Saturday, December 26, 2020

👉 උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා 👈


උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා සමඟ ගත කලෙමි...

සන්නගෙ අම්මා ගැන විචාර ලිවීමට මට අයිතියක් ඇති දැයි නොදනිමි. නමුත් අයිතියක් ඇති මුත් නැතිමුත් හිතුවක්කාරකමට ලියමි. ලියවෙමි.. ඒ හිතුවක්කාරකම සන්නාගෙන් බෝ උන එකකි... සන්නාගේ අම්මගෙන් බෝ උන එකකි. මම කියවා ඇති පොත් අතරින් දිගම පොත සන්නාගේ අම්මා විය යුතුය. මට මාසයක් පමණ එය කියවා ඉවර කිරීමට ගත විය. මේ පොත ගැන මා වර්ණනා කරන විට මගේ මිතුරෙක් මගෙන් ඇසුවේ, "එක හුස්මට කියවලා ඉවර කරන්න පුළුවන් පොතක්ද ?" කියා ය. මගේ උත්තරේ උනේ, "එක හුස්මට කියවලා ඉවර කරන්න ලෝබ හිතෙන පොතක්" කියා ය. ඇත්තෙන්ම ඉවර වෙනවට බයෙන් ඉතාම හෙමින් ටිකෙන් ටික කියවන්න හිතුනේ ඇයිද කියා මම තවම නොදනිමි. තවම කල්පනා කරමි. මා මෙතෙක් කියවා ඇති සියළුම පොත් කියවා ඇත්තේ කියවා ඉවර කිරීමේ හදිස්සියෙන් උනත් මේ අම්මා එක්ක මම කාලය ගත කිරීමට ආශා කලෙමි. ලෝබ උනෙමි. තව තවත් ඒ ආශාවෙන්ම පෙළෙමි...

        සන්නා කියන විදිහට සන්නාගේ රෙදි ගලව ගැනීමට මෙය ලියා ඇත. සැබැවින්ම බිය විය යුත්තේ රෙදි ගලවගෙන ඉන්න මිනිසුන්ගෙනි. ඔවුන්ට නැති වීමට දෙයක් නැත. පරිස්සම් කරගෙන, සඟව ගැනීමට දෙයක් නැත.... සැබැවින්ම තමන්ගේ හෙළුව ගැන වගක් නැති මිනිසෙකුව විනිශ්චය කිරීමටවත්, කියවීමටවත් බැරි බව මට තේරුම් කිරීමට සන්නගේ අම්මා සමත් විය ....

     සන්නා මඩ ගොඩක ඉපදී ඇත. පසුව මඩෙන් ඈත් උන සන්නා ආයෙම මඩ නාගනිමින්, ඉතිහාසයට දුවමින්, සමාජේ ඉහල සුදනන්ගේ ජීවිතවල මඩ ගැනත් ඒ මඩ ඔවුන් සෝද ගැනීමට නිරුවත් වෙන විදිහත් අම්මගෙන් හෙලි කර ඇත. නමුත් ඒ බව දැනී නොදැනී යන ලෙස අකුරු කිරීම අපූරුය...

සන්නගෙයි මගෙයි සමානකම් සේම අසමානකම්ද බොහෝ ඇත. එකම ජීවන අන්‍තයක් වෙනුවෙන් පාරවල් දෙක්ක වෙන වෙනම ගමන් කරනවා වගෙ මට දැනිණි.... උදාහරණයක් ලෙස,

              සන්න කියන විදිහට ඉතිහාසයේදි ඔහුට වැසිකිළි යෑමට දුමක් අවශ්‍ය වේ. ඔහුගේම වචන වලින් කියතොත්, රෙවෙන්න දුමක් අවශ්‍ය ය. සෑම උදයකම බීඩි කොටයක් රැගෙන වැසිකිලි යෑමට ඔහු පුරුදු වී සිට ඇත.. මටත් ඊට සමාන හැසිරීමක් ගැන මතකයක් ඇත. කලකට ඉහත දී, නිවසට තරමක් ඈතින් කැලයට ආසන්නයේ පිහිටා තිබූ වැසිකිළියට මමත් බොහෝ අවස්ථාවලදී දුමක් රැගෙන ගියෙමි. ඒ මදුරුවෝ කන නිසා මදුරුකොයිල් කෑල්ලකි. හොඳින් රෙවෙන්නටනම් නිරුවත් තට්ටම් වල හා නිරුවත් ශරීරයේ මදුරුවෝ කන එක නැවැත්විය යුතු ය....
                
