මකව බලන බවක් හෝ ඒ ගැන අටුවා, ටීකා, විවරණ, ආදිය සැපයීමක් කරන බවක් හෝ පාඨකයාට පෙනෙන්නේ නැත. එහෙත් ඔහුගේ ඉදිරිපත් කිරීම තුල කිසියම් විවරණයක් ගැබ් වී ඇති බව නම් පැහැදිලි ය. 

   "මේ දේ එසේ සිදු උනේ ඇයි ?" යන අන්දමේ සියුම් දෘෂ්ටියක් ඒ සිද්ධිය විස්තර කරන විට ගැබ්ව ඇති බව පාඨකයාට වැටහෙනු ඇත. එහෙත් පාදෙණිය මහතාගේ දක්ෂතාවනම් ඒ විවරණයට ඉස්මතු වීමට ඉඩ නොදීමයි. එය සිදුවන බව පාඨකයාට නොපෙනෙන පරිදි තම කතාව ලියන්නට පාදෙණිය මහතා සමත් වී ඇත. 

      ඒ නිසා ඔහුගේ නවකතාව එහි අඩංගු විසිතුරු සිද්ධි නිසා ළමා හා ගැටවර පාඨකයන්ගේ හඳ බැදගන්නා අතර එහි යටින් දිවෙන සියුම් අරුත් නිසා වැඩිහිටි පාඨකයන් ගේ ද ප්‍රසාදය දිනා ගනී...

     ලෝකෝත්තරයෙකු නොවීමි කියෙව්වෙමි. කීප පාරක්ම... ඇත්තටම පොතේ හැටියට පාලිත ලෝකෝත්තරෙකු නොවීය. නමුත් ලෝකෝත්තර ගති ගුණ පිරුණු අයෙකි. පොත කියවගෙන යනකොට, මැවුන, මතක් උන චරිත, සිදුවීම්, ප්‍රමාණය අති මහත්‍ ය. මගේ අත්දැකීම් සේම මා කියවපු දේ හා දැකපු දේවල් වලින්ද එය සමන්විත ය. ඒ.වී. සුරවීර මහතාගේ ගොදුරු ලොබ පොතේ "අපිටත් දවසක ඉර පායාදෝ" කෙටි කතාව වගේම මොනිකා රුවන්පතිරණ මහත්මියගේ "පියසේන ඇසූ ප්‍රශ්නයක්" වගේම ඉරාජ් මහතා පොඩි ළමයෙකුට පරිඝණකයක් අරන් දෙන වීඩියෝ ව ද ඔබටත් සිහියට එනවා නොඅනුමානය. 

එහි සමහර රස තැන්, වදන්, මතකේ සැමදා පවතී. මේ උපුටා ගැනීම බලන්න..

"අම්මේ අම්මේ අම්මේ, බූලව පිස්සු නරියෙක් හපලා" දතක අමාරුවක් නිසා මුළු රැය පහන් කළ අම්මා මේ කිසිවක් නොදත්තේ ඇයට නින්ද ගොස් සිටි නිසාය. "කිට්ටු වෙන්න එපා, උගේ හපලා කනෙන් ලේ පෙරෙන්නෙ. ඕකටත් විශ ඇවිල්ලා තියෙන්නේ. ආං ගිහින් බලන්ඩ බොරුද කියල අර වට වෙලා බලාගෙන ඉන්න එකා දිහා" ප්‍රේමාවතී ද ගොස් නරියා දෙස ස්වල්ප වෙලාවක් බලාසිට ආපසු පැමිණියා ය. 

"උඹ නේද ඌ මැරුවේ ? "

"අය අලියට පෑගිලා චූ ගියාද අහනවා" 

"උඹගේ හපන්න හැදුවේ නැද්ද ?"

