Saturday, December 26, 2020

👉 අමතර ආදායමක් හොයන්න හරි, ඉක්මනින් ධනවත් වෙන්න හරි ඕනිද ? 👈



       මගේ අවුරුදු 20ක ජීවිත කාලය තුල ධනවත් වීමේ ක්‍රම හා අමතර ආදායම් සෙවීමේ ක්‍රම,සමුළු වලට හිසේ කෙස් ගානට මම සහභාගී වී ඇත. හිසේ කෙස් ගානට එවැනි අවස්ථා දැකද ඇත.. ඒ නිසාවෙන් මම මහා පණ්ඩිතයෙක් හෝ සියල්ල දත් බුද්ධිමතෙක් යැයි මම නොකියමි.. නමුත් මගේ හයවෙනි ඉන්ද්‍රීය ක්‍රියාකාරිත්වය නිසා සෑම "ඉක්මන් ධනවත් වීමේ මාර්ගයකින්ම" යෑම මම ප්‍රතික්ෂේප කළ බවනම් මතක් කරමි.. ඒ නිසා සෑමදා මා දුප්පත් අයෙකු බව ස්ථිරවම කිව හැකිය.

            පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කෙළවරක ජීවත් වෙන මා ලිං ගෙම්බෙකු බවත්, මා දන්නා රෙද්දක් නැති බවත් මෙය කියවන ඔබට සිතෙන්නට හැකිය. එය හැබෑවක් විය හැක. නමුත් මා ඉන්නා ළිදේ තිබෙනා විශේෂත්වය මාව පෞද්ගලිකව දන්නා හැම දෙනාම හොදාකාරවම දනී.(ඔව් ලිද ගාවට තමයි හොඳටම සිග්නල් තියෙන්නේ)

          උක්ත මාතෘකාවට අදාලව මට මේ මොහොතේ මතකයට එන අවස්ථා කීපයක් අතරින් මගේ සිත් ගත්, අලංකාර අවස්ථාවක් මතක් වී මේ දැනුත් මගේ දෑස් කදුළින් පිරුණි. ඒ කෲර සතුටක් නිසාද සානුකම්පිත දුකක් නිසාද කියා තේරුම් ගැනීම මටත් අපහසුය..

ඒ අවස්ථාව මට ලබා දුන්නේ, 2016 යොවුන් පුරය නිසා අදුර ගත් මගේ යාළුවෙක් වූ,.......(නම අවශ්‍ය නැත) අයියාය ය.

    "අකිල මල්ලි, පොඩි ජොබ් එකක් තියෙනවා. මම හෙමීට කියන්නම්. මේ දවස් ටික ගෙවෙනකම් ඉමුකො" ඒ ඔහු මට මුලින්ම ඒ ගැන පැවසූ ආකාරයයි.

(ලියන භාශාවෙන් හෑලි ලිවීම කම්මැලි එපා කරපු වැඩක් වෙන නිසා සාමාන්‍ය මගේ රටාවට මෙතැන් ලියාගෙන යමි 😂)

     "මල්ලි ඉක්මනින් පෝසත් වෙන්න පුළුවන්, උඹට ඒක කරන්න පුළුවන් කියලා මට ශුවර්, හැමෝටම කියන්නෙ නැත්තෙ ඒකයි. හොඳටම ශුවර් අයට විතරයි කියන්නෙ. දියුණු වෙන්න ඇත්තටම උවමනාවක් ඇම්මක් තියෙනවා කියලා උඹව දැක්කාම කියන්න පුළුවන්." වගේ කතා ගොඩාක් එක්ක ඒ අයියා මාව ඒකට කැමති කර ගත්තා. 

       ඒ අයියා කිව්ව විදිහට තාත්තාවත් එක්ක එන්න කිව්වම මම පුදුම උනා. හරි කමක් නෑ කියලා තාත්තා එක්කගෙන එයා කියපු තැනට මම ගියා. මහ නුවරට. පැය තුනක් බස් එකේ ගිහින් නුවරට ආවේ මේ ඉක්මනින් ධනවත් වෙන්නයි, අමතර ආදායමක් හොයා ගන්නයි. ඇත්තටම ඉතින් මේ මට මේක කියපු අයියව මාරම විදිහට මම විශ්වාස කරා. හොඳ බුද්ධිමතෙක් විදිහට මම ගරු කරපු කෙනෙක් නිසා.(ඉස්සර) හැබැයි එයා මේ මාව එක්ක යන ප්‍රෝග්‍රෑම් එක ගැන මුකුත්ම කිව්වේ නෑ. ගියාම තේරෙයි, ගියාම තේරෙයි කියලා කිව්වා. එයත් ඒ ට්‍රේනින් එකට ගියාලු. මටත් යන්නලු. හැබැයි ඒ ගැන කිසිම දෙයක් කියව්වෙ නෑ... එයා ඒකේ උගන්වන දේ සම්පූර්ණයෙන් ම දැනගෙනත් මුකුත්ම කිව්වේ නෑ.(ඇත්තටම මට තියෙන ආදරේට වෙන්න ඕනි ඒ)

      තාත්තයි මායි නුවරට එනකොට ඒ අයියා තව 8 දෙනෙක් විතර එක්කගෙන ඇවිත් තිබ්බා. මම හිතන්නෙ ඇත්තටම දියුණු වෙන්න උවමනාවක් තියෙන දක්ශ අය වෙන්න ඇති. අපිව ඇතුලට ගන්නකොට, අපේ නමයි විස්තරයි ගත්තා. විමර්ෂන නිළධාරියෙකුගේ ජාන වලින් පෝෂිත මම දැක්ක දෙයක්,.. අපි කට්ටියගෙම නම් ඉස්සරහින් ලිව්වේ අපිව එක්කගෙන ගිය අයියගේ නම.
         මොකද්ද මන්දා හේතුවකට මට හිතුනා, Reference වලින් සල්ලි හොයන විදිහට තව අය මේකට එකතු කරලා මටත් සම්තින් එකක් එන වැඩ මම අනන්තවත් කරලා තියෙන නිසා මේකෙන් මේ අයියටත් ගාණක් ආවට කමක් නෑ කියලා. (මොකද ඇත්තටම කිව්වොත් පූරුවේ කරුමෙකට, යාළුවා මාව ඇමක් කරලා බිළි කට්ටක අමුණලා, මාළු අල්ලන්න යන්නේ කියලා දැන දැන උනත් කමක් නෑ වෙන දෙයක් වෙච්චදෙන් කියලා ඒක භාර ගන්න ආත්ම ගානක පුරුද්දක් තියෙන නිසා)