සන්නා නිතරම කියන කතාවකින් මට මුලු පොතම පිරී ඇති බව දැනෙයි. ඒ,

"මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ" 
                              කතාව ය. සන්නට මිස් උන, සන්නට මඟ ඇරුන, අම්මා වෙනුවෙන් සන්නට ඉතුරු එකම කතාව එයම විය හැකිය.... සන්නට විතරක් නොව, අම්මව මිස් උන සෑම මනුශ්‍යයෙකුටම ජීවිතේ පුරාම ඉතුරු වෙන්නේ මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ කියා පමණක් බව ඔබට වටහා දීමට සන්නගේ අම්මාට හැකි වනු ඇත... ඉතින් එය වීමට ඉඩ නොදීමට තරයේ ඔබ සිතා ගනිනු ඇත..  සන්නගේ අම්මා ඔබට උගන්වයි, ඔබේ අම්මාව මිස් නොවී බලා නොගත්තොත් ජීවිතේ පසුතැවිල්ලකින් අවසන් කිරීමට වෙන බව....
එය මට වේවි යැයි මම බිය නොවෙමි. බියක් දැනීම නැත. එයට හේතුව සන්නගේ අම්මා කියවීමට කලින් සිටම මගේ අම්මා මිස් නොවීමට මම කටයුතු කිරීම යි...

              සන්නට පෙම්වතියක් ඕනි උනත් මට ඕනි නෑ කියා සිතෙන්නේ ඒ නිසා විය හැකි ය.. මට වෙලාවකට සිතෙන පරිදි, මට කෙල්ලෙක් ඕනි වෙන්නෙ අම්මගේ වැඩ කිරීමට හා අම්මගේ සේවකයා කිරීමට විතරමක් ය.... අම්මගේ සියළුම රාජකාරි වලින් නිදහස් කර, සියළුම වැඩ බාර දීමටය.. . ඉතින් සන්නගේ අම්ම ඔබ සිතුවෙවත් නැති අන්දමකට ඔබවත් හීන මානයක සේම මානසික වියවුලක දැමීමට ඉඩ ඇත.....

         මට මගේ අම්මා මිස් කර ගත නොහැක. එය මා අතින් නොවන බවට මා කලකට පෙර අම්මගේ චීත්තය ගැන ලියූ අම්මගේ රෙද්ද ලිපිය සාක්ෂි දරනු ඇත. අම්මව මට කිසිදා මිස් නොවේවා යැයි මම සෑම දිනකම පාර්ථනා කරමි. පුළුවන් සෑම විටකම මා වෙනුවෙන් ඈ කැපවුණු තරම ඇයගෙන් අසා ඇයට පිං දීමටත් ඇයට ස්තූති කිරීමටත්, පසුව තනියම කාටත් නොපෙනෙන්න ඇඩීමත් මම කරමි. මා ඉපදුණු මුල් දවස් කීපයේ ඉස්පිරිතාලයේදි දිනකට එක ඉස්පංචියක් පමණක් කා ඇය මට කිරි දී ඇත. ඉස්පිරිතාලෙ අනිත් අම්මලට ඔවුන්ගේ නෑයන් කෑම අරන් එනවිට ඇය මඟ හැර එළියට වී සිට ඇත. එවිට ඇයට දැනුන ලැජ්ජාව දුක හා වේදනාව සිතා බොහෝ රාත්‍රීන් වල කොට්ටය තෙමෙන තුරු මා අඩා ඇත... එක ඉස්පංචියක් කා මට කිරි දුන් නිසාම ඇයට දැන් ඔස්ටියෝපොරෝසිස් ය. දිනක අංශභාගයට පත් වෙනු ඇත. ඉතින් මට ගෑණියෙක් අවශ්‍යව ඇත්තේ, ජොලි කිරීමට නොව ඇයගේ වැඩ කිරීමට පමණකි. මම ළමයෙක් හැදීමට අකමැති වීමට ප්‍රධානම හේතුවත් එය විය හැක... මා ළමයි හදන්නේ නෑ කියන විට බොහෝ අයට මා පොන්නයා ය... 

පෞද්ගලික අවකාශයෙන් මිදී නැවත පොත ගැන කතා කිරීමේදි අවසාන වශයෙන් මෙසේ ලියා තබමි. පොත පුරාම විග්‍රහ කළ හැකි සේම කතා කළ හැකි අවස්ථා රාශියකින් මේ පොත කියවන්නම හිතෙන මට දැනුණුම කොටස් කීපයක් මම උපුටා දක්වමි. ලියවිල්ල දිගින් වැඩි වන නිසා කියවන පිරිස අඩු විය හැකි නමුත් කියෙව්වත් එකයි නැතත් එකයි ලෙස සිතා සන්නාගේ සුපුරුදු හිතුවක්කාරකමට මෙසේ උපුටා දක්වමි...

