Thursday, December 24, 2020

👉 .................සැමීගෙ කතාව.............. 👈



          මම කැමති පිස්සෙක් ලෝකය දිහා බලන විදිහට බලන්න. පිස්සෙක් විදිහට ලෝකේ දකින්න. "උඹට පිස්සව පිස්සෙක් - පිස්සට උඹව පිස්සෙක්" ඒ කතාව සහතික ඇත්ත කියලා තේරුම් ගන්න පුළුවන් බොහෝ දෙනෙක් පිස්සෙක් කියලා හදුන්වන, මනුස්සයෙක් එක්ක ටිකක් කතා කරලා බැලුවාම. එක අතකට අපි හැමෝම පිස්සො වෙන්නත් පුළුවන්. එක එක ජාතියේ එක එක පිස්සු තියෙන. ඒත් සමාජෙන් ඒ පිස්සුවට දෙන වටිනාකම නිසා පිස්සුව ගෞරවාන්විත හෝ එසේ නොවීම සිද්ද වෙනවා... අළුත් විදිහට ලෝකේ දැක්ක හැමෝම පිස්සෙක් උනෙත් ආන්න ඒ විදිහට වෙන්න ඇති. ඒ කාලේ පිස්සෙක් වෙලා අගෞරව ලබලා මේ කාලේ දාර්ශනිකයෙක් කියලා ගෞරවයක් ලබන මිනිස්සු ගැන ඉතිහාසය සාක්ෂි දරන්නෙත් ඒ විදිහට වෙන්න ඇති. සමහර පිස්සු අදහස් වල බිදින්න බැරි පට්ට තර්ක පිරිලා තියෙන්නෙත් පිස්සුව නිසාම වෙන්න ඕනි. උදාහරණයකට PK ෆිල්ම් එක. බේබද්දෙක්, නැත්නම් පිස්සෙක් වගේ හිතෙන එක ගැන හිතලා බලන්නකො....

           මට මගේ සැබෑ ජීවිතේදී අනන්තවත් සාමාන්‍යයෙන් මිනිස්සු පිස්සෙක් කියලා හදුන්වන, ඒත් දාර්ශනිකයෙක් වගේ කියලා මට හිතුන  මිනිස්සු හම්බෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ගෙන් එළියට එන හැම වාක්‍යක් ගානෙම හිතන්න මාර දේවල් ගොඩාක් ඉතුරු වෙනවා. එතකොට පොත් වල, ෆිල්ම් වල, වගේ එන්ටර්ටේන්ට්මන්ට් සීන් වල අනන්තවත් හම්බෙලා තියෙනවා.

         ඒ වගේ මට හම්බුන චරිතයක් තමයි "සැමී...". සැමීව මට හම්බ උනේ, 'කපිතාන් එල්මෝ ජයවර්ධන' මහත්තයගේ සැමීගේ කතාව පොතේ. ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ සිසිල් රුද්‍රිගු මහත්තයා. ඔව් ඔව්. නිව්යෝර්ක් සිටි සිනමා උළෙලේදි ජගත් චමිල හොඳම නළුවා උන සැමීගේ කතාව.... චිත්‍රපටිය ගැන නෙවෙයි මේ පොත ගැන. සාමාන්‍යයෙන් මම ආසයි සරලව ගැඹුරට කා වදින කතා වලට. මේකත් එහෙම පොතක්. චිත්ත රූප මැවිලා පෙන්වන්න පුළුවන් උපරිම මට්ටමින් සිසිල් රොද්‍රිගු මහත්තයා මේක සිංහල අකුරෙන් හැඩ කරලා තියෙනවා.  මට දැනෙන විදිහට, ෆිල්ම් එකට වඩා පොත සාර්ථකයි වගේ. 

        සැමීගේ ජීවිතේ එක එක අවස්ථා සමහරවිට කියවන ඔබත් මාත් නිතරම නියෝජනය කරනවා යැයි හැගෙන්නට පුළුවන්. මෙහි සිටින චරිතත් නිතරම ඔබ මා නිතර දකින චරිත ලෙසත් පෙනෙන්නට හැකියි. 
       මෙහි රචකයා, එල්මෝ ජයවර්ධන මහත්තයා ගුවන් නියමුවෙක්. සිංගප්පූරුවේ පදිංචිව සිටින ජාත්‍යන්තර "ජම්බෝ ජෙට්" යානා පදවන ප්‍රවීණ වෘත්තියමය ගුවන් නියමුවෙකි.

        කතාව චිත්‍රපටිය බලපු අයට මතක ඇති. ඒත් මම බලපු අයටත් යෝජනා කරනවා, පොතත් කියවලා බලන්න. අකුරු අතර ඒ කතාව ගලාගෙන යන විදිහ බලන්න... 