      අපි ඇතුලට යනකොටත් දේශනේ පටන් අරන් තිබ්බෙ. මහා ධනවතෙක් වගේ තමන්ව හදුන්වා දෙන කෙනෙක් තමයි දේශනය කරගෙන ගියේ. මුලින්ම දුප්පත්කම ගැන කතා කරා, සල්ලි ගැන කතා කරා, සාර්ථක මිනිස්සු හුඟාක් දුප්පත් අය කියලා කිව්වා. (ධම්මික පෙරේරා මහත්තයත් ගොඩාක් දුප්පත් කෙනෙක් කියලත් කිව්වා).
          ඔය වගේ කතා අතරේ එයා, තමන් ගැන කිව්වා. දුප්පත් පවුලක කෙනෙක්ලු, ජොබ් ගොඩාක් කරාලු, ඊට පස්සේ දෙවියෙක් වගේ කෙනෙක් හම්බුනාලු. එයාගේ ජීවිතේ වෙනස් උනේ එයා නිසාලු. අද එයා සාර්ථකත්වයට පත් වෙලාලු ඉන්නෙ. අනිත් මිනිස්සුන්ට තියෙන අසීමාන්තික ආදරේ නිසාලු අනිත් අයට මේක ගැන කියන්න හිතුනේ....(විශ්වාස කරන්න, ඔය කතාව මම අහලා තියෙනවා ඔය විදිහට ම තැන් 8කින් විතර.. ඉන්ශුවරන්ස් වල ෆීල්ඩ් එකේ යන්න කට්ටිය(ඒජන්ට්ලා) ගන්නකොට කියන්නෙම ඔය කතාව😁)
          
                   අපි දුප්පත් වෙලා මැරෙන්නෙ අපේ වරදින් කියලත් එයා කිව්වා. ඊට පස්සේ කිව්වා, මිනිස්සු එකම විදිහට ලු ජීවත් වෙන්නෙ. අනුන්ගේ ඒවා කොපි කරලලු ජීවත් වෙන්නෙ. මිනිස්සුන්ට සාර්ථක වෙන්න බැරි ඒකලු. ජීවිතේ එකම චක්‍රයක් ලු. පොඩි කාලෙ දෙමාපියන්ගෙන් යැපෙනවලු, ඊට පස්සේ 25,000ක විතර ජොබ් එක්කට යනවලු. ඒක වියදම් කරනවලු, අවුරුදු 25 විතර වෙනකොට වාහනයක් (බයික් එකක්) ගන්න ණය වෙනවලු. ඒක ගෙවනකම් හරි අමාරුවෙන් ජීවත් වෙනවලු. 28 වෙනකොට කසාදයක් බදින්න ඕනි වෙලා වෙඩින් එකක් ගන්න ආයේ ලක්ෂ ගානක් ණය වෙනවලු.. ඊට පස්සේ ඒක ගෙවන ගමන් ගෙයක් හදන්න ලක්ෂ ගානක් ණය වෙනවලු.. ඒක ගෙවලා ඉවර වෙන්නෙ අවුරුදු 40ක් විතර වයසට ගිහින්ලු. එතකොට ආය පවුල ලොකුයිලු, ආය කරන්නෙ ණයක් අරගෙන කාර් එකක් ගන්න එකලු. ඒක ගෙවලා ඉවර වෙනකොට කරන්න දෙයක් නෑලු. ජීවිත කාලෙම කරලා තියෙන්නේ ණය ගෙවන එකලු. (ඔය කතාවත් මම මීට කලින් අහලා තියෙනවා අවස්ථාවන් 5කට වැඩිය)

        ඒ අතරේ එයාලාගේ සාර්ථකත්වය පෙන්නුවා අපිට. එයාලා බැදගෙන ඉන්නෙ ලෝකේ වටිනම රොලැක්ස් ඔරලෝසුලු, දැන් සතියකට කලින් එකවර දීලා ගෙනාපු අම්බානකට වටින කාර් එකක් පෙන්නුවා,(ඇත්තටම ඒකේ මිලවත්, ඒකේ වර්ගෙවත් මට මතක නෑ,) කලින් එයා පාවිච්චි කරපු කාර් එකත් පෙන්නුවා, (හැබැයි කාර් දෙකේම එකම නම්බර් එක තිබ්බෙ). එයාලගේ ප්‍රොග්‍රෑම් තියෙන ලොකු ලොකු හෝටල් පෙන්නුවා. එයාලා ගියපු ගියපු රටවල් ගැන කිව්වා. එයාලගේ ළමයි යන ඉස්කෝල වගේම, එයාලගේ දෙමාපියෝ බෙහෙත් ගන්න ලොකු ඉස්පිරිතාලත් පෙන්නුවා මයේ හිතේ....

     ඔන්න ඊට පස්සේ එයා කිව්වා,
         "අපි වගකීමෙන් කියනවා, අදින් පස්සේ ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන එක නවත්වන්න කිසිම බලවේගයකට බෑ.. ඔයාලා පෝසතුන් විදිහට මැරෙන එක නවත්වන්න කිසිම කෙනෙකුට බෑ. අද මේ කාමරෙන් එළියට යනකොට ඔයාලගේ ජීවිතේ 50% සාර්ථක වෙලයි යන්නෙ.. විශ්වාස කරන්න මේ අවස්ථාව ඔයාලට ලැබුණේ ඔයාලගේ පිනක් තියෙන නිසයි.මම ගියපු ස්වර්ණමය පාර ඔයාලටත් පෙන්වන්න මම ලෑස්ති"

       අනිත් මිනිස්සුන්ගේ මූණවල් සතුටින් පිරිලා, ඇස් වල කදුළු, ඒ ඒ අයගේ මූණවල් වලින් පේනවා එයාලගේ සාර්ථකත්වය. මටනම් ඒම වාසනාවක් තිබ්බේ නෑ ඉතින්..., අවුරුදු අටක විමර්ෂන නිළධාරියෙකුගේ ජාන, අත්දැකීම්, දැනුම, මගේ ලේ වලට ආවේ මම ඉපදෙනකොටම නිසා මම හිටියේ අනන්ත ප්‍රශ්න ගොඩක වගේම අනන්ත සැක ගොඩක.. මට තිබ්බ එකම ප්‍රශ්නේ (මේ යක්කුන්ට වාසියක් නැත්නම් මෙච්චර දඟලන්නෙ මොකද ? හරියට ඌරන්ට ආදරෙන් කන්න බොන්න දීලා මසට ගන්න ඌරු කොටුවකුත් මතක් උනා.. අනික දෙයියනේ මට ඒම සල්ලි තියෙනවානම් මිනිස්සුන්ට ආදරේනම් මම මේ සැට් එකක් ගෙනල්ලා මේම දේශන තිය තිය ඉන්නෙ නෑ. දුප්පත් එවුන් හොයාගෙන ගිහින් සල්ලි දීලා එන්නෙ අතටම)

    කොහොම හරි එයාලා කියන්නේ මේකයි. එයාලා ගාව තියෙනවාලු රොලැක්ස් වගේ ඔරලෝසුවක්. 65,000යි ලු.. සූර්යාකෝෂ තියෙනවාලු ඒකක් 35,000යි ලු. ඔය වගේ තව එකක් තිබ්බා. කොහොමහරි මේකේ වැඩේ තියෙන්නේ අපි 65,000ක් දීලා ඔරලෝසුවක් ගත්තාම අපි එයාලාගේ කම්පැණියට බැදෙනවලු. අපි තව එක්කෙනෙක් මෙයාලට බන්දවලා එයත් ඔරලෝසුවක් ගත්තොත් අපිට කොමිස් එකක් ලැබෙනවලු. ඒ එක්කෙනා තව එක්කෙනෙක් ට ඔරලෝසුවක් ඇගේ ගැහුවොත් ඒකෙනුත් කොමිස් එකක් ලැබෙනවලු. ඒ කෙනා තව කෙනෙක්ට.....ඔව් ඔව් දිගටම ඒ කෙනා තව කෙනෙක්ට.  ඕම ඕම පිරමීඩයක් වගේ යන එකක් තමා මේ කියන්නෙ.. දේශනේ ඉවර වෙලත් ඒම පෝසත් උන දෙන්නෙක් විතර අපිට හම්බුනා. හරි සිරියාවන්ත මූණු තියෙන, මූණ මිරිකලා ගල් අරක්කු බෝතල් දෙකක් විතර ගත්තෑකි... පපුවට තට්ටුවක් දැම්මනම් ෆිල්ටර් 60ක් විතර එළියට එන තරම් පිංවන්ත මූණවල්. පිංවන්ත පෙනුමක් තියෙන මිනිස්සු.....