--------------------------------------------------------

මගේ කරට පංචායුධයක් තිබුණේ නැත. සමනල පියාපත් ගිලිහී වැටෙන විට දුක්වන දෙවියනි, ඉසිඹුවක් ලද විටෙක මේ රචනාව කියවන්න. උණුසුමක් නැති මගේ මේ සිහල බස දෙවියන්ට කියවන්න පුළුවන්ද ? තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් අතර සිංහල දන්නා දෙවි කෙනෙකු ඇත්නම් මළපොතේ අකුරක්වත් නොදන්නා මියගිය අම්මාට ඇහෙන්නට මේ රචනාව කියවන්න. ඇත්තටම අපේ අම්මා ගැන ලියන මේ මතක සජ්ජායනාව ආදර මහාවංශයක් ලෙස මේ රටේ දරුවන්ට ඇහෙන්නට කියවන්නට දෙවියන්ට පුළුවන් ද ? මා සිතන්නේ "බෑ" කියා ය.

මට ඉතිහාස ගින්න නිවා දමන්නට ඕනෑ ය. එහෙත් මවිසින් එහි අළු දූවිලි පිස අවුස්සන විට එහි අළු යට නොනිමි තිබෙන ගිනි පුලිඟු  මතුවේ. ඒව ගිනි පිඹිමින් මා පසුපස එළවන්නේ ය. ගින්නට පිටුපා අනාගතයට දිව යනවා වෙනුවට මම ගින්න සමඟ සටන් කරමින් සිටිමි. මා සිදාදියේ ගෙදරක සාලයේ සුවපහසුව සිටින විට ටකරං ගෙදර පිළිකන්නෙන් එන අතීතයේ මළ මුත්‍ර ගඳ මට දැනේ. මම එය සීරුවට ආඝ්‍රාණය කරමි.
--------------------------------------------------------------------

"උඹ බයයි නේද ?"

බොහෝ චණ්ඩි කතා වාචාලකම් වන සංවාද විසංවාද මැද්දේ මා නිහඬ වූ විට මගේ මිතුරෝ මගේ කට අවුස්සති.

"ඔව්. මං බයයි."

මම පිළිතුරු දෙමි. මා කිසිවෙකුට බය නැතිවාක් මෙන් ම මම බොහෝ අයට බිය වෙමි. මේ සමාජයේ බය නැත්තේ කාට ද ? බය කාටද යන්න විටෙක වෙන් කොට ගත නොහැකි ය. අපි චණ්ඩි යැයි සිතන බොහෝ පාතාල මැරයන් විටෙක අපිට ගරු කරන අතර, අප පඩේකටවත් ගණන් නොගන්නා නපුංසක පිම්පියන් අපට චණ්ඩි පාට් දමන විට අපි ඔවුන්ට බිය වෙමු. චණ්ඩිකම විටෙක නිර්භීතකමක් වන්නා සේ ම තවත් විටෙක මෝඩකමක් ද වන්නේ ය. මම එක විට මෝඩයා ද චණ්ඩියා ද වන්නෙමි. (95 පිටුව)
---------------------------------------------------------------------

දුප්පත් ගෙදරක "ලාම්පු රණ්ඩුව" ස්වාභාවික ය. එය අඳුර වෙනුවට ආලෝකය ඉල්ලා කරන අරගලයකි. 

"මේ කුප්පිය පොඩි එකාට දීපං.. නැත්නම් පොත් ගොඩේ පෙරළගනියි."  

"බල්බ්" එකේ කුප්පි ලාම්පුව වෙනුවට "මාමයිට්" ලාම්පුව ආරක්ෂාකාරී ය. අම්මා සමාන දේ දරුවන්ට දුන්නී ය. "හොඳම දේ දරුවන්ට" යන්න මම පසු කලෙක ඉගෙන ගතිමි. ඒ ප්‍රායෝගික පාඩමේ ප්‍රාථමික ගුරුවරිය මගේ අම්මා ය. අප හෝඩිපොත ශබ්ද නගා කියෙව්වත් අම්මාට සතුටු ය. අප අකුරු කියන විට ශබ්දනඟා පාඩම් කරන විට අකුරු නොදත් අම්මා උද්දාම වන්නී ය. අම්මට තිබුණු ලොකුම ප්‍රශ්නය "මේ ළමයි ඉගෙන ගනී ද දන්නේ නෑ ?" "පංතියේ කී වෙනියා වෙයි ද දන්නේ නෑ ?" යන්න නොව "මේ ළමයින්ට බඩගිනි ද දන්නේ නෑ ?" යන්නයි...: දෙවනුව "කුප්පි ලාම්පුව පෙරළගනී ද දන්නේ නෑ ?"යන සැකය යි. අම්මට තිබුණු තුන්වෙනි ප්‍රශ්නය "හී ගඩු පිපෙන සීතලේ ගැහෙනවා. මොනව කරන්න ද ?" යන්නයි. අපි ලාම්පුව පොතට ළං කරගෙන පාඩම් කරන විට අම්මා කුප්පිය තරමක් ඈත් කරන්නී ය. "පොත් ගොඩේ පෙරළෙයි" ඈ කියන්නී ය. නැත්නම් "ලාම්පු දැල්ලට ඇස්දෙක දැවිල්ල ගයි" කියන්නීය. කොහොමත් භූමිතෙල් ලාම්පුවෙන් පාඩම් කළ විට උදේට ඇස් දෙක රතු පාට වී දැවිල්ල ගන්නේ ය. නාස් කුහර දෙක වටේට නාස් පුඩුව අහුරා කළුපාට දැලි රවුම් දෙකකි. කුඩා සයිලන්සර් දෙකක් වගේ ය. (112 පිටුව)
---------------------------------------------------------------------