      සැමීගේ කතාව මුලින් සරල වගේ දැනුනට සරල තිත්ත ඇත්තක් පෙන්වනවා. ෆැන්ටසියට වඩා, යතාර්ථයක් පෙන්වනවා. හැබැයි කෙනෙක් කියාවි, මේ අගෞරවයක් කරන්නේ කියලා. නෑ, මට හිතෙන්නෙ ඒ සාමාන්‍යයෙන් මිනිහෙක්ට නොපෙනෙන පැත්තක් කියලා. නොපෙනෙන ඇත්ත කියලා..

     "උඹලා මැරුණට පස්සේ නං ඒ අය ප්‍රශංසා කරයි තමයි. මළමිනී වලලන්න ආපුවමනං හිත හොඳ අපූරු මිනිස්සු තමා. යුද්ධේ ගැන උඹල දන්නේ මොන බම්බුවද ? පත්තර වලයි රේඩියෝ වලයි යුද්දේ ගැන ගැන කියන දේවල් එහේ ඇත්තටම සිද්ධ වෙන දේවල් නෙවෙයි. ඔක්කොම බොරු. මං ඇහින් දකින හින්දයි මේ කියන්නේ. අපි දුවනකොට අපි බයගුල්ලො වගේ කියලා හිතාගෙන උන් අපිව පස්සෙන් පන්නන්නෙ හරියට හරක් පස්සේ දුවනවා වගෙ. යුද්දෙට යන දුප්පත් අපි වගේ මීගොන් තවත් නෑ. මහ ලොකුවට යුද්දෙට යනවා. බැරි වෙනකොට පණ බයේ ආ පස්සට දුවනවා. එච්චරයි" 

       "ටවුන් වල ඉන්න මහ එකාලගේ පුත්තු කෝ ? මහ එකාලා මොනවාද කරන්නෙ? මදියා මල්ලිගේ තරහව එන්ඩ එන්ඩම දරුණු තත්වයට ආවා.!
උන් යුද්දෙට යනවඩ්ග ? දරුවන්ව අරිනවද ?බෑ. මේ උන්ගෙත් රට නෙවෙයිද ? රට උන්ටත් අයිතියි."

      "උන්ගේ රට.... උන්ගේ භටයො... ඒත් යුද්දේ අපේ ! යුද්ධ උන්ගේ නෙවෙයි නේද ? කල්පනා කරපල්ලා... මදියා දිගට හරහට කියපු විශ්ම කර්ම වචන මට තේරුනේ නෑ. අම්මයි - නංඟිලා දෙන්නයි මදියගේ කටින් පිටවුණ හැම වචනයෙක්ම අත නෑරම අල්ලගෙන වගේ බලා හිටියා" (පිටුව 115)

        "උන් අපිට හපන්. හුඟාක් අය පුංචි කොල්ලො කෙල්ලො. අවුරුදු දොළහා දහයේ වගේ. ඒකේ උන්න ගුඟාක් අය තරුණ ගැට කෙල්ලො. මරලා කදවුරට ගේන මිනී මං දැකලා තියෙනවනෙ. ඇස් ඇරගෙනයි මැරිලා තියෙන්නෙ. ඒ අයට අපි තරමටවත් යුද්දේ කියන්නේ මොකද්ද කියලා දැනීමක් නෑ. පව්. ඒ තරමට පුංචියි. අපිව මරන්න එන හින්දම මරනවා මිසක් අපි උන්ව කැමැත්තෙන් මරනවා නෙවෙයි. නංඟි !... දෙපැත්තෙම අය ඇත්තටම දන්නේ නෑ අපි එකිනෙකා මොනවට මරා ගන්නවද කියලා." (පිටුව 118)

       "හැමදේම දැන් ගිණි ගණන් ළමයෝ ? කොහොම ජීවත් වෙන්නද ? " රාජි සර්ගේ නෝනා කිව්වා. එයා සාමාන්‍යයෙන් වැඩිපුර කතා නොකරන කෙනෙක් උණත් දැන් එයාටත් දුප්පතුන්ගේ පෙරහැරටම එකතු වෙන්න සිද්ධ වෙලා. ඒත් ඔය ජෝඩුවම ගිහින් බයිසිකලයක් ගෙනාවා. ඒක මහ අමුතුයි. දැක්කාම හිනා යනවා මට නං. ඒකට එක රොදයයි. ගමනක් බිමනක් යන්ඩ ඔය බයිසිකලෙන් බැෆිලු. තනි රෝදෙන් කොහේ යන්ඩද ? ඒ අයට බයිසිකලේ ඉදගෙන පැද පැද රූපවාහිනී බලන්නලු එහෙම එකක් ගෙනාවේ. "

ඔන්න දුප්පත්තු.... (පිටුව 155)

      ඉතින් මම ආරාධනා කරනවා ඔයාලත් කියවලා බලන්න. පොත කොච්චර රසවත්ද කියලා පළවෙනි පරිච්චේදය කියවනකොට තේරේවි. මෙන්න....