      එයාලා කීව්වෙත්, "මල්ලි මේ ස්වර්ණමය අවස්ථාව මඟ අරින්න එපා" කියලා. එයාලගේ පම්පෝරියත් (නෑ නෑ ජීවිත කතාව) අහගෙන හිටියා විනාඩි 45ක් විතර... කොහොමහරි සල්ලි හොයාගෙන කෝල් එකක් දෙන්නම් කියලා තාත්තයි මායි එතනින් පැන ගත්තා. 

      ගුඩ්ශෙඩ් එකට ගිහින් බස් එක්කට නඟින්න පයින් යන අතරේ, තාත්තා මට,

       "අකිල, මොකද කියන්නෙ.. කරනවනම් කරන්න. මම ණය වෙලා හරි බයික් එක උකස් කරලා හරි සල්ලි දෙන්නම්.." 
     කියලා කියනවත් එක්කම දෙන්නම හිර කරගෙන හිටපු හිනාව පැන්නා එළියට බකාස් ගාලා... දෙන්නම විනාඩි 10ක් විතර හිනා උනේ අපිට සිද්ධ උන දේ ගැන හිතලා. මගෙ ජීවිතේ මම දැකපු ප්‍රැට්‍රිකල් ම මනුස්සයා උන තාත්තා හොඳටම දැනගෙන හිටියා මම මේකට අහු වෙන්නෙ නෑ කියලා. ඒ වගේම මාත් දැනගෙන හිටියා තාත්තා මේකට ඕම ජෝක් එකක් කරලා මාව බයිට් කරනවා කියලා..... එදා දවසේ අපි හිතාගෙන හිටියේ ලිඳ ඉහින්න, ගස් වල අතු කපලා, වැට හදන්න... අපේ විනාශ වෙච්චි කාලය ගැනයි අපිට වෙච්චි දේ ගැනයි කිය කිය අපි බස් එකෙත් හිනා වෙවී ඇවිත් ගෙදර ඇවිල්ලත් හිනා උනේ ඒ ප්‍රෝග්‍රෑම් එක කරපු මිනිස්සු කියපු ක‍තා, වදන් පවා උපුටා ගෙන... 

              මට හොඳටම මතකයි, ඊට දවසකට පස්සේ  අපේ ගෙදර කොල්ලො 10ක් විතර කැරම් ශූරතාවයක් වෙනුවෙන් තියුණු සටනක හිටියේ එදා. ගමෙත් මළ ගෙයක්. ඒ උනාට අපේ ගෙදරින් මුන් යන්නෙත් නෑ...එදා ආයෙත් මගේ යාළු අයියත් එක්කම අයියලා හතර දෙනෙක් වීල් එක්ක අපේ ගෙදර ඇවිත් කතා කරා ඔය ගැන. එයාල එදා සපත්තු දාලා, මාර ලස්සනට ඇදගෙන ඇවිත් හිටියේ. අර කීව ඔරලෝසුවත් බැදගෙන. සාර්ථකත්වය මම ඇස් දෙකෙන්ම දැක්කා එදා, අපේ අම්මටත් පෙන්නුවා... 

    "මල්ලි මොකද වැඩේට පස්ස ගහන්නෙ. බය වෙන්න එපා. ඇයි මොකද්ද බෑ කියන්න හේතුව කියන්නකො ?" කියලා එයාලා පටන් ගත්තා.

    "අයියා, සල්ලි නෑ අයියා එච්චර වියදම් කරන්න" මගේ පළවෙනි නිදහසට කරුණ ඉදිරිපත් කරා මම.

      "සල්ලිනම් කොහොමහරි හොයාගමු මල්ලි. බය වෙන්න එපා, ඔය 65,000 වගේ නෙවේ. ණයක් වෙලා හරි, ඉඩමක් උකස් කරලා හරි මේක කරොත් ගොඩ. ඔයා දැක්කනේ බ්ලා බ්ලා බ්ලා...." ඒ හතර දෙනා එකතු වෙලා මගෙ පළවෙනි උත්සහය බින්දේ ඒමයි. 

      "අයියා ඇත්තටම ඕක මට ශුවර් නෑ. ඕක බොරු වැඩක්. පිරමීඩ ක්‍රමයට මිනිස්සු අමාරුවේ දාන එකනෙ වෙන්නෙ ඕකෙන්" මගේ දෙවනි නිදහසට කරුණත් ඉදිරිපත් කරා.

       "පිස්සුද මල්ලි, මල්ලි හිතනවද අපි මේ මුකුත් හොයන්නෙ බලන්නෙ නැතුව මේකට එකතු උනා කියලා.. කිසි දේකට බය වෙන්න එපා. අපි වග කියනවා. අනික මල්ලි ඔයා ඕනි පොලීසියක මේක ගැන අහන්න. අනික ඔයාට අපිව විශ්වාස නැද්ද..? මේ .......(මගේ යාළු අයියව පෙන්නලා) අයියව විශ්වාස නැද්ද ? බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා" මුන් ආයෙත් හෝ ගාලා කියනවා. 

       "නෑ අයියා මම කැමති නෑ මේකට. ඇත්තටම මම කැමති නෑ. අකමැත්තෙන් දෙයක් කරන්න ඕනි නෑනෙ. ඔයාලා කරගෙන යන්න. අර වගේ වාහන ගන්න. ලොකු මිනිස්සු වෙන්න. මටත් ආඩම්බරයිනේ එතකොට. ලොකු වාහනයකින් යනකොට මාවත් දාගෙන යන්න" කියලා අන්තිම තුරුම්පුවත් දැම්මා මම. (ඇත්තටම ඒක කාලයක් ගිහින් වදින කනේ පාරක් විදිහට මම ගැහුවේ)

      "මල්ලි, දැන් අපිත් එක්ක එකතු වෙනවනම් වෙන්න. පස්සේ උදව් ඉල්ලගෙනනම් පස්සෙන් එන්න එපා. උදව් කරන්නෙත් නෑ" (ඒ වචන ටික මට හොඳටම මතකයි. යකඩයක් පපුවට ඇණලා ඒකට කරන්ට් එක දැම්මා වගේ) "ඔයාට මේ මෙච්චර කියන්නෙ ඔයාට මොලේ ඇති කියලා හිතලා. ඔයා අනිත් අයට වඩා වෙනස් නිසා. ඔයා දක්ෂ නිසා" "බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා බ්ලා !"

