අපි ඉන්නෙ හැමදේම විකිණෙන ලෝකෙක කියලා කිව්වොත් කවුරුත් විරුද්ධ වෙන්නේ නැති වෙයි. කොටින්ම විකිණෙන්නෙ නැති දෙයක් නැති තරම්. හැමදේම, හැමතැනම, හැම කෙනෙක්ම මොනයම් හෝ වෙළඳපළක් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි මට හිතෙන්නෙ... ඒක "හැමෝම දන්න රහසක්" කියන කැටගරි එකට දාන්න පුළුවන් මම හිතන්නෙ. උදාහරණයක් විදිහට, බොහෝ දෙමාපියන් දුවලාව විවාහය කියන වෙළඳපොළේ ඉහළ මිලක් සඳහා සූදානම් කරනවා කුඩා කළ සිටම හෝ ඇය වැඩිවියට පත් වූ දා සිට.... ඒ වගේම බොහෝ දෙමාපියන් පුතාලව රැකියා කියන වෙළදපොළේ ඉහළ මිලක් සඳහා සූදානම් කරනවා කුඩා කළ සිටම හෝ කරඳඩු උස් මහත් වෙනකොටම...
ලෝකයේ භාණ්ඩ හා සේවා ලෙස හැඟීම් දැනීම් පවා විකුණෙනවා. උප්පත්තියේ සිට මරණය දක්වාම සෑම අවස්ථාවක් ම විකිණිය හැකි වෙනවා. සමහරවිට මරණෙන් ඔබ්බටත්.. පත්තරේ දාන දැන්වීම ලෙස මර්ණය විකිණෙනවා. ස්වර්ගය හෝ පින් කියා මරණෙන් පසුව විකිණෙනවා. තව ගත්තොත් ගීතයකට ලියවෙන පද රචනය විකිණෙනවා. බුද්ධිමය අදහස් ලෝකය ඇතුලේ විකිණෙනවා. ගීතයකට යොදන නාද මාලාව විකිණෙනවා. අම්මගේ සෙනෙහස රුපියල් 325 කට කිරි පැකට් එකක් ඇතුලේ එනවා. ජීවිතේ තියෙන ලොකුම රැකවරණය දෙමාපියන්ගේ රැකවරණය. දෙමාපිය රැකවරණය හා සමානයි කියල ඉන්ශුවරන්ස් ඒජන්ට් කෙනෙක් විකුණනවා. අර මිතුරු හමුව, අර මිතුරු මිතුරියෝ, අරකයි මේකයි ලෙස ගැහැණුන් විකිණෙනවා....
මෙහෙම විකිණෙන ලෝකෙක උඹව මේ වෙනකොට කොච්චර විකිණිලා ඇතිද.. කී දෙනෙක් මේ වෙනකොට උඹව විකුණලා ඇත්ද... උඹ කියනවනම් මගේ මොනවා විකිණෙන්නද "හිස් ටිං එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි" කියල, මම උඹට කියනවා හිස් ටිං එකක් උන උබව මේ වෙනකොට යකඩ වලට හරි විකුණලා ඇති....විකිණිලා ඇති.... සමහරවිට යකඩ ටිං එකක් උනත් හරි මිනිහෙක්ගේ අතට ගිහින් ලස්සන නිර්මාණයක් වෙලා උඹට හිතා ගන්නවත් බැරි මිළකට විකිණෙන්න බැරි නෑ... මොකද මිනිස්සුන්ට විකුණන්න පුළුවන් දේවල් වල සීමාවක් නෑ. ආර්ථික විශේෂඥයෝ කියන අර පට්ට පල් බොරුව "සම්පත් සීමිත වේ, අවශ්‍යතා හා උවමනා අසීමිත වේ" කියන එකත් මට මේ වෙලාවෙ මතක් වෙනවා. ඒකටනම් අහු වෙන්න එපා. (සම්පත් අසීමිතයි බන්. අවශ්‍යතා හා උවමනා අසීමිත නෑ. ඒවා අසීමිතයි කියල හිතාටෙන ඉන්නෙ අපි. ඒත් සම්පත් සීමිත කරන්න කාටවත් බෑ. හිතලා බලහන්)
ඉතින් මෙහෙම විකිණෙන, විකුණන ලෝකෙක කොහොමද අපි අපේ වටිනාකම වැඩි කර ගන්නෙ... කොහොමද අපි අපේ මිළ වැඩි කර ගන්නෙ.. එහෙම නැත්නම් අපි විකිණෙන්න ඕනි කොහෙටද....