"ඔය චන්දරේට ඔච්චර අමාරු උනේ ගහෙන් වැටුණු හින්දම නෙමෙයි. කළුවරේනෙ ගෙනිච්චේ. කා ලඟවත් එළියක් තිබුනේ නෑ. සුරංගනීලාගේ මහා වංගුව ගාව පල්ලමේ දී උස්සගෙන ගිය හාන්සි පුටුවෙන් ඕකා බිමට වැටුණා. මං හිතන්නෙ කොන්ද කැඩුණේ ගහෙන් වැටුණා ම නෙමෙයි. ඉස්පිරිතාලෙ ගෙනියද්දි පුටුවෙන් වැටිලා."

බීමතින් ලෙඩා රෝහලට ගෙන ගෙන ගිය හිච්චි අයියා පසු කලකදී පසුකලෙක දී කී ය.

එහෙත් දැන් ගැමියන් සිතන්නේ චන්දරේ සහජ අබ්බගාතයකු බවයි. එහෙත් චන්දරේ අබ්බගාතයෙකු වුණේ කුසගින්නට කොස් ගෙඩියක් කඩන්නට ගොස් ය. මම සහජ අබ්බගාතයා වෙමි. අපේ ඉරණම වෙනස් කළේ ආගම - කර්මය - දෛවය හෝ ගමේ කියන කරුමය නොවේ. කුසගින්න සහ ආදරේ පිළිබඳ වැළලුනු ඉතිහාසය විසින්ම ය. මගේ සබුද්ධික මිතුරිය කර්මය සහ ඉරණම සමඟ ජීවත් වූවාට මට කම් නැත. "ජීවිතය සමඟ ජීවිතය" ගෙවන මට බාධා නොකරන්නැයි මම ඇයට අවවාද කරමි.

චන්දරේ ගහෙන් වැටුණේ දුප්පත්කම නිසා ය. දුප්පත් වූ විට ගස් වලින් බිමට වැටෙන්නේ ය. පොහොසත් නම් මෙට්ටයෙන් වැටෙයි කියා පැත්තකින් කොට්ටයක් තැබෙන්නේ ය. (124 පිටුව)
--------------------------------------------------------------------

ඇත්ත ය. සඳුදා උදේ රැස්වීමේ පැය බාගයක් හිටගෙන හිටි දවස් හතර පහක් ම මම ක්ලාන්ත වී ඇඳ වැටුණෙමි. ඇස් නිලංකාර වී, බාගෙට පියවී, දහදිය දමා තොලකට වේළී, ඇඟ පණ නැති වී මා බිම වැටෙනවා ය. ලොකු කොල්ලන් මා ඔසවා පංති කාමරයට ගෙන ගොස් මුණට වතුර ඉසිනවා ය.

"ඉස්කෝලෙක ශිෂ්‍ය නායකයෙක් කරන්න ඕන ප්‍රකෘතිමත්, ශක්තිසම්පන්න ළමයෙක්. ඔය ළමයා ඔය පවුලේ ප්‍රකෘතියක් නෙවෙයි. විකෘතියක්." 

කමල් සර් කියා ඇත. හූ මිටි තිබ්බේ රාමනායක සර් ය. එරෙහි වී ඇත්තේ ප්‍රනාන්දු සර් ය.

"ඇත්ත. ඒ ළමයා ඒ පවුලේ විකෘතියක් තමයි. ඒ පවුලේ විතරක් නෙමෙයි. මේ ගමේ ඔය කතා කරපු, ඔය ගනේ ගුරුවරු පෙනී සිටින බොහෝ ප්‍රකෘති වලට වැඩිය තවත් ගොඩාක් විකෘති ළමයි ඉන්නවා. මහත්මා ගාන්ධි ඒ පවුලේ විකෘතියක්. මාක්ස්, ලෙනින්, අයිස්ටයින්, චේ ගුවේරා විතරක් නෙවෙයි සුද්ධෝදනට අනුව සිද්ධාර්ථත් විකෘතියක්. ප්‍රකෘතීන් තොග ගණනින් බිහි වුණාට විකෘති බිහි වෙන්නේ පවුල්වල අහම්බෙන්. මේ ජාන විකෘති ළමයි වෙනස්. කුඹුරු කොටන, ඔය ගුරුවරුන්ගෙ වතුවල තේ දළු අදින, කුලී වැඩ කරන ළමයි ප්‍රකෘති නම්, ඒ ග්‍රාම්‍ය සිතුවිල්ලට අපිට කරන්න දෙයක් නෑ.. කවදාහරි අනාගතයේ දි ඔය ගුරුවරුන්ට බලාගන්න පුළුවන් ප්‍රකෘති වලට මොකද වෙන්නේ, විකෘති වලට මොකද වෙන්නේ කියලා. ඔය වැඩවසම් චින්තනයෙන් ඔබ්බට ගිහිල්ලා හිතන්න කියලා මං ආරාධනා කරනවා"