     මුන් යන්නෙත් නෑ. බැරිම තැන මගේ පෝන් එක අරගෙන සංජය ට මැසේජ් එකක් දැම්මා. "මාව මේකෙන් බේරගනින්" කියලා. කැරම් ගහ ගහ ගේ ඉස්සරහා හිටපූ ඌ රිප්ලයි එකක් එව්වා, "හිටපන් තව මැච් දෙකයි" කියලා. කොහොමහරි ඉවසගෙන ඒ අයියලා කියන ඒවට ඒ අයියලගේ හිත නොරිදෙන්න උත්තර දිදී හිටියා සංජය මාව බේර ගන්නකම්...   ටිකකින් 
          "මේ යමල්ලා යමල්ලා, මළ ගෙදර යන්න පරක්කු වෙනවා" කියලා ලිදට වැටිලා හිටපු මට ළණුවක් දාන්න මගේ අතිජාත මිත්‍රයා සමත් උනා.(ඒ ඌ පැරදිලා නැගිටපු නිසා මිසක් මට තියෙන ආදරේට නෙවේ කියලා මම දැන ගත්තේ මළගෙදර යන ගමන්) ඒ ළණුවෙන් එල්ලිලා ගොඩට එන්න ඕනි නිසා යමන් යමන් කියලා අර අයියලට පේන්න කිව්වාම තමා ඒ අයියලා නැගිට්ටෙ. හිත වෙනස් උනොත් කියන්න කියලා එයාලා ගියේ මිදුලෙත් විනාඩි 10ක් විතර මගේ අනාගතේ ගැන කියලා. මං ගැන ආදරෙන්, මට උපදෙස් දෙන, මෙච්චර හිත හොඳ මේ අයියලාගේ ජීවිත සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වේවා කියලා එක හිතින් පාර්ථනා කරගෙන මම මළ ගෙදර ගියා... 

       ඒ අයියලා අද සාර්ථකත්වයට පත් වෙලාද නැද්ද කියලා කියන්න මම දන්නෙ නෑ. හැබැයි ඊට පස්සේ අහම්බෙන් වගේ හම්බුනාම එයාලා මා එක්ක කතා කරේ මුලින් තිබ්බ තරම් බැදීමෙන්නම් නෙවේ.... හැබැයි එයාලා යන්නේ ලොකූ කාර් වලත් නෙවේ. 
.
.
.
.
.
.
.
        ඇත්තටම මේ කතාව ලියන්න හේතු උනෙත්, අමතර ආදායමක් හොයා ගැනීමට හා ඉක්මනින් දියුණු වෙන්න මට උදව් කරන්න හදපු මගේම සහෝදරයෙක් හා මගේම සහෝදරියක් නිසා ඇති උන හිත් වේදනාවෙන්. මම හැම දෙයක් ගැනම අහලා දැන ගත්ත, අහලා ඉගෙන ගත්ත මගේ ජීවිතේ මම දැකපු පට්ටම දාර්ශනිකයා වගේම පට්ටම බුද්ධිමතා උන මනුස්සයා කෙරෙහි තිබුණ ගරුත්වය හා විශ්වාසය උකසට තියලා මේ ලියන්නේ කියලත් මට හිතෙනවා. සමහරවිට මේ උකස මට බේර ගන්න පුළුවන් වෙයි. නැත්නම් උකසට සින්න වේවි... 

       
        මේ සහෝදරය මට කීවේ මුලින්ම "ඊ මනී ගැන උඹ මගෙන් ඇහුවා නේද ? අන්න අක්ක කරනවා, ඒක සාර්ථකයි..! උඹවත් ජොයින් කරන්නම්" කියලා. 

      ඊට පස්සේ දවසක ඒ මගේ සහෝදරී,
         "ඊ මනී කෝස් එකක් මල්ලි...! එක දවසක එකක්...! හෙට නුවර එන්න..!" කිව්වාම, ඉපිල යන සතුටකින් මම කැමති උනා වැඩේට. ඇත්තටම ඊ මනී පස්සේ දුවලා දුවලා සෑහෙන්න දැනුමකුත් එක්ක සෑහෙන්න හති වැටිලා හිටපු මට මාර කික් එකක් ලැබුනා මේකෙන්. මොකද මම වැඩියෙන්ම විශ්වාස කරන සහෝදරයා කිව්වනේ, "අක්කා ඊ මනී කරනවා. සාර්ථකයි" කියලා. ඊ මනී... 

               ඉතින් මෙදත් මම උදේම ඇහැරලා පැය තුනක් පාරේ බස් ඒකේ නාස්ති කරගෙන නුවර අහස යටට ආවා. මගේ ජීවිතේ උන පජාතම සීන් වලින් වැඩිම හරියක් වෙලා තියෙන (ඉපදුන එක පවා) නුවර අහස යටට ආවේ අමතර ආදායමක් හොයාගෙන ජීවිතේ සාර්ථක කර ගන්න. හිතේ මාර සතුටක් බලාපොරොත්තුවක් එක්කම.. විශ්වාසයක් එක්කම.

        මං හිතාගෙන හිටියේ මම හෙන දක්ෂයෙක් කියලා. ඒ නිසා මම හිතුවා මම දක්ෂ නිසාම මට මේකට ආරාධනා කරා කියලා. (නෑ මම වැරදී... මම දක්ශයෙක් නිසා නෙවේ ඒ. ඒක තේරුන විදිහ යට තියෙනවා) අපායට ගියත් යාළුවෙක් හොයා ගන්න කුජීත පුරුද්ද මට තිබ්බත්, මගේ පාප මිත්‍රයෙක් වූ දැන් නුවර ජීවත් වෙන සංජයවත් මේකට එකතු කර ගත්තා මම. (නුවර ඉන්නේ කියලා සංජය කිව්වට ඇත්තටම ඌ ඉන්නෙ කටුගස්තොට කැලෑ ගම්මානයක කියලා තමා දිනිසුරුනම් කීවෙ) 

         ඇත්තටම මේකට සංජය එකතු කර ගන්න මට විශේෂ හේතුවක් තිබ්බා. මොකද ඌට ඕනිත් ජීවිතේ සාර්ථක කර ගන්න. අමතර ආදායමක් හොයන්න. මේ අවුරුදු 21ට හිසේ කෙස් ගානට පිස්සෙක් වගේ, ඔව් එස්.බී. දිසානායක කියනවා වගේ "පිස්සෙක් වගේ පිස්සෙක් වගේ," අමතර ආදායම් හොයන ප්‍රෝග්‍රෑම් පස්සේ දුවලා රැවටිලා, කෙළවිලා, කොර වෙලා හිටපු එකෙක් සංජය කි‍යන්නේ. ඌයි මායි ගහපු ප්ලෑන්, කරලා තියෙන වැඩ,හොරකම්, කරපු බිස්නස්, පටන් ගන්න හිටපු බිස්නස්, පටන් ගන්න ඉන්න බිස්නස්, එසේ මෙසේ ඒවත් නෙවේ. ළඟදිම බිම්මල් වගාවක් හරි මල් වගාවක් හරි විසිතුරු මසුන් වගාවක් හරි පටන් ගන්න ඕනි නිසා ගන්නෝරුවේ ගිහින් උපදේශනයක්/අදහසක් ගන්නත් එක්ක තමා අපි හිතාගෙන හිටියේ...  

