Saturday, December 26, 2020

👉 සික් එක.... 👈


කොරෝනා භීශනය තදින්ම තිබී අවසන් වූ දෙවන සතියේම මා මාගේ ලැප්ටොප් එක සඳහා අවශ්‍ය උපාංගයක් සොයා මිලදී ගැනීමට ගියෙමි. ඒ බස් රථයක නැඟී කුරුණෑගලට ය. කුරුණෑගල යන නාමය ඇසූ සැනින් බහුතරයකට කුරුණෑගල වෙරළ තීරය මතකයට පැමිණියත් මා වැනි සුළුතරය නියෝජනය කරන්නන්ට මතකයට නැඟුනේ මහා විශාල ගල ය. මා මේ සිදුවීමට මුහුණ දුන් දිනයේ සිට මටනම් කුරුණෑගල කියූ සැනින් ගල නොව මතක් වෙන්නේ ලයිව් සෙක්ස් ය. එයට හේතුව  කුරුණෑගල බීච් සයිඩ් එක අයින දිගේ පාරෙන් මා හට ගමන් කිරීමට සිදු වූ නිසා බව මතක් කරන්නට කැමැත්තෙමි. එදින බැලූ බැලූ අත කපල්... කපල්... කපල්... ය. ඒ කපල් පිරි මාවතේ මා වැනි තනි පංගලමේ ගමන් ගන්නා දරුවෙකු දැඩි අසීරුතාවයකට පත් වීම ගැන ඔබට වටහා ගත හැකි වනු ඇත. විශේෂයෙන්ම අම්බානකට වලත්ත හිතක් හා හිතුවක්කාර ඇසක් හිමි මා පත් වන්නේ එසේ මෙසේ අපහසුවක නොවන බව ඔබට නැවතත් මතක් කිරීමට කැමැත්තෙමි. කටවල් කා ගැනීම්, කුක්කු දීම්, බෙලි හපා ගැනීම්, තුරුළු කර ගැනීම් වගේ විවිධාකාර දර්ශන දෙස මා කට අයාගෙන බලාගෙන මගේ ගමන ගියේ ‍ය. ඒ දඹුලු ලෙන් විහාරයේ චිත්‍ර දෙස බලමින් යන සිත්තරෙක් ලෙස ය... නැත. නැත...!  සැබැවින්ම මා බලන්න ඇත්තේ ගවයන් මිලදී ගැනීමට අපේ ගමට එන තම්බි මුදලාලි නිදැල්ලේ යන ගවයන් දෙස බලන අන්දමට ය. එනම් තම්බි හරක් බලන ලෙස ය....  එසේ බලාගෙන යන විට පය හැප්පි උඩ විසික් වී මා නතර වූයේ පෙම්වතියගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන නිදා සිටින පෙම්වතෙක් සිටින බංකුවක් අසලට ය. පෙම්වතිය පෙම්වතාගේ ඔළුව කොණ්ඩය පහුරු ගාමින් සිටී ය. දඹුලු ලෙන් විහාරයේ සිටින රිලවෙක් අනෙකාගේ උකුණෝ බලන අන්දම මට මතක් විය. මා පය හැප්පි ගැස්සි උඩ විසි වී නතර වන විටම අර ඔඩොක්කුවේ නිදාගෙන සිටි පෙම්වතත් උඩ විසික් වී නැගිට්ටේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ හෝ පියා පැමිණ ඇතැයි සිතා විය යුතු ය. ඔහු තක්බීරි වී සිටි ආකාරය අනුව එක්කො පොලීසියෙන් හෝ ඔහුගේ වෙන පෙම්වතියක් හෝ ඇයගේ වෙන පෙම්වතෙක් පැමිණ ඇතැයි බලාපොරොත්තු වී ඇති බව පෙනුණි.... එම නිසාම හොඳය... නැත්නම් මට අසන්න වෙන්නේ, "බිම බලාගෙන යනවා මනුස්සයෝ අනුන්ගේ ගෑණු දිහා බලන්නේ නැතුව" කියා ය.....
(කෙසේ වෙතත් ඊට සති දෙක්කට පසු කුරුණෑගල බීච් එක කපල් සඳහා තහනම් කරනු ලැබූ බව මට අසන්නට ලැබුණි...)

ඉතින් එදා මගේ වැඩේ කරගෙන, මිලදී ගැනීමට අවශ්‍ය වූ උපාංගය මිලදී ගෙන මම බස් එකට පැමිණියේ නැවත දඹුල්ල බලා ඒමට ය. කොළඹ - පොළොන්නරුව බස් එකක් පැමිණි නිසාම මම එයට ගොඩ විය. කොරෝනා භීශනය නිසාමදෝ බස් රථයේ ආසන බොහෝ හිස් වී තිබිණි. මගේ ප්‍රියතම ආසනය වූ බසයේ පිටුපසම දකුණු පැත්ත ආසනය හිස් වී තිබූ නිසා මම සතුටින් එහි වාඩි වී ගමනට සැරසිනි. 