✡️උගත්කමින්/දැනුමෙන් හා පුහුණුවෙන් ඕනිම කෙනෙක්ගේ අගය වැඩි කර ගන්න පුළුවන්. තම උත්සාහයෙන් දැනුම වැඩිකර ගැනීම නිසා ද අපේ අගය දැනට වඩා වැඩි වෙනවා. තම වෑයමෙන් ධනයක් හරි හම්බ කරගැනීමෙන් ද මිනිසාගේ වටිනාකම වැඩි වෙනවා. තමන්ගේ මනුෂ්‍යත්වයේ ගුණාංග හා මානව දයාව නිසාද අපේ අගය වැඩි කර ගත හැක. ඇඳුමෙන් හෝ පාසල් අධ්‍යාපනයෙන් සීලාචාර මනුෂ්‍යයන් බව පෙන්වීමට නොහැක. ප්‍රෞඩ් ඩු බි අ කියලා පාසලේ නම දැමීමෙන් හෝ ජැන්ඩියට ඇදලා සෙල්ෆි ගැසීමෙන් ඔබේ වටිනාකම වැඩි කර ගත නොහැක. (නමුත් වටිනාකමින් වැඩි කෙනෙකුට තමන්ගේ පාසලේ නම දාල පාසලේ වටිනාකම වැඩි කළ හැක)
✡️ ඔබට හොඳිම මිළක් ලැබීමටනම් ඔබ ඔබම විය යුතුය. ඔබට ජෝතිපාල මහතා හෝ අමරදේව මහතා හෝ විකිණීමට වඩා ඔබට ඔබව විකිණිය හැකිය. මොකද මිනිස්සු ගන්න කැමති නැවුම් එළවළු පළතුරු මිසක් කෘතිම දේවල් නොවේ. අනික ලෝකයේ හොඳම මිළ ලැබෙන්නේ සත්‍යයට මිසක් මුසාවට නොවේ. ඔබ ඔබම වෙන සෑම අවස්ථාවකම ලෝකයට අලුත් නිර්මාණයක් එක් වෙනු ඇත. ඒ අලුත් භාවයේ වටිනාකමට මිළක් ඔබට තීරණය කළ හැක.... ඔබේ මිළ ඔබ දැනගෙන සිටිය යුතුය. සෑම වෙළඳපළකම ඔබ විකිණීමට හැකි ඔබේ වටිනාකම ඔබ තේරුම් ගත යුතුය. එවිට ඔබට් ඔබේ වටිනාකම වැඩි කර ගත හැක.
අපි විකිණෙන්න ඕනි කොහේටද
ගමේ ගොඩේ නූගත් තරැණ තරැණියන්ට උගත්කම, දැනුම හා පුහුණුව ලැබුනු විට ඔවුන්ගේ වටිනාකම ඉහළ යනවා. ඒත් ඉහළ ගිය වටිනාකම ගමට විතරක් සීමා වෙනවනම් ඒක විකුණන්න වෙන්නෙ කුණු කොල්ලෙට, මොකද ඒක විකුණන්න වෙන්නෙ ගමේ කෝපි කඩේට විතරයි. හිතන්න ගමේ වත්තෙන් කපන කෙහෙල් කැනක වටිනාකම වැඩිවෙන විදිහ.. අහල පහල කෙනෙකුට වඩා වැඩි මිළට විකුණන්න පුළුවන් කඩේට ගෙනියලා, කඩේට වඩා මිළකට විකුණන්න පුළුවන් ටව්මේ කඩේට ගිහින්. ඊටත් වඩා පුළුවන් තව ලොකු නගරෙකට ගිහින්.... ඔය කෙහෙල් කැනම කොහොමහරි කොළඹට ආවොත්, හිතන්න ගමේ කඩේට විකුණපු මිළයි කොළඹ නෝන කෙනෙක්ට විකුණන මිළයි අතර වෙනස කොහොමද කියල.... මම දන්න දෙයක් කියනවනම්, මගේ මේ ගමේ මී පැණි බෝතලයක් රුපියල් 600/=... බෝතලයක් කිව්වේ ඒ ගල් අරක්කු බෝතලයක්. ටව්මේ කඩේ 1000/=... මම යූනියන් ප්ලේස් කීල්ස් සුපර් සුපර්මාර්කට් එකේ දැක්කා මගේ අල්ලට වඩා පොඩි බෝතලයක් 600/=..යි.