"මොකද නැත්තේ ? ඌ හදනකොට මම බෙදලා ඉවරයි" පාලිත පොල්ල උස්සමින් කීවේ ය.  (116 පිටුව)

ලෝකෝත්තරයෙකු නොවීමි නම උවත් පොතේ නම මුළු කතාවෙම ලෝකෝත්තර යන වචනය පාවිච්චි උනේ එකම තැනකය.. ඒ, 

කිරි අම්මට හිනාව නවත්වා ගන්නට බැරි විය. "ඉතින් පැය දෙකක් විතර මූට වතුරෙන් එළියට එන්ඩ බැරි වෙලා. බඹරු ඔක්කොම ගිහිල්ලත් මූ මොකද ගොඩට එන්නේ නැත්තේ කියලා බලනකොට තමයි කාරණේ තේරුනේ. අනික් පාර අරුන් කාපු අමාරුවටයි, උදේම වතුරේ සීතලටයි මූට ජල සන්නිය හැදිලා මූ වැවේ ඉපිලෙන්ඩ පටන් අරන්. පස්සේ තමයි මිනිස්සු මූ ගොඩ අරගෙන තියෙන්නේ. ඌ මැරෙයි කියල තමයි ගොඩ අය කීවෙ !" 

         "ඔහොම ලේසියෙන් ඌ මැරෙන්නේ නෑ කිරිඅම්මේ. තව ඕකට විදවන්න තියෙනවා. " 

         "මෙව්වා ඔක්කොටම උඹට පිං. මතු මෛත්‍රී බුදුන් දැක උඹට නිවන් සුව ලැබෙන්ඩ ඕනි. ඒ උනාට මේ පුසුඹ සබන් කෑල්ලනම් මට එපා. අරං පලයං" 

        "ඕක ගාලා නාන්ඩ. එතකොට කිරි අම්මගේ ඇගෙනුත් සුවඳ පිට වෙනවා"

        "තුඃ විතරක් #ලෝකෝත්තරයා. මගේ දෑහට නොපෙනී පළ මෙතනින් යන්ඩ. මගේ යකා අවුස්ස ගන්නේ නැතුව"  (151 පිටුව)

ලෝකෝත්තරයා කියන වචනේ හොඳට නරකට දෙකටම පාවිච්චි කරන්නෙකි. බුදු ගුණයක් ලෙසත්, ගමේ ගොඩේ නසරාණියෙකුටත් මෙය යොදා ගනී... කියවලාම බලන්න. මේ ලෝකෝත්තරයා හොඳ එකෙක්ද නරක එකෙක්ද කියල......


                කාන්තාරයේ කුසුම

"මගේ දෙවියනේ වාරිස්....! මොනවාද ඔයාගේ කකුල් දෙක පුරාම තියෙන කළුපාට ලප ?"

           වසර දහතුනක් පුරා සෝමාලියානු කාන්තාරවල මිරිවැඩි නොමැතිව ඇවිද ගිය කළ ගල් කැබැලිවලට සහ කටු ආදියට සිරීමෙන් ඇති වූ තුවාලවල කැළැල් ගැන පැරිස් නගරයේ ජීවත් වන ඡායාරූප ශිල්පියෙකුට හෝ නිරූපිකාවන් හැඩ ගන්වන්නකුට හෝ මා විස්තර කර දෙන්නේ කෙසේද...?
        සමහර අවස්ථාවල ඔවුන් මට, කොට සායකින් සැරසී එන ලෙස දැන්වූ කළ මගේ බකල කකුල් ඔවුන් ගේ අවධානයට යොමු වෙතැයි මා තුළ නිරායාසයෙන් ම අනියත බියක් හට ගනී.. බකල කකුල් ඇති වීමට හේතුව පෝෂ්‍යදායක ආහාර නොමැතිව අප්‍රිකාවේ එඬේර පවුලක ජීවත් වීමෙන් ලැබුණු දායාදයට වඩා අන් කුමක්ද ? 

ජීවිතේ හැම දේම වෙන්නේ දෛවයේ ලියවිලා තියෙන විදිහට ම කියල මට හිතෙනවා. වෙන හැම දෙයක්ම කලින් ප්ලෑන් කරලා කරනවා වගේ, හැම දේම වෙන්නෙ හොඳට... එහෙමත් නැත්නම් වෙන්න තියෙන හොඳම දේ විතරයි හැම විටම වෙන්නෙ....
    වාරිස් ඩයිරිගේ ජීවිත කතාව කියන "කාන්තාරයේ කුසුම" කියවලා බලන්න.  එඬේර කෙල්ලෙකගේ අපූර්ව ජීවිත ගමන ගැන ලියවිලා තියෙන සුන්දර අසුන්දර පොතක්.... 