"ඕකා පේරාදෙණියේ අන්තරේ ඉදලා ආපු ජේ.වී.පී. කාරයෙක්."

ප්‍රතිපක්ෂ ගුරුවරුන් ප්‍රනාන්දු සර්ට දෝෂාරෝපණය කොට ඇත.

"මට ජේ.වී.පී. ද යූ.එන්.පී. ද ශ්‍රී ලංකා ද කියලා ලේබල් ගහන්නෙ නැතුව මං කියන දේ හිතන්න. පුද්ගල සාධක නැතුව සමාජය ගැන හිතන්න. වෙනස් විදිහකට දකින්න බැරි ගුරුවරයෙක් හොඳ ගුරුවරයෙක් නෙමෙයි. ඔය ළමයා පියුමා ටීචර් එක්ක ලොකු රණ්ඩුවක් වෙලා තිබුණා ගුත්තිලා කාව්‍ය උගන්වද්දි. තවමත් අපි ගුත්තිල කාව්‍ය උගන්වන්නෙ බණ පොතක් විදිහට ආදර්ශ හා අවවාද දෙන්න. ඔය ළමයා ප්‍රශ්න කරලා තිබුණා මූසිලට ආදරේ කරන්න බැරි ගුත්තිල ගුරුවරයෙක්ද කියලා. ගුත්තිල කාව්‍ය සංග්‍රහයේ ගුත්තිලට සක්‍රයා දෙන ගුළි තුන තහනම් උත්තේජක නේද කියලා. ළමයෙක් එහෙම හිතන එක වැරදි ද ? මං ඔය ළමයට පුස්තකාලය භාර කරුණාරත්න සර්ට කියලා මාර්ටින් වික්‍රමසිංහ ලිව්ව "ගුත්තිල ගීතය" පොත කියවන්න දුන්න. මේ ගුරුමණ්ඩලේ සිංහල උගන්වන්න ගුරුවරු ගුත්තිල කාව්‍ය කියලා දුන්නට වික්‍රමසිංහගේ ගුත්තිල ගීතය කියවලා තියෙනවා ද ? ඇයි අභිවෘද්ධිකාමි ඥාන පිපාසාවකින් පෙළෙන ළමයෙක්ගේ මිනී වළ කපන්නේ ?" (187/188 පිටු)
--------------------------------------------------------------------

ශිෂ්‍ය නායක පදවි ලේඛනය ප්‍රකාශ කර තිබුණ් ඇල්ලේගම කරුණාරත්න සර් ය.

"මං අද විශේෂයෙන් සතුටු වෙනවා අර යහළබැද්දේ ගැටහැවෙල ළමයා ශිෂ්‍ය නායකයෙකු ලෙස පත් කිරීම ගැන. මුළු ඉස්කෝලෙම මාච් ෆාස්ට් එකේ ගෙනියන්නේ එයා. පිට්ටනියේ ඉදලා වම් දක් - වම් දක් කිය කියා පහළට එනකොට මුළු ඉස්කෝලෙම දෙදුරුම් කනවා. ඒ ළමයාට තියෙන්නේ කටක් නෙවෙයි ඝාණ්ටාරයක් !. හැබැයි ඒ ළමයා ජනාධිපති එන උත්සවේ කොඩිය ගෙනියන්න යොදවන්න අමාරුයි. කොඩිය උස්සගෙන කොටි මිට පෙකණිවැල ගාවට තියලා ඉස්සුවම හුළඟට කොඩිය වැනෙන කොට ළමයා බිමට වැටෙනවා. කොඩිය උස්සන් ඉන්න ඒ ළමයට හයිය නෑ. ඉතින් අද ගමේ ගුරුවරු කිව්වේ කොඩිය බිමට වැටෙන එක. පිටස්තර ගුරුවරු කිව්වේ, මඳ සුළඟට ලෙළෙමින් කුණාටු වලට සැලෙමින්, ඒ ළමයා කොඩිය උස්සන් ඉන්න එක." 