      අපි දෙන්නට තව යාළුවෙකුත් හම්බුනා. මගේ සහෝදරී එනකම් අපි තුන් දෙනා මාර උද්‍යෝගිමත් හැගීමෙන් බලාගෙන හිටිය නිසාම අපිව දැක්ක ගමන් අපිව ඔය කියන දේශනයට එක්ක ගියා. කියන්න සංතෝසයි ඇතුලේ දේශනයට යන්න කලින්ම අපේ නම් ලියා ගත්තා. ඒ එක්කම තව නමක් ලිව්වා අපි තුන් දෙනාගෙම නම් ඉස්සරහින්. මම දැක්කෙත් නෑ. කියව ගන්නත් බැරි උන නිසා, දැක්කේ නෑ වගේ හිටියා.පරණ සිද්දි මතක් උනත් ඒවා දැන් වැඩක් නෑනේ කියලා හිතලා මතක නෑ වගෙ හිටියා...

                 ඇතුලට යනකොට දේශනේ පටන් අරගෙන තරමක් දුරට ගිහින්. කමක් නෑ කියලා හිතාගෙන ඉදගෙන, විනාඩි පහක් ගියේ නෑ... මගේ ජීවිතේ අම්බානකට අහපු කතන්දර ටිකම ආයෙම ඇහෙනවා. ඒ විදිහටම. අපි ඇතුලට ගිහින් පළවෙනි විනාඩි පහ ඉවර වෙන්නත් කලින්ම මගේ නිරීක්ෂණ දෑස අපි අවට ඉන්න අමතර ආදායමක් හොයන්න ඇවිත් ඉන්න මිනිස්සු දිහා බලලා කල්පිතයක් ගොඩ නැගුවා "අකිල උඹ දක්ෂයෙක් නිසා නෙවේ උඹට එන්න කියලා තියෙන්නේ, වැලේ වැල් නැතුව කැලේ ඉන්න ටාසන් වගේ නිසා ඕනිම මරී මෝඩ වැඩකට පොළබවගන්න ලේසි නිසා" කියලා. (කල්පිතය හරිද නැද්ද දන්නෙ නෑ...)

         ඒ එක්කම මම සංජය ට කිට්ටු වෙලා ඇහුවා, "මචන් යමුද යන්න" කියලා...එතකොට ඌ කියපි,
     "මට හිතෙන දේවල්මයි උඹටත් හිතෙන්නෙ නෙහ්.. ඒත් බන් අර අක්කට හරි නෑනේ බන්, ආය හිත නරක් කරන්නෙ මොකටද ඔන්න ඔහේ ඉමු" කියලා. එතකොට තමා මටත් මතක් උනේ ඒ මගේ සහෝදරීගේ හිත රිද්දන්න මගේ හිතේ තියෙන අකමැත්ත. ඒත් එක්කම සංජය තව දෙයක් කිව්වා,

     " ඒ අක්කා උඹ ගැන හිතාගෙන ඉන්න විදිහ වැරදී බන්.. ඒ අක්කා උඹ ගැන දන්නෙ නෑ..  දන්නවනම් මේ වගේ එක්කට උඹට කතා කරන්නෙත් නෑ." 

      ඔන්න ජීවිතේ අනිත්‍ය වගේ සීන් එකට ගෙනල්ලා, මේ යක්කු කියන්න ගත්තා අපේ ජීවිතේ සාර්ථක කරනවා කියලා. කොහොමද ? අන්තර්ජාල මුදල්. ඊ මනී. ඒ ක්‍රමයට පාර්ට් ටයිම් කරලා මාසෙකට 70000ක් විතර අමතර ආදායමක් හොයන කෙනෙක් අපේ ඇස් ඉදිරියේ ඉන්නවා. කියලා ආරාධනා කරා ඔන්න,
     ඒ ගැන හොදටම දන්න, ඒ ගැන කතා කරන්න සුදුසුම පුද්ගලයා බ්ල බ්ලා බ්ලා කියලා මිලින්ද කියලා හාදයෙක්ව. 

        ඒ මිලින්ද ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න ගන්නකොටම ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එකේ, වින්ඩෝස් ටෑල් වර්ෂන් එක ඉවරයි කියලා මැසේජ් එකක් ආවා. එතන හිටපු එකෙක්වත් වින්ඩෝස් කියන්නේ මොකද්ද කියලවත් තේරෙන මට්ටමක අය නෙවේ නිසා ඒක ගානක් නෑ. ඒත් ඒකේ මට විශේෂම කාරණය උනේ මාසෙට අම්බානකට හොයන සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට ම පත් වෙච්චි එකෙක්ගෙ, ආයතනයක, ලැප් එක්ක තියෙන්නේ වින්ඩෝස් ට්‍රෑල් වර්ෂන් එකක්. මෙච්චර සල්ලි තිබිලත්, සාර්ථක වෙලත්, ක්‍රැක් එකක්වත් දා ගන්නෙ නැති අවංක මිනිස්සු ගැන මට අනන්ත සතුටක් වගේම ක්‍රැක් එකක් දා ගන්න නොදන්න මිනිස්සු ගැනත් අනන්ත සතුටක් ආවා ඕන් ඒ වෙලාවෙ.(සතුටට හිනා වෙන්නත් බෑ දේශනේ නිසා)

                මිලින්ද කිව්වා යූ ටියුබ් පාවිච්චි කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා. හොදම උදාහරණ ඉරාජ්, වස්ති කියලත් කිව්වා. ඒක හරියට කිව්වේ ඉරාජ් ට ඒක උගන්නලා තියෙන්නෙත් මූ වගේ.(සමහරවිට මුගෙන් තමා ඉගෙන ගන්නත් ඇත්තේ) ඉතින් මම හිතා ගත්තා මූටත් ඉරාජ්ට, වස්තිට වගේ කාර් එකක් ඇති කියලා. ඇඩ්සෙන් වලින් සල්ලි හොයන්න පුළුවන් කියල කිව්වා. (පේනවද සල්ලි තියෙන මිනිස්සුන්ගේ සරලකම)
       තව කීවා ඇඩ් ක්ලික් කරලා හොයන්න පුළුවන් කියලා....
        තව කීවා Upwork එකේ වැඩ කරලත් හොයන්න පුළුවන් කියලා....
ඊට පස්සේ චාට් එක්කින් පෙන්නුවා මාසෙට හොයන්න පුළුවන් ගාන. ඒකේ හැටියට පාර්ට් ටයිම් කරලා, 70000ක් හොයන්න පුළුවන් ලු..
(මෙහෙම කියන්නේ වින්ඩෝස් 10 ට්‍රෑල් වර්ෂන් එකක් දාගෙන ඉන්න කෙනෙක් වීම විශේෂයි. ඔන්න මිනිස්සු) 

     ඒ එක්කම මිලින්දයාගේ කටින් වැදගත් කාරණයක් පිට උනා.. "ඔයාලව මෙතෙන්ට එක්ක ආව අයත් සාර්ථකව අසීමිතව අන්තර්ජාලය හරහා උපයන අය" කියලා... එතකොට ඌ දන්නවා අපිව එක්කගෙන ආවා කියලා. ඒ කියන්නේ අපිව එක්කගෙන එන්න කියලා උපදෙස් දීලා වගේ.... ඉදගෙන ඉන්න අනිත් උන්ට ඒක තේරුම් ගන්න තරම් මොළයක් නෑ. පව් අහිංසක මිනිස්සු. බලාපොරොත්තු හීන මවාගෙන, බිළියනපතියෝ වගේ මූණවල් දිලිසෙනවා.. 

