Saturday, December 26, 2020

👉 කාළකණ්නි දූපත් ජීවිත 👈



"සුදු මහත්තයෝ ඔයයි චීත්ත අදින්න ඕනි" කියන හැමෝම දැන් පාවිච්චි කරන ඒ වැකිය තියෙන වීඩියෝ එක නැරඹුවෙමි. ඩ්‍රීම් ස්ටාර් තරඟකරුවෙක් වෙනුවෙන් කෙල්ලෙක් කරන ඒ වීඩියෝ එක පුරාම හිනා වෙන්නවත් ජෝක් එකට අරන් ආතල් එකක් ගන්නවත් පුළුවන් කොටසක් මම දුටුවේ නැත. සාමාන්‍යයෙන් සියළුම ලාංකික ස්ත්‍රීයන්ට පොදු, සියළුම ලාංකීය ස්ත්‍රීන්ගේ සැබෑ ස්භාවය (බොහෝවිට සඟවගෙන හෝ නොපෙන්වන) ඇයගෙන් අන් අයට වඩා තරමක් පෙනුනු නිසා ඇයව විහිළුවක් සේ ඔබට පෙනෙන්නට පුළුවන්. නමුත් තරමක් කල්පනා කරලා බැලුවාම සියළුම ස්ත්‍රියන් මේ වගේ යැයි තේරුම් යාවි.

         කණගාටුවට කරුණනම්, මේ වීඩියෝ පටය වගේම ඒ ගැන හැමෝම වගේ දක්වන විහිළුකාර ස්භාවය යි. ඇත්තටම ඒක විහිළුවට ගන්න පුළුවන් කාරණයක්ද ? ඒක මතක් කර කර, ඒ ගැන කිය කිය, එක මනුස්සයෙක්ගේ දුකක් අපිට ආතල් එකක් කරගන්න පුළුවන් තරමට අපි රොබෝලා වෙලාද ? ගමේ මලගෙයක් උනොත් ගමේ කිසි කෙනෙක් සද්දෙන් රේඩියෝවක්වත් නොදාන සමාජයක් තිබ්බ, එහෙම අනෙකාගේ දුක දැනුණු දුක දැකපු මිනිස්සු හිටපු රටක මිනිස්සු නේද අපි...
"ඒකි මැරුනත් මට මොකද, මං අදුරන එකෙක්‍ යැයි, මගේ ආතල් එක මම ගන්නවා !"  කියන තරමට මිනිස් ජීවිතයක වටිනාකම නැති වෙන්න තරමට අපිට මොකද උනේ ? සමහරවිට ඇත්තටම අවුරුදු ගානක යුද්දෙක මිනිස්සු මැරෙනවා බල බල හිටපු අපිට මිනිස්සු මැරෙනවා බලන්න කුරිරු ආසාවක් ඇති වෙලා ඇති... ඇත්තටම අපි තිරිසන් වෙලා. 

          ඇත්තටම අපි විහිළුවට ගන්න ඕනි මොනවාද කියලවත් නොදන්න ගොබ්බ පේජ් කාරයෝ පිරුණු රටක කාළකණ්නි ජීවිත කියලයි මට හිතෙන්නෙ. කෙනෙකුගේ දුක තව කෙනෙකුගේ සතුටක් වෙන තරම දැක්කාම මට හිතෙන්නේ තව ටික දවසකින් මල ගෙයක අම්ම කෙනෙක් අඩන කොටසක් වීඩියෝ කරලා ඒ වීඩියෝ එකේ වචන ටිකක් අල්ලගෙන ඒ වීඩියෝ එකේ ඒ අම්මගේ වේදනාවත් ආතල් එකක් කර ගන්න අපේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැති වෙන බවයි. මොකද අපිට ඕනි ලයික්..... අපිට ඕනි ශෙයාස්.... 

         මේත් එක්කම යටින් දාන්නම් මම කියවපු පෝස්ට් එකක්. සංජය ශ්‍රීකාන්ත් අයියගේ.... කියවලා බලන්න.

