Thursday, December 24, 2020

👉 උඹට පුළුවන් ද ? 👈



උඹට පුළුවන්ද වැඩ කරන්න....
කිසිම වරප්‍රසාදයක් නැතුව,
ප්‍රශංසාවක් බලාපොරොත්තු නොවී, 
කාගෙන්වත් අණක් නැතුවම,
මැෂින් එකක් වගේ.....
කොහොමද දන්නවද,
හැමදාම උදේම නැගිටලා,
රසට උයලා, ගේ දොර අතු ගාලා,
අස් කරලා මකුළු දැල් කඩලා,
රෙදි හෝදලා,
හරියට අපේ අම්මා කරා වගේ.....

උඹට පුළුවන් ද ඇහැරිලා ඉන්න....
කොච්චර මහන්සි උනත්,
නිදි මත කොච්චර තිබුණත්,
කාගෙන්වත් අණක් නැතුවම,
ඔරලෝසුවක් වගේ.....
කොහොමද දන්නවද,
නිදි මරාගෙන,
සැරෙන් සැරේට ඔළුව අතගාලා බලල,
පැය හයෙන් හයට පැනඩෝල් දීලා,
මම ලෙඩ වෙලා ඉද්දි,
හරියට අපේ අම්මා කරා වගේ.....

උඹට පුළුවන්ද කන්නේ නැතුව ඉන්න....
කොච්චර බඩගිනි උනත්,
කොච්චර ආස කෑමක් උනත්,
වේල් කීපයක් නොකා හරි,
ශක්තිමත් ව ජවයෙන් ඉන්න,
යකඩයක් වගේ.....
කොහොමද දන්නවද,
කන්න කෑම මදි උනම,
බඩගින්නේ ඉදලා,
කන්න තියෙන දෙයක් මට දෙන්න,
රසම කෑමක් උනත්, 
වැඩිපුර කොටසක් මට දෙන්න,
හරියට අපේ අම්මා කරා වගේ.....

උඹට පුළුවන්ද ආදරේ කරන්න....
කිසිම බලාපොරොත්තුවක් නැතුව,
පෙරලා උත්තරයක් තිබුණත් නැතත්,
ඉල්ලන්නෙත් නැති 
ගනන් ගන්නෙත් නැති,
කොච්චර වැරදිකාරයෙක්ට උනත්,
හදවතේ උපරිමයෙන්ම,
හැමදාම පායන ඉරක් වගේ....
කොහොමද දන්නවද,
සල්ලි තිබුනත් නැතත්  ආදරේ කරන්න,
වැරදි කරත් දාලා නොයා,
වැරද්ද හද ගන්න කියලා දෙන්න,
හැම තිස්සෙම හරියටම තේරුම් ගන්න,
අසීමිතව ආදරේ කරන්න,
හරියට අපේ අම්මා කරා වගේ.....

උඹට පුළුවන්ද වෙනස් වෙන්න....
වෙනස් වෙලා එහෙම වෙන්න,
මගේ හදවතේ, 
කාන්තාවක් ට තියෙන,
දෙවෙනි තැන ගන්න....
ඇත්තටම සීයට සීයක් නැතත්,
සීයට අසූවක්ම,
එයා වගේ වෙන්න.....
හරියට අපේ අම්මා වගේ......

එතකොට මට පුළුවන් 
උඹට ආදරේ කරන්න,
කොහොමද දන්නවද,
හරියට අපේ තාත්තා කරා වගේ.....

#අකිල
#එරන්දියේ

No comments:

Post a Comment