ආනන්ද ශාලාවෙන් එළියට පැමිණි ගුරුවරුන් හමු වී ශිෂ්‍ය නායක ඡන්දාපේක්ෂිත සිසුසිසුවියෝ තොරතුරු විමසන්නටත්, ආචාර කරන්නටත් වූ හ. ප්‍රනාන්දු සර් වචන දෙක තුනක් කීවේ අරගල නියමුවෙකු ලෙස ය.

"අරගල නොකර කිසිවක් දිනා ගන්න බෑ. මතක තියා ගන්න අරගල කරන්න ඉගෙන ගන්න. ඉගෙන ගන්න අරගල කරන්න." (190 පිටුව)
--------------------------------------------------------------------

"සද්ද නොකර ඔහොම හිටපං. අප්පච්චි අම්මා වළේ දාන්න ගේ ඇතුළේ මිනී වළක් කපනවා" 

නීතා අක්කා කීවා ය. අප්පච්චි ගේ ඇතුළේ මිනීවළ හාරන ශබ්දයත් රැහැයියන් කෑ ගහන ශබ්දයත් මැද්දේ අපි අපේ අම්මා බදාගෙන කොස් ගහ යට සෑහෙන වෙලාවක් සිටියෙමු. අම්මගේ මුළු සිරුරම ගඩ ගඩ ගා වෙවුලනවා ය. මං ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙකු වූ බව අම්මට කියන්නට බැරි ය. එය රහසින් හෝ නීතා අක්කට කියන්නට සිතේ. එහෙත් කිසිවකු මා කෙරේ අවධානය දක්වන්නේ නැත. අප්පච්චි අම්මාට පහර දී විය යුතු ය. අපි හතර දෙනා හතර පැත්තෙන් අම්මා වටකොට සිටියෙමු. මම දෝතින් ම අම්මගේ මුහුණ බදා ගතිමි. අම්මට හොඳ සිහිය නැත. තිබුණා නම් මගේ අත් දෙකේ ස්පර්ශයට ඈ ප්‍රතිචාර දක්වනවා ඇත. මේ කොස් ගහ ළඟ පහුගිය සතියේ ලොකු පොළඟෙක් සිටියේ ය. ගේ මැද්දේ මිනී වළක් හාරා පණපිටින් අම්මා වළේ දාන්නට අප්පච්චී සැරසෙන්නේ නම් අම්මා බේරාගත යුතු ය. (192/193 පිටු)
--------------------------------------------------------------------

"අම්මා මනුස්ස පාටයි. තාත්තා සතෙක් වගේ. ඇයි අම්මා සතෙක් කසාද බැන්දේ ?"

මේ ප්‍රශ්නය වෙනත් විදිහකට අප අම්මාගෙන් ඇසු වාර අනන්ත ය. නො දියුණු අශිෂ්ට අසංස්කෘතික පවුල්වල දරුවන් අදත් මේ ප්‍රශ්නය අම්මලාගෙන් අසනවා විය යුතු ය. ඇසිය යුතු ය. ශිෂ්ඨ කුණ්ඩලකේසිය අශිෂ්ට හොරෙකු සරණ ගියේ ඇයි දැයි ඇගේ දෙමාපියන් අසන්නට ඇත. ගැහැණු ගැහැණුන් වීම නිසා ම අත් විදින අනේක විධ පීඩාවන් සියල්ලටම අපේ අම්මා කීවේ "කරුමේ තමයි, මොනවා කරන්නද ? කියා ය. (196 පිටු)
--------------------------------------------------------------------

ඇත්තට ම පීඩිතයාට මරණය වේදනාවක් නො වන්නේ ය. ජීවත් වීම වේදනාවක් වූ හැමෝටම මරණය සැපතකි. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වීම කාට හෝ මහා වීර ක්‍රියාවක් නම් පීඩනයෙන් හෙම්බත් වී මා වැනි අසරණ වූ මේ කොදෙව්වේ හද්දා පිටිසර ඕනෑ ම හුජ්ජ කොල්ලෙකුට දුෂ්ඨයා මරාගෙන මැරී තමන් ද කුඩු පට්ටං වීම අතිශය සරල ක්‍රියාවකි. අරමුණක්, අනාගතයක්, ජීවත් වීමක්, හෙට දවසක් හෝ අවම වශයෙන් අවම පීඩනය යටතේ හෝ මනුෂ්‍යයකු ලෙස පැවතීමට ඉඩක් නො දෙන්නේ නම්, මරාගෙන මැරෙනවා හැර වෙනත් විකල්පයක් අසරණ අපට නැත.

මම අප්පචිත් වසවර්තියාත් මරා දැමීමට තීරණය කළෙමි.