   .....ගඟළග ගෙදර....

ලස්සනම ලස්සන ගංඟාවක් ළඟින් පිහිටි නිසා මම එය ගඟළඟ ගෙදර කියලා හදුන්වන්නම්.  මං ගඟ ළඟ වැසට ආවේ හුඟ කාලෙකට ඉස්සර නෙවෙයි. ලෝකෙට වසර දෙහාහ ලබන්න අවුරුදු කීපයකට ඉස්සෙල්ලයි මං ගඟ ළඟ ගෙදරට වැඩට ගියේ. දෙදාහ කියන්නේ මං හරි කැමති ගණනක්. "විසිපහ" කියන ගණන වගේම දෙදහත් මට හොඳට මානපයි. 
 
           මේ ඔක්කොම දේවල් පටන් ගත්ත මාසේ මට හරියටම මතකයි. ඒ අඹ මාසයයි. හැම මාසෙකටම අපිම හදා ගත්තු නම් අපේ ගනේ තියෙනවා. අවුරුදු පෝලිමේ ඇවිල්ලා ආයේ යන්න ගිය හැටි මතක තියා ගන්න ලේසි උනේ ඔය නානාප්‍රකාර මාසවල නම් හින්දයි. අඹ මාසය - වැහි මාසේ - ග්‍රීස්ම මාසෙ - මංගුස්ටින් මාසේ - පළවෙනි - අනිතිම මාසේ විදිහට අපි මාස ඔක්කොටම නම් දීලා තිබුණා. අඹ ගස්වල කොළ ගණනටත් වඩා අතුවල කොළපාට අඹ පිරිලා බරවුණු මාසේ තමයි අඹ මාසේ. 

      මං ගඟළග ගෙදර වැඩට ආවෙත් හරියටම අඹ මාසෙකයි. 

"උඹට උයන්න පුළුවන්ද ?" ඒ ගඟළඟ ගෙදර මහත්තයා මගෙන් අහපු පළවෙනි ප්‍රශ්නේ.

"රෙදි මදින්න පුළුවන්ද ?" 

"කඩේට -මාර්කට් එහෙම යන්ඩ ඇහැකිද ? එළවළු - පාන් - මස් හෙඅ අරං එන්න...?"

එකක් යනකොට තව එකක් විදිහට මහා ප්‍රශ්න වැළකින් එයා මට දමලා ගැහුවා වගෙත් මට දැණුනා. 

        මිනිස්සු මේ තරම් මගෙන් ප්‍රශ්න අහන්නේ ඇයි කියලා මම දන්නෙ නෑ. ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්නවලට උත්තර මං තමයි දන්නේ කියලා මිනිස්සු හිතනවා වෙන්ඩත් ඇති.

     බස් නැවතුමක් ළඟ මං හිටියත් කෙනෙක් මගෙන් අහන්නේ තකතීරු ප්‍රශ්නයක්මයි. අනේ මංදා.

    "මීළඟ බස් එක කීයට එයිද ?"

මිනිස්සු මගෙන් අහන්නෙම ඒ වගේ ප්‍රශ්නමයි. ඒ වාගේ බහූභූතමයි. ඊළඟ බස් එක එන වෙලාව මං දන්නේ කොහොමද ?

       "අන්තිම බස් එක කීයටද ගියේ ?"

ඒ තවත් මරිමෝඩ ප්‍රශ්නයක්නේ. අන්තිම බස් එක යනකොටත් මම බස් නැවතුමේ හිටියනං දැන් මම මෙතන ඉන්ඩ පුළුවන්ද ? බැහැනේ...

"ළමයා බස් එක එනකංද ඉන්නේ ?" ඒ තවත් පිස්සු ප්‍රශ්නයක්.

"නෑ. බෝට්ටුවක් එනකං..." මගේ ඒ පහත් හඬ මගේ උගුරෙන් එළියට නං ආවේ නෑ. 