         ඊට පස්සේ ආවා රජයේ පාසලක ටීච කෙනෙක් කියා ගත්තු අක්කා කෙනෙක්. නුවර කෙනෙක්ලු. පූජාපිටියෙලු... එයත් සාර්ථක වෙලාලු ඉන්නෙ. එයාත් මේක දැන ගත්තාම ජීවිතේ වෙනස් උනාලු...ඒ අක්කගේ සමාජ දැනුම කොච්චරද කියනවනම් ඒ අක්කා කිව්වා මේම ""මමත් ඔයාලා වගේ ගොඩාක් දුප්පත් තැනක ඉදලා ආවේ... මගේ හීන වලට පියාඹලා යන්න අත්තටු ලැබෙනකම් බලාගෙන මම හිටියේ. මගේ අම්මා ටීච කෙනෙක්, මගේ තාත්තා ආමි එකේ" කියලා....  මට මතක් උනේ පාං බැරිනම් කේක් කාපන් කියපු රැජිණව. යකෝ අම්මයි තාත්තයි දෙන්නම පඩි ගන්න ඒකි දුප්පත් ලු....(සමහරවිට තාත්තගෙ පඩියෙන් හොර පවුල් දෙක තුනක් නඩත්තු කරලා, අම්මගෙ පඩියෙනුත් ගානක් කඩාගෙන ඒකෙනුත් හොර පවුල් දෙකක් විතර නඩත්තු කරනවා ඇතිදෝ කියලා ඕන් මට හිතුනේ මගේ සමාජ දැනුමට අනුව)

ඉතින් ඕම ඉන්න ගමන් මිනිස්සුන්ගේ අසරණකම විකුණන උන්ට කියන්න නමක් මම කල්පනා කර කර හිටියේ... ඔය අතරවාරේ වැඩේ ඉවර උනා.

         එළියට ආවා විතරයි සංජයටයි මටයි හිනා යන්න ගත්තා.. අපේ දවසට වෙච්චි දේ මතක් වෙලා.. මගේ සහෝදරී ලඟට ඇවිත් "කොහොමද මල්ලි හොඳයිද ?" කියලා අහනකම්ම අපිට හිනා..." ඒක ඇහුව ගමන් ආයෙමත් හිනා යන්න ආවත් සහෝදරීගේ හිත රිදේවි කියලා තියෙන බය නිසාම අපි විහිළුවක් කරලා හිටියා. හැබැයි මම ඇහුවාම "අක්කා ඊ මනී කරනවද ?"කියලා ඔව් කිව්ව සහෝදරිය, "අක්කා ඩොලර් කීයක් හොයලා තියෙනවා ද ?" අහපුවාම "මල්ලි මම කරන්නේ බිස්නස් පැත්ත විතරයි" කිව්වා. 

      පස්සේ අපිව ආය මුණ ගැස්සුවා අර අම්ම ටීච කෙනෙක් වෙලා තාත්තා ආමි එකේ වෙලත් දුප්පත් උන, රජයේ ගුරුතුමී ට...(එදා අපේ ගෙදර ආව අයියලගෙයි මේ ගුරුතුමීගෙයි එකම වෙනස පුමිතිරිබව විතරයි කියලා මට හිතුනා) ඔන්න එයා ඉන්ටවිව් කරන්න පටන් ගත්තා...

     නම ගම විස්තර ගෙදර කව්ද ඉන්නෙ වගේ ප්‍රාථමික සුහදත්වයක් ඇති කරන ප්‍රශ්න ටිකක් අහන්න ගත්තා. අහපු ප්‍රශ්න සේරටම බොරුම කිව්වා අපි. ඊට පස්සේ ඇහුවා, 

    "කොහොමද ප්‍රෝග්‍රෑම් එක ? මොකද්ද හිතුනේ මේක ගැන ?"

    "ඇත්තටම ජීවිතේ ට ගොඩාක් වටිනවා. ගොඩාක් දේවල් ගන්න තියෙනවා ඒ දේශනෙන්" කියලා පොඩි ළමය වගේ කියලා දැම්මේ බයිට් එකට කියලා නොතේරුන මේ රජයේ පාසලේ ගුරුවරිය, ආයේ ඇහුවා,

      "ගොඩාක් හොදයි...! මොනවාද මේ දේශනෙන් ගත්තේ ?" කියලා..

      "ඇත්තටම මේ දේශනේ හැටියට මුලින්ම බයික් එකක් වගේ පොඩි වාහනයක් ගන්න ණයක් ගන්න ඕනි.. කසාද බදින්න වෙඩින් එකට ණයක් ගන්න ඕනි.. ගෙයක් හදන්න ණයක් ගන්න ඕනි.. පවුල ලොකු උනාම වාහනයක් ගන්න ණයක් ගන්න ඕනි. ළමයින්ට උගන්වන්න ණය ගන්න ඕනි. ළමයින්ව කසාද බන්දන්න, දෑවැදි දෙන්න ණය ගන්න ඕනි... ඉතින් ඒ නිසා හොදම වැඩේ අක්කේ, බයික් එකක් නොගෙන බස් එකේම ගමන් බිමන් යන්න ඕනි.. කසාද බදින්නෙ නැතුව ඉන්න ඕනි.. කසාද බදින්නම ඕනි උනොත් වෙඩින් එකක් නොගෙන කසාදයක් කර ගන්න ඕනි.. කසාදයක් කර ගත්තත් ළමයි හදන්නෙ නැතුව ඉන්න ඕනි... ළමයි හදන්න ඕනිම උනොත් කොල්ලො හදන්න ඕනි. එතකොට දෑවැදි දෙන්න ඕනි නෑනේ!!  එතකොට ණය වෙන්න ඕනිම නෑ ජීවිතේ !"" කියලා මට කියන්න හිතුනත් නොකියා හිටියේ කියන්න ගන්නකොටම සංජය මගේ කකුළ පාගලා එපා කියන නිසා...

        "ආස නැද්ද කාර් එක්ක නැගලා යන්න ? ආස නැද්ද ලස්සනට ඇදලා පැලදල යන්න ? ආස නැද්ද මිනිස්සු ගරු කරනවා දකින්න ? " කියලා එක දිගට අක්කා අහගෙන අහගෙන ගියා... මූණෙන් එක එක ඇක්ෂන් දාලා, ඇස් දෙක දස අතේ කරකව කරකව....