කිරි කළ හතකින් ශ්‍රී මහා බෝධිය නෑවූ උපාසක උපාසිකාවන් සිටි අඔඒ ගමේ, අපේ ගෙදර තිබුණේ පංසල පාමුලේ ය. මට කිරි කළ හතක් තියා කිරි බිංදුවක්වත් තිබුණේ නැත. උන් අපට කිරි දුන්නේද නැත. අපගේ ඇටසැකිලි දෙස බල බලා වෘක්ෂ දේවතාවුන් පිදූ හ. අප ජීවත් වූ අපාය දෙස බලමින් ඔවූහු දෙව්ලොව සුව ම පැතූ හ. (198 පිටුව)
--------------------------------------------------------------------

"දැන් ඔය ගුණදාස අමරසේකර වගේ දොස්තර කෙනෙක් "කරුමක්කාරයෝ" වගේ පොතක් ලියද්දි එයාගේ බිරිඳ විරුද්ධ වුණා නම් අද වෙනකොට 'කරුමක්කාරයෝ ' කියලා පොතකුත් නෑ. අමරසේකර කියලා ලේඛකයෙකුත් නෑ. ලේඛකයාගේ පරිකල්පන ලෝකයට ඇඟිලි ගහන්න බිරිදකට, පෙම්වතියකට, හොර ගෑණියෙකුට හරි මොන සෙල්ලක්කාර රැජිනකට වත් අවසර නෑ.. ශරීරයේ හෝ ජීවිතයේ ඕන මඟුලකට ගෑණියෙකුට ඇඟිලි ගහන්න පුළුවන්. ලේඛකයාගේ පරිකල්පනයට හැර." (212/213 පිටු)
--------------------------------------------------------------------

"අද අපේ අප්පච්චිගේ අන්තිම දවස. අවමංගල්‍ය උත්සවයට වැඩම කරපු හාමුදුරුවො කිව්වේ අප්පච්චි ඊළඟ ආත්මේ නිවන් දකින්න ඕනි කියලා. පෝස්ටරේ තිබ්බේ නිවන් සැප ලැබේවා කියලා. හැම තැනින්ම ගෙනත් ප්‍රදර්ශනය කරපු බැනර් වල තියෙන්නෙත් නිවන් සැප ලැබේවා කියලා. ඒත් මං අපේ අප්පච්චිට නිවන් සැප ලැබෙන්න කියල පාර්ථනා කරන්නේ නෑ. අපේ අප්පච්චි මේ ආත්මේ ගොඩාක් පව් කරා. අප්පච්චි ආයෙත් ඉපදෙන්න ඕනි. ඒ කරපු පව් ගෙවන්න ඕනි. එතකොට මට පුළුවන් අප්පච්චිට නිවන් සැප ලැබෙන්න කියලා පාර්ථනා කරන්න."

මගේ කතාව ඇතැම්හූ මතක ගබඩාවේ තැන්පත් කොටගෙන අදත් ස්මරණය කරති. ඇතැම්හූ ඒ පිළිබද ව තවමත් මට බැණ වදිති. මට මගේ ජීවිතයේ බොහෝ දෙනා අහිමි වූයේද මගේ කට නිසා ය. අප්පච්චිගේ කටේ ඉස්සරහා දත් දෙක ඒ කාලේ ඉදන් තිබුණේ නැත. වසවර්තියාගේ මිට ගුළි කළ දකුණත් පහර කෑමට ලක් ව හැලී ගොස් ය. වසවර්තියා කීවේ "දුන්න දත් දෙක බඩට යන්න" කියා ය. අප්පච්චි කීවේ "ඔන්න දරුවන්ගේ හපන්කම්" කියා ය. ඒ කිසිවකින් කාගෙවත් අත කට මට්ටු වූයේ නැත. අම්මා අප්පච්චිට කීවේ "කට නැත්තං මෙලහකටත් මැරිලා" කියා ය. අදත් මගේ බිරිද මට කියන්නේ ද "කට කට! කට විතරයි" කියා ය. (369 පිටුව)
--------------------------------------------------------------------

"මගේ අම්මගේ අවමංගල්‍යෝත්සවයට පැමිණි සියළු දෙනාගෙන් අවසරයි. ලියෝ ටෝල්ස්ටෝයි කියන ලේඛකයාගේ බිරිද තමන්ගේ ජීවන පුරාවෘත්තය ලියලා තියෙනවා "මහා පුරුෂයෙකුට බිරිදක් ව" කියන පොතේ. ඒ අම්මාටත් දරුවෝ ගොඩාක් හිටියා. අපේ අම්මාටත් දරුවෝ එකොලොස් දෙනයි. ජීවතුන් අතර ඉන්නවා දහ දෙනෙක්. එක්කෙනෙක් පොඩි කාලේ මැරිලා. අපේ අම්මා මේ දරුවෝ දහය හදන්න දස මාසේ ගානේ අවුරුදු දහයක් ගැබ්බර වෙලා හිටියා. දරුවන් වෙනුවෙන් ජීවිත කාලේ ම දුක් වින්දා. අම්මා කියන්නේ උපන් දා ඉදලා මැරෙන කල්ම දුක් වින්ද ගැහැණියක්. මගේ අම්මා අපි වෙනුවෙන් කරපු දේවල් අපිට මේ ජීවිත කාලේ වන්දියක් විදිහට ගෙවලා ඉවර කරන්න බෑ.."

