Saturday, December 26, 2020

👉 සහකම්පනය 👈


මිනිසුන් හා සතුන් අතර ඇති වෙනස මිනිසුන්ට ඇති සහකම්පනය (empathy) බව මම තදින් විශ්වාස කරමි. අනෙකාගේ දුක වේදනාව දැනෙන තාක් කල්ම අපි මනුශ්‍යන් සේ ජීවත් වනු ඇත. අනෙකාගේ දුකේදි සතුටු වෙනවනම්, සතුටු වෙන්න පුළුවන්නම් ඒ මනුශ්‍යත්වයෙන් ගිලිහී යන මිලේච්ඡ ජීවියෙක් යැයි මම විශ්වාස කරමි. 

මහා කාරුණික දහමක් අදහන සරණ යන බහුතරයක් මනුශ්‍යත්වයෙන් ගිලිහී යන්නේ ඇයි ද කියා මට තේරුම් ගත නොහැක... තව අයෙකුට දුකක් කරදරයක් වූ විට, "ඌ කරපු පව් නිසා ඔය, හොඳ වැඩේ ඕකට" යැයි සිතන්නේම මහා කාරුණික දහමක් සරණ යන, කර්මයක් විශ්වාස කරන, කර්මයක් කර පින්නාගෙන යන උපාසක උපාසිකාවන් ය... 
       
                     ඇඟ පුරා ගෙඩි හැදී වේදනා විදිමින් හිටි පූතිගත්ත තිස්ස තෙරුණ් දෙස බලා "හොඳ වැඩේ තොට, තෝ කරපු පව් ඔය ගෙවන්නේ" යැයි ඒ කාරුණික සාස්තෘන් වහන්සේ කිසිදා කියා නැත.... ඒ වෙනුවට කලේ පූතිගත්ත තිස්ස තෙරුණ්ටත් පිහිට වීම ය. පිහිට වීමේ අගය කියා දීම ය... එවැනි උදාහරණ ඕනි තරම් දිය හැකි උනත් අසරණයන්ට පිහිට වීම හා අනෙකාගේ දුකේදි කරදරයේදි පිහිට වෙන ආකාරය ක්‍රියාවෙන් පෙන්නූ දහමක් කර පින්නාගෙන යන්නා වූ මිලේච්ඡයින් බිහි වන්නේ කෙසේදැයි මට හිතා ගැනීමටවත් නොහැක....

           ආබාධිත පුද්ගලයෙක් දෙස බලා ඒ ආබාධිත වීමට හේතුව පෙර කර්මයක් යැයි සිතා "හොඳ වැඩේ තොට" කීමට තරම් අපි මිලේච්ඡත්වයට පත් වී ඇත.... 

           තමන් කැමති පක්ෂයට ඡන්දය නොදීපු නිසා "බෝම්බ ගහලා මදි උන්ට" යැයි කීමට තරම් අපි මිලේච්ඡත්වයට පත් වී ඇත..... 

           දරුණු ලෙඩ රෝග සැදී ඇති හය හතර නොතේරෙන ළමයින් දෙස බලා "මහ උන් කරපුවා තමා ඔය ගෙවන්නේ" යැයි උජාරුවෙන් කියා වචනයෙන් හෝ පළිගැනීමේ කුණු රස සතුටක් ලැබීමට තරම් අපි මිලේච්ඡත්වයට පත් වී ඇත....

මේ මේ ලෙස තව බොහෝ අවස්ථා මා දැක ඇත....
 

          ඒ අතර නවතම පුරුදු මිලේච්ඡ ආතල් එක ලෙබනනයේ සිදු වූ පිපිරුම දෙස බලා, "හොද වැඩේ උන්ට, දවස් දෙක්කට කලින් සත්තු මරපුවා තමයි පලදීලා තියෙන්නේ" යැයි එළියට ඇවිත් ඇත.....  මේ පලදීම ගැන මහා කාරුණික දහමක් අදහන උපාසක උපාසිකාවන්ට ආතල් ය... තමන්ගේ දහමේ සදහන් කර්මය ඔප්පු වී යැයි හුරේ දමන්නට හැකිය.....  තමන් අදහන එක තමා හොඳම එක යැයි ආඩම්බර විය හැකිය.... සිත යටින් ඒ මිනිස්සු මැරුණ එක ගැන සතුටු වෙන එක එළියට පනින්න පටන් ගෙන ඇත.... 