      ලෙනී බෲස් “Fuck” කිව්වා කියා හිරේ ගියේ 1961 දීය. මීට මාස කීපයකට කලින් Saturday Night Live වැඩසටහනේදී ලුවිස් සී.කේ ළමා අපචාර ගැන කල විහිලුවක් නිසා ජාත්‍යන්තර මාධ්‍යන්ගේ දැඩි විවේචනයට ලක් විය.

ඉස්ලාම් ආගමික නායකයාගේ රුව උපහාසාත්මකව ඇඳීම නිසා කීපවරක්ම ත්‍රස්ත පහාර වලට ලක් වූ charlie hebdo සඟරාව අවසාන වතාවට පහර දීමට ලක් වූයේ මෙම වසරේ ජනවාරි 7 වෙනිදාය. එහිදී පුවත්පතේ රැකියාවේ නියුතුව සිටි මිනිසුන් 12 දෙනෙක් ඝාතනයට ලක් විය.

විහිලු වරදක් නැත. මා මුල සිටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් විහිලු කරන කෙනාගේ අයිතිය වෙනුවෙනි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය වෙනුවෙනි !

“සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුට”

මැදපෙරදිග රැකියාවේ නියුතු කාන්තාවක් දුරකථනයකින් සිය බේබදු සැමියා සමඟ පොරබදන ඒ වදන් පෙළ මා කණ වැකුනේ මීට මාස කිහිපයකට පෙර විය යුතුය.

හද සසළ කරවන සිද්ධියක් වුවත් බොහෝ දෙනෙකුට එම දර්ශන පෙළ ලබා දී තිබුනේ හාස්‍ය රසයකි. එයට හේතුව ඒ කාන්තාවගේ හඬේ ස්වරයද, නැත්නම් කාන්තාව භාවිතා කරන වචනද, එසේත් නැතිනම් කාන්තාව කියනා දේවල් ද කියා මම නොදනිමි.

ඒ මීට මාස කීපයකට පෙර තත්වයය.

අද, ඒ කාන්තාවගේ වචන පෙළ ලංකාවේ තරුණ තරුණියන්ගේ විහිලුවට ලක් වෙලාය. නව ඇසකින් ලෝකය දකිනවා යැයි ඔවුන්ම කියාගන්නා සයිබරයේ සහ බ්ලොග් ලොවේ තරුණ තරුණියන්ට ඒ අසරණියගේ වදන් පෙළ catch phrase එකක් වෙලාය.

ලෙනී බෲස් ට “Fuck” කීමේ අයිතිය වෙනුවෙන්ද, ලුවිස් සී.කේ ගේ ළමාඅපචාර විහිලු සම්බන්ධයෙන්ද, charlie hebdo සඟරාවට ආගමික නායකයින්ව උපහාසයට ලක් කිරීමේ අයිතිය වෙනුවෙන්ද පෙනී සිටියා සේම, ඒ අසරණ ගෘහ සේවිකාව අන්ත අසරණ තත්වයට වැටී සිටි මොහොතේ ඇගේ මුවින් නික්මුණ ඒ වදන් පෙළ කිංඩියට ලක් කිරීමට ඔබට ඇති අයිතිය වෙනුවෙන්ද පෙනී සිටිමි.

නමුත්,

අනෙකුන්ගේ දුක හඳුනා ගැනීමට උත්සාහ දරණා මනුෂ්‍යයෙකු වශයෙන් ඒ අසරණියගේ දුක් අඳෝනාව ආතල් ගැනීමට මාර්ගයක් කරගත් ඔබගේ ඒ සොමි ‘ජෝක්’ එකට විරෝධය දැක්වීමට මෙම කෙටි සටහන තබමි.

ඇයගේ කඳුළු වදන් තුළින් යම් රසයක් සොයා ගත් ඔබට ඒ කඳුළු රස විඳීමේ අයිතිය ලබා දෙන ගමන් ඔබේ ඒ ක්‍රියාව පිළිකුලෙන් බැහැර කිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

අවසාන වශයෙන් මේ වචන පොද ඔබ හමුවේ තබමි.

