Saturday, December 26, 2020

👉 උඹ පොරක්ද? 👈


මගේ ජීවිතේ වැඩියෙන්ම මිනිස්සු මගෙන් අහලා තියෙන ප‍්‍රශ්නෙ මේක වෙන්න පුළුවන්. කොටින්ම මගේ නම අහනවටත් වඩා. ඒ වගේම මගෙන් අහනවට මං කැමතිම ප‍්‍රශ්නෙත් මේක වෙන්න පුළුවන්. මොකද මේකෙ පොඩි ඊගෝ බූස්ට් එකක් තියෙන හින්ද.

මං පොරක්ද කියල කවුරු හරි අහන්නෙ ඒ කෙනාගෙ පොර ධුරාවලියකට සාපේක්ෂව. එතකොට ඒ ධුරාවලියෙ අයට හිමි යම් යම් ලක්ෂණ මා විසින් සපුරාලමින් තියෙනවා. ඒත් මං මතු කරන තවත් සමහර ලක්ෂන වලින් මාව ඒ් ධුරාවලියෙන් ප‍්‍රතික්‍ෂේප වෙමින් තියෙනවා. එතකොට මං පොරක් වෙනවා. මට බනින්නෙ නැතුව බැරි වෙනවා. ඇත්තටම මගේ අදහස් බාරගන්න හෝ ඊට ප‍්‍රතිවිරුද්ද අදහස් මතුකිරීම පසෙක තිබියදී කෙනෙකුට අදහස නොපෙනී මාව පේන්නෙ මං ඒ කෙනාට පොරක් වෙලා තියෙද්දි.

මේ පොරක්ද කියන ප‍්‍රශ්නෙ මං හිතන්නෙ අනුවෙ වගේ මතු වුන පරණ එකක්. ඒ පුද්ගලයාගෙ තරාතිරමට තත්වයට සැලකීමේ පුරුද්දෙන් එන එකක්. ඒක තාමත් පැවතීගෙන වැඩවසම් නෂ්ටාවශේෂයක්. මේ ප‍්‍රශ්නෙ අහන කෙනෙක් මතු කරනවා තමන් ගැන සුවිශේෂ අවිනිශ්චිතතාවයක්. ඒ තමයි පොරක් කියන දෙයක් නෙමෙයි නං තමන්ට අදහසක් හෝ වෙන දෙයක් කිරා මැන බලා තේරුම් ගැනීමේ ස්වයං අවබෝදයක හැකියාවක් නෑ කියන එක. සහතිකයක් හරි තත්වයක් හරි ප‍්‍රභූත්වයක් හරි තියෙනවද කියන එක මිස අදහසක නිර්මාණශීලීත්වය හෝ නව්‍යත්වය ගැන තීරණයක් ගන්න තමන්ගෙ නොහැකියාව. එතකොට එයාට  ඕන වෙනවා පොරක්ද කියල දැනගන්න? අයිඩෙන්ටිය චෙක් කරන්න.

ඒක දැනුම ගැන සමුහ පිලිගැනීමට නතු වීමේ ඛේදවාචකයක්. හැම තිස්සෙම සමාජයකට අලූත් අදහසක් ගේන්නෙ පොරක් නොවෙන කෙනෙක්. මොකද හැම අලූත් අදහසක් කියන්නෙම පවත්නා තත්වය වෙනස් කිරීමේ යෝජනාවක්. පවත්නා බල රේඛාවන් අභියෝගයට ලක් කිරීමේ ප‍්‍රවේශයක්. එතකොට ඒ අදහස එන්නෙම සිස්ටම් එකට එලියෙන්. අනිවාර්යෙන්ම එතකොට සමූහයේ ආධිපත්‍යය පැත්තෙන් ඔයා පොරක්ද කියල ප‍්‍රශ්නයක් එනවා.