පොතේ තිබ්බ කවියක් මේක

ඔබ තරුණ ජේත්තුකාරයින් සොයන සළුවක් වැන්න...
ඔබ මසුරන් දහස් ගණනින් පිදෙන පලසක් වැන්න...
වරෙක් ම'වෙත ලැබුණු ඔබ දයාව,
යලි කවදානම් මට ලැබේවිද ?
කුඩය දිග හැරුණ ද ඔබ එහි නන රදවන රැහැන වැන්න...
මනාව වාත්තු කළ නයිරෝබි රන්රුව ඔබය...
හිමිදිරි රැස් කිරණ පතුරමින් අඹරේ නැඟි හිරු ඔබය...
වරෙක ම'වෙත ලැබුණු ඔබ දයාව,
යළි කවදානම් මට ලැබේවිද ?


                4 නිරුවත් ගැහැණිය - ඩෙස්මන්ඩ් මොරිස්  (පරිවර්තනය - පසන් කොඩිකාර)

         සෑම කාන්තාවකටම සුන්දර ශරීරයක් තිබේ. සුන්දර වන්නේ එය පරිණාමයේ අවුරුදු දස ලක්ෂ ගණනාවක අවසාන ප්‍රතිඵලය වන නිසාය. මනුෂ්‍ය ස්ත්‍රිය ඇයගේ විකසනයේදි මනුෂ්‍ය පිරිමියාට වඩා බෙහෙවින් අධික ලෙස විශාල වෙනස්වීම් විඳ දරා තිබේ. ඇය ප්‍රිමාටේස් වර්ගයේ අනෙක් සතුන්ගේ ස්ත්‍රී ගුණයන් බොහෝමයක් හැර දමා ඇති අතර නූතන කාන්තාවගේ හැඩ ගැස්ම තුළ අපූර්ව ස්වභාවයක පැවැත්මක් බවට පත් වී ඇත....මනුෂ්‍ය ස්ත්‍රී රූපය විශ්මයජනක යෝග්‍ය සකස්වීම් වලින් සහ සියුම් ඔපලීම් වලින්  පිරි පරිණාමයේ අවුරුදු මිලියන ගණනක විශිෂ්ඨ ප්‍රතිඵලයකි. එය ග්‍රහලෝකය මත අපූර්ව පැවැත්ම වේ..

මෙම පොත ස්ත්‍රී සිරුර පිළිබඳ එහි බොහෝ වූ අසාමාන්‍ය ලක්ෂණ පැහැදිලි කරමින් පාඨකයාව මඟ පෙන්වන චාරිකාවක ගෙන යයි. එය වෛද්‍ය විද්‍යාත්මක පෙළ පොතක් හෝ මනෝ විද්‍යාඥයකුගේ පර්යේෂණණාගාර විශ්ලේෂණයක් හෝ නොව සැබෑ ලෝකය තුළ, ඔවුන්ගේ ස්වභාවික වටපිටාව තුළ ඔවුන් පෙනී සිටින ලෙසින් ගැහැණුන්ව වර්ණනය කරන ජීව විද්‍යාත්මක ආලේඛ්‍යයකි.

කතුවරයා ගැන - 
           ඩෙස්මන්ඩ් මොරිස් 1928දී දකුණු එංගලන්තයේ විල්ට්ෂෙයර්හි උපත ලද්දේ ය. බර්මින්හැම් විශ්ව විද්‍යාලයෙන් සත්ත්ව විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේ ය. 1959 දී ලන්ඩන් නුවර සත්ත්වෝද්‍යානයේ ක්ෂීරපායීගේ භාරකරු බවට පත් වූ ඔහු අවුරුදු 8ක කාලයක් එම තනතුර හෙබවීය. පිටපත් මිලියන 10කට වඩා ලෝකය පුරා අලෙවි වූ "නිරුවත් වානරයා" (The Naked Ape) කෘතිය 1967 අවසන් කරන විටත් ඔහු විද්‍යාත්මක නිබන්ධන පනහක පමණ සහ කෘතීන් හතක කතුවරයා වී සිටියේ ය. ඔහු නිපුණ චිත්‍ර ශිල්පියෙකුද වේ...