අන්න ඒ නිසා හොඳට මතක තියා ගනින්, උඹව විකුණන්නේ, උඹව විකුණන්න ඕනි, උඹ විකිණෙන්න ඕනි, ගමේ තියෙන කෝපි කඩේට නෙවේ, කොළඹ තියෙන සුපර්මාර්කට් එක්කට කියල....
ගමේ ඉදලා රාජධානි එක්ස්ප්‍රස් කෝච්චියේ ටිකට් නැතුව හොරෙන් මුම්බායි ඇවිත් හොටෙල් ඩිලයිට් එකේ 205 කාමරේ නතර වෙලා කාලයක් කට්ට කාලා දුක් විදපු මනුස්සයෙක් අද සුපර් ස්ටාර් කෙනෙක් වෙලා. මොකද ඒ මනුස්සයට විකුණන්න දෙයක් තිබ්බා. විකුණන්න ඕනි දේ ඔහු හොයා ගත්තා. තමන්ගේ වටිනාකමට මිලක් දෙන්න ඔහුට ගමෙන් නගරයට එන්නම උනා. ඔව් ඒ සුපර් ස්ටාර් ශාරුක් කාන් ගැන තමයි කියන්නේ... ශාරුක් කාන් වගේ ගොඩාක් අය ඉන්නවා. Nawazuddin siddiqui කියන්නෙත් හද්ද පිටිසර ගමකින් ආපු නළුවෙක්.
ඒ වගේම නන්දා මාලනී මහත්මියත් විකිණිය යුතු වටිනාකම හොයා ගත්ත කෙනෙක්...තාත්තා මහන ඇදුම් කෑ විකුණන්න උගුර ලෙ රහ වෙනකම් කෑ ගහපු කෙනෙක්... ගේවල් ඇතුලටවත් නොගත්ත කෙනෙක්. පිංසේණ්ඩු වෙලා සල්ලි ඉල්ල ගත්තු කෙනෙක්... එදා ඇය විකිණිය යුත්තේ රෙදි නෙවේ කියල හිතුව නිසා නන්දා මාලනි මහත්මිය අපිට හම්බුනා...
ජෝති පාල මහත්මයත් එහෙමයි... ගායකයෝ නළුවෝ විතරක් නෙවේ. ජැක් මා, ශහීඩ් කාන්, ජැන් කෞම්, වගේ තමන්ව විකිණිය යුතු තැන හොයා ගත්ත හැමෝම සාර්ථක මිනිස්සු වෙලා තියෙනවා.
මම හොඳින්ම දන්න විකිණිය යුතු වටිනාකමක් හොයා ගත්ත හා විකිණිය යුත්තේ කොහේදිද අදුර ගත්ත මගේ ගම් පළාතෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ගිය Lahiru Madushanka සයෝදරයත් මට මේ වෙලාවෙ මතක් වෙනවා....
මිනිස්සුන්ගේ සරලකම ගැමිකම ඉහළම මිළකට විකිණෙන දෙයක්. ප්‍රියන්ත මහඋල්පතගම චරිතේ විකුණන්නේ ඒක... ඒ වගේම මිනිස්සු සරළ කමට හොඳම මිලක් දෙනවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ විකිණෙන ලෝකේ උඹව විකුණගන්න බලපන්, විකුණගන්න පුළුවන් තරම් වටිනාකමක් හදා ගනින්. උඹ හිතනවට වඩා උඹව වටිනවා ඇති. වටිනාකම හොයා ගනින්. කුණු කොල්ලෙට උඹේ වටිනාකම ගමේ විකුණන්න එපා. කොළඹ සල්ලි තියෙන නෝනා කෙනෙකුටම විකුණපන්...😃 මතක තියා ගනින් කොළඹ කීවේ සීමාව නෙවේ... සීමාව අහස
කතාව එපමණයි.... වියදම අපමණයි...
#අකිල
No comments:
Post a Comment