මට මතක් වෙන්නේ කොරෝනා නිසා චීන්නුන් මැරෙන විට "සත්තු මරාගෙන කන චීන්නුන්ට කොරෝනා හැදිලා මදි" කියා පෝස්ට් ශෙයා කරපු උපාසක උපාසිකාවන් ය...

සත්තු මරාගෙන කෑ චීන්නුන්ගේ හා චීන්නුන්ට කොරෝනා හැදිලා මදි යැයි කියපු උපාසක උපාසිකාවන් අතර කිසිදු වෙනසක් නැත..... 
ඒ වගේම ලෙබනනයේ සතුන් මරපු මිනිසුන් හා ලෙබනනයේ මිනිසුන් මැරුණේ සතුන් මැරූ නිසයි කියා හුරේ දාන උපාසක උපාසිකාවන් අතරත් වෙනසක් නැත.......

             නමුත් මා පොඩි කාලයේ සිටම ඉගෙන ගෙන ඇත්තේ අසරණයෙක් දැක අනුකම්පා කිරීමට ය. අසරණයෙක්ට පිහිට වීමට ය.... සතුරෙකුටවත් එසේ නොවේවා යැයි පාර්ථනා කිරීමට ය.... අහල ගමක මළ ගෙදරක් ඇත්නම් පමණක් නොව, සුනාමි ව්‍යසනය, පාස්කු ප්‍රහාරය, ආදි අවාසනාවන්ත සිදු වීම් සිදු වූ කිසි දිනක අපේ ගමේ සද්දෙන් ටීවි රේඩියෝ සිංදු දැමුවෙ නැත.... අපේ වැඩිහිටියන් අපට ඉගැන්නුවේ එසේ ය. මෙහෙ දුප්පත් නූගත් යැයි හදුන්වන මිනිසුන් හැසිරෙන්නෙ එසේ ය.... මම ඒ ගැන සතුටු වෙමි.... ඒ එක්කම, ලෙබනනයේ මිය ගිය මිනිස්සුන්ට හොඳ වැඩේ කියන උපාසක උපාසිකාවන්ට ඔවුන් විශ්වාස කරන කර්මයම ඔවුන්ට පල දෙන ආකාරය ගැන සිතා කණගාටු වෙමි........

මට මතක් වෙන්නේ මා කිය වූ ලිපියක කොටසකි..... 

විසි එක්වන සියවසේ තාක්ෂණය සහ සන්නිවේදනය අතින් අප එකිනෙකා කොයිතරම් ළං වෙලා යැයි අප සිතුවත් මානුෂීය හැඟීම් අතින් අප එකිනෙකාගෙන් කොයි තරම් ඈත් වෙලාද? එක ගොඩේ ජීවත් වුනාට අනෙකාගේ හැඟීම් නොදැනෙන්න තරම් අපගේ සහකම්පනය(empathy) ක්ෂය වෙලාද?

“කාලකණ්ණි දූපත් ජීවිත…
ඉපදෙනවා විතරයි. ඊට පස්සෙ කුණු වෙනවා…
මිනිස්සු ළඟ වැඩියි....
ඒ හින්දම එකෙකුට අනිත් එකාව දැනෙන් නෑ.”

අනෙකාගේ දුක නොදැනෙන මිනිසුන් තුළ ඇති හිස්කම පිරවීමට කුමන ආගමටවත් කුමන විද්‍යාවටවත් කුමන දර්ශනයටවත් නොහැක.

මිනිස්කම මිය යන තැන එතනය...

#අකිල


No comments:

Post a Comment