විසිඑක්වන සියවසේ තාක්ෂණය සහ සන්නිවේදනය අතින් අප එකිනෙකා කොයිතරම් ළං වෙලා යැයි අප සිතුවත් මානුෂීය හැඟීම් අතින් අප එකිනෙකාගෙන් කොයි තරම් ඈත් වෙලාද? එක ගොඩේ ජීවත් වුනාට අනෙකාගේ හැඟීම් නොදැනෙන්න තරම් අපගේ සහකම්පනය(empathy) ක්ෂය වෙලාද?

“කාලකණ්ණි දූපත් ජීවිත…
ඉපදෙනවා විතරයි. ඊට පස්සෙ කුණු වෙනවා…
මිනිස්සු ළඟ වැඩියි
ඒ හින්දම එකෙකුට අනිත් එකාව දැනෙන් නෑ.”

අනෙකාගේ දුක නොදැනෙන මිනිසුන් තුළ ඇති හිස්කම පිරවීමට කුමන ආගමටවත් කුමන විද්‍යාවටවත් කුමන දර්ශනයටවත් නොහැක.

මිනිස්කම මිය යන තැන එතනය...

*************************

ඉහත සටහන මා ලීවේ 2015 වසරේ නොවැම්බර් මාසයේදීය. අදාල ප්‍රස්තුතය කුමක්දැයි සටහන කියවීමෙන් ඔබට සක්සුදක් සේ පැහැදිලි ඇතැයි සිතමි.

ඉතිහාසය නම්, ගම්, තැන්, පුද්ගලයන් පමණක් මාරු වී නැවත නැවත සිද්ධ වෙමින් පවතියි. අනාගතයේදීද බොහෝ විට ඒ ආකාරයෙන්ම ඒ දේවල් නැවත සිදුවීමට නියමිතය.

එදාට, සයිබර් වෘකයන්ගේ උපහාසයට, විහිලුවට ලක් වන්නේ අද ඔවුන් සමඟ එක්වී ආතල් ගන්නා තමා නොවේවායි පතනවා හැර අපට කරන්නට යමක් ඇතැයි නොසිතමි.

එදාට ඔබට ආතල් එකටවත් 'සතුටින් ඉන්නකෝ සුදු මහත්තයෝ' කියන්නට කෙනෙකුන් නොසිටිනු ඇති. මන්ද, එවිට දැන් ආතල් එකක්ම වී ඇති සැනසුම් වදනේ ට්‍රෙන්ඩ් එක, වෙනම ආතල් ට්‍රෙන්ඩ් එකකින් replace වීමටද නියමිතව ඇති බැවිනි.
.

 
(ප/ලි – ඉහත පලකර ඇති මුල් සටහනේ “කාලකණ්ණි දූපත් ජීවිත” උපුටා ගත්තේ උදය සහ චින්තන ධර්මදාසගේ How I Wonder What You Are චිත්‍රපටයෙනි)

-සංජය ශ්‍රීකාන්ත්-

මම නැවතත් සංජය අයියගේ පෝස්ට් එකෙන් කොටසක් උපුටා දක්වන්නම්...

විසිඑක්වන සියවසේ තාක්ෂණය සහ සන්නිවේදනය අතින් අප එකිනෙකා කොයිතරම් ළං වෙලා යැයි අප සිතුවත් මානුෂීය හැඟීම් අතින් අප එකිනෙකාගෙන් කොයි තරම් ඈත් වෙලාද? එක ගොඩේ ජීවත් වුනාට අනෙකාගේ හැඟීම් නොදැනෙන්න තරම් අපගේ සහකම්පනය(empathy) ක්ෂය වෙලාද?

“කාලකණ්ණි දූපත් ජීවිත…
ඉපදෙනවා විතරයි. ඊට පස්සෙ කුණු වෙනවා…
මිනිස්සු ළඟ වැඩියි
ඒ හින්දම එකෙකුට අනිත් එකාව දැනෙන් නෑ.”

අනෙකාගේ දුක නොදැනෙන මිනිසුන් තුළ ඇති හිස්කම පිරවීමට කුමන ආගමටවත් කුමන විද්‍යාවටවත් කුමන දර්ශනයටවත් නොහැක.

මිනිස්කම මිය යන තැන එතනය...

(කලකට පෙර ලියූවක්)

No comments:

Post a Comment