කාගෙ හරි පොරත්වය ගැන ප‍්‍රශ්නයක් අපිට එනවා නම් අපි මුලින්ම තේරුම් ගන්න  ඕනි අපි අදහස හෝ ප‍්‍රවේශය වෙනුවට පුද්ගලයා දිහා බලන්න පටන් අරගෙන කියල. පුද්ගලයාගේ තත්වය සිහිය තරාතිරම අනුව අදහසක් බාරගැනීම විද ්‍යාත්මක හෝ දියුණු ප‍්‍රවේශයක් වෙනවද? එහෙම නැත්තං ඒ අදහස හෝ ප‍්‍රවේශය තවත් කාරණා හා ගැටීමෙන් එහි වලංගුතාවය පරීක්ෂා කිරීමද අපි පිලිගන්න ප‍්‍රවේශය වෙන්නෙ. 

ඔයා පොරක්ද කියල අහද්දි අපි අහන්නෙම අපිට ඔයාගෙ අදහස ගැන තේරුමක් නෑ ඒත් සහතිකේ පෙන්නන්න පුළුවන්ද කියන එක. ඒක සිස්ටම් එකෙන් අනිවාර්යෙන් අහන ප‍්‍රශ්නයක්. ඒ ප‍්‍රශ්නෙ අහන්නෙ අපෙන් නම් අපි ඒ මොහොතෙ ආඩම්බර වෙන්න  ඕන. මොකද ඒ කියන්නෙ සමුහ දැනුම් අධිකාරියට අපේ අදහස් අභියෝගයක් වෙමින් තියෙනවා. ඒ සාම්ප‍්‍රදායික පරණකම හැමතිස්සෙම අදහස වෙනුවට පුද්ගලයා පස්සෙ දුවනවා.

අදහස් කොරොනා වයිරසයට වඩා වේගෙන් පැතිරෙනවා. සම්පූර්ණ සිස්ටම් එකම එකපාර නතර කරන්න අනිත් පැත්ත හරවන්න ඒ අදහස්වලට පුළුවන් වෙනවා.

පරණ සිස්ටම් එක බාර නොගන්නා අයට පොරවල් නෑ. ඒ ගොල්ලො දකින්නෙ අදහස. ඒ අදහස්වලින් නිර්මාණය කරන නිදහස.

- චින්තන ධර්මදාස -

ප.ලි. - මගෙන් උඹ පොරක්ද, උඹ කෙරුමද අහන හැමෝටම දෙන්න තිබ්බේ එක උත්තරයයි... ඒ "ප්ලීස් මචන් මාව පොරක් කරන්න එපා. උඹ තමයි මාව පොරක් කරන්නෙ"

ඒ එක්කම මට මතක් උනේ උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ එක කොටසක්...

"උඹ බයයි නේද ?"

බොහෝ චණ්ඩි කතා වාචාලකම් වන සංවාද විසංවාද මැද්දේ මා නිහඬ වූ විට මගේ මිතුරෝ මගේ කට අවුස්සති.

"ඔව්. මං බයයි."

මම පිළිතුරු දෙමි. මා කිසිවෙකුට බය නැතිවාක් මෙන් ම මම බොහෝ අයට බිය වෙමි. මේ සමාජයේ බය නැත්තේ කාට ද ? බය කාටද යන්න විටෙක වෙන් කොට ගත නොහැකි ය. අපි චණ්ඩි යැයි සිතන බොහෝ පාතාල මැරයන් විටෙක අපිට ගරු කරන අතර, අප පඩේකටවත් ගණන් නොගන්නා නපුංසක පිම්පියන් අපට චණ්ඩි පාට් දමන විට අපි ඔවුන්ට බිය වෙමු. චණ්ඩිකම විටෙක නිර්භීතකමක් වන්නා සේ ම තවත් විටෙක මෝඩකමක් ද වන්නේ ය. මම එක විට මෝඩයා ද චණ්ඩියා ද වන්නෙමි. (95 පිටුව)


No comments:

Post a Comment