     මං හිතන්නේ මිනිස්සු ප්‍රශ්න අහන්න හරිම ආසාවකින් ඉන්නෙ කියලයි. මට ප්‍රශ්නයක් නෙවෙයි ඒක. ඒත් මගෙන්ම විතරක් ප්‍රශ්න අහන්න්වෙ මොකද ? ප්‍රශ්නවලට මට මනාපයක් නෑ. මං පුංචි කාලේ ඉදලම එහෙම තමයි. මම කවදත් චාම් ජීවිතේ අගය කළා. අගය කරනවා. ප්‍රශ්න නෑ. ඒ හින්දා උත්තරත් නෑ. එන හැටියට ජීවිතේ බාර ගන්නවා. ජීවිතෙන් මං කවදාවත් උත්තර බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවෙයි. වැඩක් නැහැනේ ? ඒත් කළාතුරකින් ප්‍රශ්නයකට මුහුණ දුන්නත්, උත්තරය ගැන ම දුක් වුණේ නෑ. ඒ ගැන මහන්සි වුණෙත් නෑ...

     "වයස කීයද ?"
     "මොනවද ළමයා කරන්නෙ ?"
     "සහෝදරයෝ ඉන්නවද ? සහෝදරියොත් ඇති මගේ හිතේ..."
     
    ඒ වගේ ප්‍රශ්න වලට නං ඉතින් උත්තර දෙන්න අමාරු නෑ. 
  
   මහා අමාරු ප්‍රශ්නත් අහනවා මිනිස්සු වෙලාවකට. "උඹ මෝඩයෙක්ද ? බූරුවෙක්ද ?"

  ඉතින් බලන්න, මේ වගේ ප්‍රශ්න වලට මං කොහොම උත්තර දෙන්ඩද ?මං ඇත්තටම මෝඩයෙක් උනත් "ඔව්" කියාවිද මම ? මේ ප්‍රශ්නවල තත්වේ බලන්න ? ප්‍රශ්න මොනවහරි අහන්න ඕනි හින්දා ඔහේ අහනවා. අන්න ඒ හින්දම මට ප්‍රශ්න හරිම අප්‍රියයි. 

    ඊටත් වැඩියේ පිස්සු කතාව තමයි කව්රු හරි මෝඩයෙක් ප්‍රශ්නයක් අහපුවාම උත්තර දෙන්න මට ටික වෙලාවක් ගත වෙනවා. ඉතින් ඒ මොඩයා මං දිහාම බලාගෙන විරෝගෙන ඉන්නෙ හරියටම මගේ උත්තරේ නැත්නම් එයාට ජීවත් වෙන්න බැරිව වගේ.

    මං හරියටම දන්න උත්තරත් තිබුණා. මට සහෝදරයෝ දෙන්නෙක් ඉන්න බව. සහෝදරියො දෙන්නෙකුත් ඉන්න බව. ඒ විතරක් ද ? අපේ බඩවල් බාගෙට පුරවන්න ඇඟේ ඇට දිදී රබර් කිරි කපන අම්මා කෙනෙකුත් ඉන්නවා. මට හරියටම දෙන්න පුළුවන් උත්තර ටික තමයි ඒ කිව්වේ. 

       "වයස කීයද ?"

    මං කවදා ඉපදුනාද කියලා මම දන්නේ කොහොමද ? ඒ චූටි බබෙක් හැටියට මට ඕවා මතක හිටිනවද ? නැහැ. ලෝකේ කව්රුත් මම මේ ලෝකෙට ආවේ කවද්ද ආවේ කොහොමද කියලා මට කවදාවත් කියලා නෑ. කියලා තිබුණානම් ඒත් මට ඕවා අමතක වෙනවා. ආයේ දෙකක් නෑ.

    "උඹට මොනවාද කරන්න පුළුවන් ?"

     මොන බූරු ප්‍රශ්නයක් ද? මට කරන්න පුළුවන් හුඟාක් දේවල් තියෙනවා. ඕවා ගණින්න බෑ. මෙච්චර කල් මම ජීවත් උනේ කොච්චර දේවල් කරලද ? කොහොම උනත් මේ ප්‍රශ්න අහන උදවිය මං දිහා බලන්නේ මහා අමුතු විදිහටයි. මම උත්තර නොබැන්දොත් උන්ට තරහා යනවා. ඒ අය සතුටු වෙන වර්ගයේ උත්තරයක් මගෙන් නොලැබුණොත් ඒත් ඒ අයගේ බලාපොරොත්තු කඩවෙලා මූණු මැළවෙනවා. එතකොට ඒ අයමං දිහා රවා බලනවා. ඉතින් මේ විදිහට මම අනිත් උදවියගේ මොළේ අවුල් කරනවා කියලත් මට හිතෙනවා. ඒත්... මම අන් අය අවුල් කරන්න පුරුදු වෙලා නම්........ මං වෙන මොනවා කරන්නද ? මම අනිත් අයට වඩා වෙනස් කියලත් නට වෙලාවකට හිතෙනවා. අනිත් අය මං දිහා අමුතු විදිහට බලන්නේ ඒ හින්දම වෙන්ටැති. 

#අකිල

No comments:

Post a Comment