          "ආස නැද්ද මගේ වෙන්න ?" 
කියලා මට අක්කගෙන් අහන්න හිතුනත් ඒක අහන්නෙ නැතුව මම ඇහුවා, "අක්කට කාර් එකක් තියෙනවා ද ?" කියලා. 

        "තාම නෑ" කියනකොටම මට හිතුන ඒවා කාටවත් කියන්න පුළුවන් දේවල් නෙවේ අම්මපා... (ඒත් මේ වෙලාවේ කියන්නම ඕනි දිනිසුරුගේ තාත්තා නොහොත් සාගර මාමා මට දීපු උපදේශයක් මතක් උනා - "ඔවා දෙනු පරහට - තමා සම්මතයේ සිට") 

     "ඔයා කැමතිද ජීවිතේ සාර්ථක කර ගන්න ? හරි එහෙනම් මට ඔයාගෙන් දෙයක් ඕනි. දෙන්න පුළුවන්ද ?" කියලා අහනකොට අපි දෙන්නා කරේ ඔළුව හොල්ලන එක විතරයි.

   "මල්ලි අපි කරනවා ඊ මනී කෝස් එකක්. 20 000යි යන්නෙ. ඔයාගේ කාලය කොච්චර දෙන්න පුළුවන්ද ? ඔයාගේ කාලයයි දක්ෂතාවයි විතරයි අපිට ඕනි. අපි ඔයාලට හොඳ ගානකට යන්න පාර හදලා දෙනවා.

      "අපිට අක්කේ සතියේ දවස් හතම පැය 24 ම මෙතන ඉන්න පුළුවන් මාසෙට 70 හොයන්න පුළුවන්නම්" කියලා දෙන්නම කිව්වේ එකටම වගේ...
ඊට පස්සේ මම ඇහුව මේම..

    මම :-  "අක්කේ ඔයා ඊ මනී කරනවද ?" 

    එයා :- "ඔව් කරනවා."

    මම :- "සල්ලි හොයලා තියෙනවා ද ?"

    එයා :- "ඔව් හොයලා තියෙනවා."

    මම :- "කීයක් හොයලා තියෙනවා ද ?"

   එයා :- "මම මල්ලි ඊ මනී පැත්තට වැඩිය යන්නෙ නෑ මම බිස්නස් තමා කරන්නෙ"

     මම :- "එතකොට ඊ මනී වලින් සල්ලි හොයලම නැද්ද ? කීයක්වත් ? මේක ඊ මනී කෝස් එකක්නේ ?"

    එයා :- "හොයලා තියෙනවා ටිකක්"

     මම :- "එහෙනම් මට ඒකේ ස්ක්‍රීන්ශොට් එකක් පෙන්වන්නකො" "ඒ කියන්නෙ සල්ලි ආවා කියලා. පේපල් එකේ එකවුන්ට් එකේ" 

    එයා :- "ඇයි මං එහෙම පෙන්වන්නෙ ?"

     මම :- "අපිට විශ්වාස කරන්න. ඔයාලා බොරුවක් කරන්නෙ නෑ කියලා විශ්වාස කරන්න"

   එයා :- "ඒ කියන්නේ අපිව සැකයිද ?"

   මම :- "අනිවාරෙන්ම... අම්බානකට සැකයි" "මට ලොකු ගානක් ඕනි නෑ. පේපල් එකට ඩොලර් දහයක් ඇවිත් තියෙනවා කියලා පෙන්වන්න ඔයාලව විශ්වාස කරන්නම්. ඔයාගේ නැතත් මෙතන වැඩ කරන කාගේ හරි එකවුන්ට් එකක් පෙන්වන්න. වැඩිය ඕනි නෑ. ඩොලර් දහයක් හොයලා තියෙනවනම් ඇති"

            මේ රජයේ ගුරුවරිය ඇබරෙන විදියෙන් මට තේරුනා මේ හොල්මන පේපල් එකවුන්ට් එක්කට ලොග් වෙලාවත් නෑ කියලා. එයා දැන් කියන්න ගත්තා, එයා කරන්නෙ බිස්නස් නිසා ඊ මනී වලට උනන්දුවක් නෑ කියල. මං කිව්වා එයාට කාර් එකක් ගන්න සල්ලි හොයන්න ඊ මනී කරන්න කියල. ඒතකොට එයා කිව්වා, එයාට මේ හම්බෙන ගාන ඇතිලු. මං ඇහුවා මේ ආයතනයේ ඊ මනී කෝස් එකක්නම් කරන්නෙ මේකෙන් හොයන එක්කෙනෙක්වත් නැද්ද කියල. එතකොට කිව්වා මිලින්ද හොයනවා කියලා.එයාව මුණ ගස්සන්නම් කියලා. 

     හැබැයි ඒ එක්කම ඒ ටීච කියපු කතාවක් නිසා මට හිතා ගන්න බැරි තරම් දුකක් දැනුණා.. එයා කිව්වා,

        "මම මේ වෙනකොට 500කට වඩා මේ වගේ එකතු කරගෙන තියෙනවා. හැබැයි ඒ එක්කෙනෙකුටවත් මෙහෙම ප්‍රශ්න තිබ්බේ නෑ. කාටවත් මේම සැකයක් ඇවිල්ලා තිබ්බේ නෑ." කියලා.
         ඇත්තටම රටේ විචාර බුද්ධියක් නැති මිනිස්සු 500කින් මේ රටට කොච්චර විනාශයක්ද වෙන්නෙ. මේ සමාජෙට. මේ ලෝකෙට. ඉදකින් කාළකණ්නි කියලා මට හිතුනා.

    කොහොම හරි ඊ මනී කෝස් එකක්, ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන් පුළුවන් කියලා කියපු මේ අක්කට බැරි උනා එයා කියන්නේ ඇත්ත කියලා ඔප්පු කරන්න. එයා වෙන වෙන වැල් වටාරම් කිය කියා අපිව ගොනා කරන්න බැරි උන නිසාම, ඊ ලඟට ඉන්ටෙර්නෙට් එකෙන් හොඳටම සල්ලි හොයන මිලින්ද ගාවට අපි දෙන්නව යොමු කරා.. 

      ඌත් මේ අපේ විස්තරයි අරකයි මේකයි අහන්න ගත්තේ සුහදත්වය ඇති කරන පරණම ක්‍රමයක් අනුගමනය කරලා. ඊට පස්සේ මූත් අර පරණ අනිත් උන් ගහපු බයිලා ටිකම ගහන්න ගන්නකොට මට එපා වෙලා, මම මැදින් පැනලා කිව්වා,

       "හරි අයියා, අපිට ඇත්තටම ඕනි මේ කෝස් එකෙන් හරියටම සල්ලි හොයපු කෙනෙක් ඉන්නවද කියලා දැන ගන්න. අර එළියේ අක්කා කිව්වා ඔයා ඉන්ටෙර්නෙට් එකෙන් හොදටම සල්ලි හොයන කෙනෙක් කියලා. එහෙමනම් ඔයාගේ පේපර් එකවුන්ට් එකේ ස්ක්‍රීන්ශොට් එකක් පෙන්වන්න..!එතකොට අපිට පුළුවන් විශ්වාස කරන්න...!" කියලා... 