"අපේ ගෙදර බඩ පිස්සා මම. මං පොඩි කාලේ අබ්බගාතයා. මෙතන ඉන්න ගොඩාක් අය වාසනාවන්තයි කියලා හිතන අපේ පවුලේ අවාසනාවන්තයා මම. මගේ හදවත නිකම්ම මස් වැදැල්ලක් නොවී හිතන්න මට සිද්ධ වෙලා තියෙන හින්දා. ඒ උරුමයත් මට අම්මගෙන් ම ලැබුණු එකක්. අම්මා ගැන හිතල ම තමයි මගේ පපුව ඇතුලේ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවනම් මං කැමති ලබන ආත්මේ ගැහැණියක් වෙලා උපදින්න. ඒ ආත්මෙදි මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන. එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න. මං අම්මා වගේ ගෑණියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න. ඒ හින්දා නිවන් යන්න කලින් ඉස්සෙල්ලාම අපි දෙන්නා ම ආයෙත් උපදිමු රත්තරං අම්මේ...."
             "එහෙම නැත්නම් අපි දෙන්නම අසරණයි මගේ අම්මේ........" (382/383 පිටු)

ඉතින් මම යෝජනා කරනවා මේ පොත කියවලා බලන්න... ඒ නැතත් මඟ ඇරෙන්න නොදී අම්මව බලා ගන්න... ❤ 

ලබන ආත්මයක් තියෙනවනම් මං කැමති ලබන ආත්මේ ගැහැණියක් වෙලා උපදින්න. ඒ ආත්මෙදි මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන. එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න. මං අම්මා වගේ ගෑණියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න. ඒ හින්දා නිවන් යන්න කලින් ඉස්සෙල්ලාම අපි දෙන්නා ම ආයෙත් උපදිමු රත්තරං අම්මේ....

#අකිල
2019/11/19

1 comment:

  1. හදවත පැළෙන්න වගේ... කදුළු නවත්ගගන්න බෑ...
    මේ සංසාරේ මහා දුකක්,
    අපිට අම්මලා ලැබිලා ඇති මහ හුගක්, ඒත් අපිට ඒ අම්මලගේ ණය ගෙවලා ඉවරකරන්න බෑ...

    මගේ අම්මා මේ මොහොතේ මං ළඟ නෑ... මම දුර රටක ඉන්නේ, තාක්ෂණේ කොච්චර දියුණු උනත් අම්මා ළඟ ඉදං ගෙවන ඒ මොහොත කොච්චර සල්ලි හම්බකලත් ගන්න බෑ.

    මටත් මගේ අම්මා මිස්වෙවෙලා කියලා හැගෙනවා, මට ඒක දරාගන්න බෑ...
    මට මේ ගෙවන මොහොත තත්පරයක්වත් විශ්වාස නෑ, ජීවිතේ කොයිවෙලේ හරි අපිට යන්න වෙනවා සමහරක්විට ඒ මොහොත මේ දැන්ද දන්නෙත් නෑ,

    මම ප්‍රාර්ථනා කරනවා මගේ අම්මට මගේ ආයුශත් අරගෙන ජීවත් වෙන්න කියලා. මට තාමත් මතකයි මම එයාපෝර්ට් එකෙන් එනකොට ඒ මූණ, මගේ හදවත පැලෙන්න වගේ....

    මගේ අම්මා බලන්න මම ඉක්මනින්ම එනවා, මගේ අම්මා අපි වෙනුවෙන් විදපු දුක් ඇති මහා සාගරේ තරම්! හැම අම්මම එහෙම තමයි තමංගෙ දරුවෝ වෙනුවෙන් දුක් විදලා තියෙනවා, මම හිතන්නේ අම්මම මතු බුදුවෙන්න පාරමිතා පුරනවා කියලා නැත්නම් දරුවෝ වෙනුවෙන් මේ විදිහ දුකම ඇති දහස්වතාවක් නිවන් දකින්න,
    මම ප්‍රාර්ථනා කරනවා හැම අම්මම
    සියලු ලෝක සත්වයාටම උතුම් චතුරාර්යය සත්යය වැටහිලා උතුම් නිර්වාණ්‍යෙන්ම නිවී සැනසෙන්න කියලා... මට කරන්න පුළුවන් ප්‍රාර්ථනාවක් විතරයි! අපි හැමෝම මේ සසර සාගරේ අසරණයි

    තෙරුවන් සරණයි 🙏

    ReplyDelete