Saturday, December 26, 2020

👉 නිරාගමිකයෙක් උනේ මෙහෙමයි 👈


කාලෙකට කලින් සෑහෙන්න බෞද්ධයෙක් උන මම සියළුම දෙවි දේවතාවන්ට වැදුම් පිදුම් කළ පුද්ගලයෙකි. කොටින්ම බෝ ගහක් දකින සැනෙන් නැගිටින, දේවාලයක් දකින සැනින් නැගිටින පුද්ගලයෙකි... මා සිතා සිටියේ මහණ දම් පිරීමටයි. වනගතව භාවනායෝගි ජීවිතයක් ගත කිරීමටයි. ඒ නිසා ඒ ගැන ඉගෙන ගැනීමට අසීමාන්තිකව උත්සහා කිරීම හා බෞද්ධ ආගම, දෙවිවරු, භූතයෝ ගැන අසීමිත සෙවිල්ල, කියවිල්ල, නිසා ඒ සම්බන්ධව මගේ දැනුම මගෙ සම වයස් අයෙකුට වඩා ඉතා වැඩි විය.... එම නිසාම ධර්මය ගැන මගේ තර්ක කිරීම්ද වැඩි විය. ගාථා, කවි, පිරිත්, ධර්මය ඉතා හොදින් මතක තිබූ මට ධර්මය පිළිබඳ ඕනිම විවාදයක් ලේසියෙන්ම ජය ගැනීමට හැකිව තිබුණි..  

ඔය කාලයේ මා අනෝජ් ද සිල්වා ගැන උනන්දුවක් ඇති වී ඔහුගේ භක්තිකයෙකු වී ඔහුව ඇදහීමටද පටන් ගනිමි. අවස්ථා කීපයක්ම ඔහුව මුණ ගැසී තර්ක හා සාකච්ඡා කළ මට අවසානයේ ඔහු පංජනං කාරයෙකු බව පැහැදිලි විය.... ඊට මූලිකව හේතු වූයේ හා අනෝජ් ද සිල්වා යන නම පවා මට අපුල වූයේ ඔහු වටා ඉන්නා අන්ධ භක්තිකයින් නිසායි. අනෝජ් ද සිල්වා පාවිච්චි කරේම බුදුන් හා දෙවියන් හා රාවණායි.... ඉතින් මා අනෝජ් ද සිල්වා පම්පෝරි ගහන මෝඩයෙක් ලෙස අත හැරියේ ඔහු පාවිච්චි කළ බුදුන්, දෙවියන්, රාවණාද සමඟය.... අනෝජ් ද සිල්වා අදහන මෝඩයින් දැක මට අනෝජ් ද සිල්වා එපා උනා සේම බුදුන් අදහන තලේබාන් බෞද්ධයෝ නිසා බුදුන් එපා උනේ ය. දෙවියන්ට හා රාවණාට ද එසේම විය. සියළු ආගම්, විශ්වාස, හාස්කම්, ආශ්චර්යන්, අතැර බැහැර කර මා නිරාගමිකයෙකු විය....

           කලකට ඉහතදී ඉතාම බයෙන් හා ගෞරවයෙන් සිටි දෙවිවරුන්ට තිබූ බය පක්ෂපාතීබව අතැර ඔවුන්ව හෑල්ලුවට ලක් කරමි. වෙනදා මාතලේ අම්මාන් කෝවිල, නුවර දළඳා මාළිගාව, සියඹලාව මින්නේරි දේවාලය, දඹුල්ලේ පංසල, අළුවිහාරේ පංසල, ආදි බොහෝ ආගමික ගොඩනැඟිලි අසලින් යනවිට දැනෙන නිවට ගතිය, අසරණකමට උදව් ඉල්ලන ගතිය හෝ බය පක්ෂපාතීත්වය මට දැන් දැනෙන්නේ නැත. එවැනි ගොඩනැඟිල්ලකට කිසිම අසාමාන්‍ය ගෞරවයක් හෝ වන්දනීයත්වයක් නැත. 

නමුත් ඉහත කී හාස්කම් ඇති බව කලකට පෙර විශ්වාස කළ පංසල් දේවාල වැනි ගොඩනැඟිලි තරමටම මම වන්දනීයව ගරු කරන එක් ගොඩනැඟිල්ලක් ඇත. ඒ ඕනිම නගරයක ඇති පොදු වැසිකිළියයි. වරක් පාන්දරින් නුවර යන අවස්ථාවක බඩේ අජීර්ණයක් නිසා ඇති වූ අර්බුදකාරී තත්වයකට නාඋල නගරයේ පොදු වැසිකිළිය පිහිට වූ අයුරු තවමත් මතක ය.. එදා සිට මම තේරුම් ගතිමි, පොදු වැසිකිළියක තරම්වත් පිහිටක් කලකට කලින් මා දුටු පමණින් නැඟිට ගරු වන්දනා කළ පංසලකින් හෝ දේවාලයකින් ලැබෙන්නේ නැති බව....