     මෙන්න මේකා කියපි, 

   "පේපල් කියන එක ගොඩාක් සිකුරිටි එකක් තියෙන තැනක් මල්ලි. මගේ මූණ, අයිඩින්ටිය, පාස්පෝට් එක, ඒ හැමදේම පාවිච්චි කරන්න ඕනි ඒක හදන්න. එහෙම මගේ එකවුන්ට් පෙන්වන එක ආරක්ෂිත නෑ" කියලා.....

     පුංසදේ ලන්තෑරුම ලිදේ කතාව මතක් උනත් මම නොකියා හිටියේ, සංජය මට කකුලෙන් ඇනලා යමන් යන්න කියලා මූණෙන් කිව්ව නිසා. 

       "නෑ අයියා, අපිට ඔයාගේ එකවුන්ට් එකේ පාස්වෝඩ් යූසර් නේම් නෙවේ. ඔයාට ඔයා වැඩ කරපු සයිට් වලින් මෙච්චර ඇවිල්ලා තියෙනවා කියලා සමරියක් පෙන්වන්න. සල්ලි ආව කියලා පේපල් එකේ අයවැය පෙන්වන්න. ස්ක්‍රීන්ශොට් එකක් ගහලා, ක්‍රොප් කරලා හරි" කියලා අන්තිම වතාවට කිව්වාම මේ කම්පියුටර් ගැන දන්න, ඊ මනී ගැන දන්න මූ කියනවා,

        එහෙම පෙන්වන්නවත් බෑ, ඔයා කව්ද කියලවත් දන්නෙ නෑ. ඊට පස්සේ මගේ එකවුන්ට් එකේ ආරක්ෂාවට ඒක තර්ජනයක් වෙන්න පුළුවන්" ගගා වැල් බයිලා කැටියක්.. ඊට පස්සේ අපෙන් ඇහුවා ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන් කියලා ශුවර් නැද්ද" කියලා... මම එතකොට,

    "නෑ මහත්තයෝ ඔයා හරි ඔයාගේ ආයතනයේ හරි එක්කෙනෙක් හරි ඩොලර් 10ක් හොයලා තියෙනවනම් ඒක පෙන්වන්න කියලා කියන්නේ" කියලා මම කියනකොටම සංජය,

      "ඩොලර් 10ක් ඕනි නෑ. ඩොලර් 5ක් හොයපු කෙනෙක් පෙන්වන්න..! එයාගේ පේශීට් එකක් පෙන්වන්න" කියලා කිව්වා...

      මුන් කියන්නෙම 20000ක් දීලා කෝස් එක කරන්න. ඊට පස්සෙ පෙන්වන්නම් කියලා. ඒ එක්කම මේකට අදාල නැති වැල් බයිලා ගොඩාක් කියන්න ගත්තා ආයෙමත්... 

      සංජය මට කකුළට ගහලා කිව්වා "යමු නේද අකිල...! අපි එහෙනම් ගිහින් සල්ලි අරන් එමු...!" කියලා..

       අපි ඊට පස්සේ එළියට ආවා. අපිට වෙච්චි දෙයක් කියලා හිත හිත..
  
      ඇත්තමට මගේ අවුරුදු 21 ක හා ගිය ආත්මේ අත්දැකීම් අනුව මට තේරුනේ මුන් බොරු කියන්නේ කියලා. එකෙක්වත් නෑ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන උන්. හැබැයි ඉන්ටෙර්නෙට් මනී කෝස් එකක් කියලා ඒ කෝස් එක අනිත් අයට කරවලා ඒ කෝස් ෆීස් එකෙන් සල්ලි හොයන්නනම් පුළුවන්. 

          මම දන්නේ නෑ මගේ සහෝදරයා හා සහෝදරිය මේක ගැන දන්නවද නැද්ද කියලවත්. එක්කො එයාලා හොඳටම දැනගෙන ඉන්න ඇති. නැත්නම් එයාලා රැවටිලා ඇති. මට ඕනි උනේ එයාලටත් මේක ගැන මට තියෙන අත්දැකීම් කියන්න. ඇත්තටම මම කැමති නෑ වෙන එකෙක් "හෙන ගහපිය අපිව රැවැට්ටුවට ඕකුන්ට" කියලා මගේ සහෝදරයට හෝ සහෝදරියට බනිනවට.
        අන්තිමට මම සෑහෙන්න ගරු කරන ඒ සහෝදරයගෙන් බැනුම් අහන්නයි මට උනෙ. ඌ මට බනින එක අව්ලක් නෑ. මොකද මම අනන්තවත් බැනුම් අහගෙන තියෙනවා. දැනුම අරගෙන තියෙනවා. ඒ හැම බැනුමකම මට ගන්න දේවල් ගොඩාක් තිබ්බා. මම ගරු කරන්නේ ම ඒ නිසා. (මගේ යාළුවා සංජය උනත් කිව්වේ, ඒ අයියාගේ හිත හොදයි කෙලින්ම මූණටම බැන්නේ උඹ පවුලේ එකෙක් වගේ නිසා කියලා) ඒත් මට බය, මේ පාර මේ මිනිහට වැරදෙයිද කියලා. මට වැරදි උනාට කමක් නෑ මේ සහෝදරයා හරි වේවා කියලා පාර්ථනා කරලා, "ඔයාලා එහෙනම් මේකෙන් සල්ලි හොයලා ලොකු මිනිස්සු වෙලා, සාර්ථක වෙලා, කාර් එකක් අරගෙන අපිවත් බලන්න එන්න" කියලා මම ආවා.....

ප.ලි. :-
            එදා ඔය ප්‍රෝග්‍රෑම් එකට යන්න කලින් මම පෝන් එකක් ගන්න ගිහින් පෝන් එක බලලා ආවේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ගන්නම් කියලා හිතාගෙන. ඔය ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ගන්නෝරුවේ ගිහින් වගාවක් කරන්න අයිඩියා එකක් ගන්නත් හිතාගෙන හිටියේ. ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙලා ඇවිත් බලනකොට පෝන් එක විකිණිලා. මුළු නුවරම බැලුවා. කොහේවත් ඒ පෝන් එක නෑ. පෝන් හොයලා හොයලා ඉවර වෙනකොට වෙලාව ගිහින්. ගන්නොරුවේ යන්න වෙලාවක් නෑ. සංජය මට කිව්වා ඌ හීනයක් දැක්කලු. ඒ හීනේ හැටියට, මම නුවර එන කිසි වැඩක් සාර්ථක වෙන්නෙ නෑලු. ඊට පස්සේ මම ගෙදර ගිහින් කෝල් එකක් අරන් දවස ගැන දුක් වෙනවලු.. ඒ විදිහට ම උනා.

        සංජය මා එක්ක බස් එක ගාවට ඇවිත් කිව්වා ලස්සන කතාවක්.

   "හොඳ වෙලාවට අකිල අපි දෙන්නම බොන්නේ නැත්තේ... බොනවනම් බියර් එකක්වත් ගහලා එක්කෝ හිනා වෙවී හරි අඩ අඩ හරි අද දවස ගැන කතා කරන්න තිබ්බා...!"

#අකිල

No comments:

Post a Comment