විශේෂ ම කාරණය - මෙම පොත වැඩිහිටියන් පමණක් කියවලා බැලිය යුතුයි කියා නැත, ඒත් ඔබ වැඩිහිටියෙකු උනත්, ඔබේ මව ඉදිරියේ මේ පොත කියවීමට නොයන්න. මොකද ඔබ වැඩිහිටියෙකු උනත් ඔබේ මව යනු මවයි.... (අත්දැකීමක් ඇසුරිනි 😂🔫)


             5  ධවල ව්‍යාඝ්‍රයා  - අරවින්ද් අඩ්ගා (පරිවර්තනය සෝමචන්ද්‍ර විජේසූරිය )

      බාල්රාම් හල්වාල් දුශ්කරම ගමක දුප්පත් ම කොල්ලෙක්. ඒ කොල්ලගේ ජීවිතේ ව්‍යවසායකයෙක් දක්වාම දියුණු වෙන විදිහ මෙ පොතේ තියෙනව. අරවින්ද් අඩ්ගා කියන විදිහටනම් ව්‍යවසායකයෙක් වෙන්නේ කොහොමද කියලා පොතට නම දාන්නත් පුළුවන්. 

      පොත පටන් ගන්නකොටම කියවගෙන යන්න මාරම ආසවක් එනවා. ඒ 

"අගමැතිතුමනි, 
       ඔබතුමාටත්, මටවත් ඉංග්‍රීසියෙන් කතා කර ගන්න බෑ. ඒත් සමහර දේවල් කියන්න පුළුවන් ඉංග්‍රීසියෙන් විතරයි.
        ඕක මට කියලා දුන්නේ, මගේ පරණ හාම්පුතා, අශෝක් මහත්තයගේ කලින් බිරිද පින්කි නෝනා"  කියන කෑල්ල කියෙව්වට පස්සේ..... 

ඇත්තටම අගමැතිතුමාට ලියන ලියුම් වලින් පොත පිරිලා තියෙන්නේ... 
පොත අන්තිම ඡේදය තියෙන්නේ කොහොමද කියලා මම කියන්නම්, එතකොට ඔයාලටත් ආස හිතේවි.

     "සියළුම පොකුරු පහන් ටික පොළවට කඩාගෙන පාත් උණත්, එයාලා මාව හිරේ විලංගුවේ දාලා, ඒවායේ ඉන්න හිරකාරයෝ හැමෝම මට බලහත්කාරකම් කරත්, අලුගෝසුවා ළඟටම මාව ලී පඩි දිගේ නැංගුවත්, එදා රෑ දිල්ලියේදි මං මගේ හාම්පුතාගේ උගුරුදණ්ඩ කපලා, මං කෙරුවේ වැරද්දක්‍ය කියලා නම් මං කවදාවත් කියන්නේ නෑ... 
      මං කියන්නේ ඒ හැම දේම දැන ගන්න එක වැදගත් වෙන්නෙ එක දවසකටයි. එකම එක පැයකටයි. එකම එක විනාඩියකටයි. ඒකේ තේරුම තමයි කාගෙවත් වැඩකාරයෙක් වෙලා ඉන්ඩ එපාය කියන එක." 

     ඉතින් සේවකයෙකු, චින්තකයෙකු, ව්‍යාපාරිකයෙකු හා ඝාතකයෙකු වෙන බාල්රාම් හල්වාල් හෙවත් සුදු කොටියා නැත්නම් ධවල ව්‍යාඝ්‍රයා හමුවෙලා බලන්න ඔයාලත්........(මේ පොත 2008 වසරේ මෑන් බුකර් සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වගේම අරවින්ද් අඩ්ගාගේ පළවෙනි නවකතාව)

         පොත් 5නම් ඉවරයි... තව සූසෑන්ගේ "ඇයි අම්මේ මං එපාද" පොතයි කැති ග්ලාස්ගේ "බිදුණු බිළින්දා" පොතයි කියවනකොට මට කදුළු නවත්ත ගන්න බැරි උන හේතු මතක් උනත් දැන් ඇඟිලි රිදෙනවා ටයිප් කරන්න බෑ වගේ නිසා නොකියා ඉන්නම්... 

       මේ හැම පොතකටම වඩා මට සංවේදි අවසානය දැක්කාම මාරම දුකක් එන පොතක් තියෙනවා.... ඒ තමයි මගේ බැංකු පොත....😂

    චැලේන්ජ් එක ඉවරයි. ඇඟේ තීන්ත තාම. නාන්නත් තියෙනවා. වෙලාව 23.55....... එහෙනම් ඉස්කෝතුයි
..............................................

ගිය අවුරුද්දේ ලියපු තවත් එකක්.. ආයෙම ශෙයා කරන්න හිතුනා දැක්කාම..

#අකිල

No comments:

Post a Comment