             මම කලකට කලින් සිතා සිටියේ මම දුවනකොට වැටුනත් ඒකට හේතුව උදේ පාසලේ ගාථා කියනවිට විකාර කළ නිසා බවයි. මාව කාලයක් යන තුරුම ප්‍රෝග්‍රෑම් කර තිබුනේ එලෙසින් ය. ඉතින් කිසිම ඇදහිල්ලකට අපහාසයක් විහිළුවක් වෙනසක් හිතූ පමණින් මට හෝ මගේ හිතවතෙකුට කරදරයක් වේ යැයි මම සිතා සිටියෙමි. සැබැවින්ම එය බියගුළුකමකි. නිවට කමකි. බයික් එකේ යන සෑම විටම දේවාල ගාවින් නැගිටලා නොගියොත් අනතුරක් වේ යැයි බයෙන් සෑම විටම නැගිටලා දෙවියන් සිහි කිරීමට පුරුදු වී සිටියෙමි. ඒ වෙනකක් නොව මගේ කොන්ද පණ නැතිකම බව පසක් වීමට මෙපමණ කලක් ගත වීම ගැන මම දුක් වෙමි. වෙනදා මාතලේ අම්මාන් කෝවිල අසලින්, සියඹලාව මින්නේරි දේවාලය අසලින්, බසයේ යනවිට, "මාව ආරක්ෂා කරන්න දෙවියනී" කියා පාර්ථනා කළ මා දැන් දේවාලය දෙස බලා "දෙයියො කරයි පුකක්" යැයි අවඥාවෙන් හිනා වෙමි. 

මා හිනා වෙන්නේ කලකට කලින් තිබූ මගේම නිවටකමට යැයි මට සිතෙයි.... එදා කරදරයක් වේ යැයි, විවේචනය කිරීමට බියෙන් සිටි සියළුම ආගම්, දෙවිවරු, මම අද වන විට විවේචනය කර ඇත. හාස්‍යයට ලක් කර ඇත. මේ වෙනකම් මට උන කරදරයක්ද නැත. වෙන ඕනිම කරදරයකට සූදානම්‍ ය... 

             මේ ලියමන ලියන මොහොතේ දේශපාලන පිටිය උණුසුම් වී ඇත. මේ උණුසුම් දේශපාලනයේ තරඟකරුවන් ද මට එපා වීමට පටන් ගෙන ඇත... ඒ, දේශපාලකයින් අදහන බැතිමතුන් ගේ හැසිරීම දැකීමෙන්‍ ය. නම් වශයෙන්ම කිව හැක. ගෝඨාභය රාජපක්ෂ සේම සජිත් ප්‍රේමදාසව මට එපා වී ඇත. අප්පිරියා වී ඇත. එසේ වී ඇත්තේ ඔවුන්ගේ අනුගාමිකයින්ගේ හැසිරීම නිසාය. 

මා ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස මේ ජනාධිපතිවරණය දිනනවාට කැමති නැත. මම බය ඔවුන් දෙදෙනාටම බිය වෙමි. සැබවින්ම බිය ඔවුන් දෙදෙනාට නොව ඔවුන්ව අදහන මෝඩ බැතිමතුන්ටය. සෑම විටම ඒ බැතිමතුන්ගේ හැසිරීම දකින මගේ සිතට ඇති වන්නේ "මුන් දිනුවාම කොහොම නටයිද" කියාය. 

ඒ වගේම මේ පැති දෙකේම බැතිමතුන් පරදිනව දැකීමට මම කැමතිය. එවිට මට "උඹලට හොඳ වැඩේ" කියා සතුටු විය හැක.... උන් අදහන උන්ගේ දෙවියෝ පැරදෙනවා දැක, හිතින් උන්ට හූ කීමට මම ආස කරමි... මට හූ කීමට අවශ්‍යව ඇත්තේ ගෝඨාභයට හෝ සජිත්ට නොව, ඔවුන්ව අදහන ඔවුන් වෙනුවෙන් කඩේ යන බැතිමතුන්ට ය... සමහරවිට මා පරදිනවට කැමති මා වටේ ඉන්න මගේ උන්වමය... පක්ෂ දෙක්ක බැතුමතුන් වී අන්ධව ඉන්න මගේම උන් පරදිනකම් මම බලා සිටිමි.  ඉතුරු පක්ෂ වලින් මොකා දිනුවත් මට කමක් නැත. 

#අකිල
(2019/11/01 ලියූවකි)

No comments:

Post a Comment