දුර ගමන් බසයක නැඟී ට්‍රැෆික් නැති හොඳ කාපට් පාරක පිටු පසම අසුනේ ජනේලය අසල සිට ජනේලයෙන් පිටත බලාගෙන යෑම තරම් වින්දනයක් තවත් නැත. ඊට සමාන කිරීමට හැකි වෙනත් වින්දනීයත්වයක් මට ගලප ගන්නත් බැරිය... ජනේලයෙන් එන සුළඟ, ජනේලයෙන් පේන දේවල්, පාරේ දකින්න ලැබෙන ලස්සන කෙල්ලන් මොහොතකින් නැති වෙන එක, බස් රථයේ වේගය එක්ක හැදෙන ශබ්දය, ඔය අතරට ආසම ටයිප් එකේ සිංදු ලිස්ට් එකක් ප්ලේ වෙන එක, වගේ ලැබෙන දහසක් ප්‍රතිලාභ අතර මම ආසම එක "කිසිවෙකුගෙන් බාධාවක් නැතුව හුඳකලාව විදින්න ලැබෙන එක" ය....  ඒ තනියම මනෝ ලෝකෙක පාවෙමින් සිතමින් අනාගතය ප්ලෑන් කරමින් යන්න ලැබෙන එක ය... හිතන්නයි හිතෙන්නයි මේ තරම් උත්තේජනයක් ලැබෙන තැනක් තවත් නැතිය. එහෙම හිත හිත නින්දට යෑමට මට හැකිය. මම ආසම ඒකට ය. මට එදා සිතීමට දේවලුත් තිබිණි. ඒ භාතිය සර් ඇතුළු සැට් එක සමඟ මීටින් එක්කට සහභාගි වීම ගැනය.... මම යන විදිහ, පාර හොයා ගන්න විදිය, හැසිරිය යුතු විදිහ, කට පරිස්සම් කර ගත යුතු විදිහ(නිහඬ විය යුතු), ඩීසන් විය යුතු විදිහ, වගේ හැම දෙයක් ගැනම හිත හිත ගියේ ලොකු උන් සෙට් එකක් හම්බෙන්න ලැබෙන චාන්ස් එක ගැන සතුටු සිතිණි.... 

මද දුරක් පසු වන විටම මගේ ආතල් කුඩු වෙන සීන් එක පැමිණ මා අසල වාඩි විය. ඒ අවුරුදු 50-60 අතර කාන්තාවකි. මා පුරුදු පුහුණු කළ අංග ලක්ෂණ විද්‍යාවට අනුව ඈ රජයේ සේවිකාවක් විය යුතු ය. බොහෝවිට ගුරුවරියක් විය හැක. එසේම තරමක් ධනවත් අයෙක් විය යුතු ය. මා එලෙස නිගමනය කරේ ඈ ඇද සිටි සාරිය, සාරිය සුදු පාටට හුරු වීම, ඇද සිටි ආකාරය, කොණ්ඩය පීරා ඇති ආකාරය, අතේ ඇති ඔරලෝසුව, කරේ ඇති රත්තරන් පාට මාලය, පොත් පත් කීපයක් එළියට ඉස්සී තිබූ හෑන්ඩ් බෑගය, සමඟ වතුර බෝතලය නිසා ය. නිතැතින්ම යොමු වන මගේ ඇස් විසින් ඒ දත්ත පරික්ෂා කර මොළය දත්ත විශ්ලේෂණය කර සම්පූර්ණ වාර්ථාව මට ලබා දීමට ගියේ ඇය පිටුපස දොරෙන් බයසට නැඟී මා සිටි පසු පස ආසනයට ආසන්න වීමට පෙර නිසා ම සැමටම මා නිතරම බෙදන සුහදශීලි සිනහවෙන් ඇයටත් සංග්‍රහ කලෙමි.... සමහරවිට වරද්ද ගත්තේ එතනින් විය හැකි බව පසුව හිතුණි...

මගේ සුහදශීලි සිනහවෙන් පසු සුහදත්වය පිළිගත් ඇය මා සමඟ කතා කරන්න පටන් ගත්තේ මගේ හුදකලාව උස්සා පොළවේ ගසා ය. ඇය ගුරුවරියක් බව මට පවසා මගේ නිගමනය තහවුරු කරන ගමන්ම මගේ විස්තර ඇසීමට පටන් ගතිමි. මා ගැන අසන කාට උනත් අම්බානකට බොරු කීම මගේ ස්භාවය නිසා මැයටත් එසේ ය. මා ඉන්නේ කොහෙද ? යන්නේ කොහෙද ? කරන්නෙ මොනවාද ? අම්මා තාත්තා කරන්න මොනවාද ? ආදි නොයෙක් ප්‍රශ්න ඇය අසනවා පමණක් නොව මට උපදේශත් අම්බානකට දීමට පටන් අරන් ඇත. ඇය ගැනත් විස්තර කීමට පටන් ගෙන ඇත. ඒ විතරක් නොව, ඇය සමාජීය ප්‍රශ්නත් මා සමඟ කතා කිරීමට පටන් ගෙනය. "කොරෝනා හමුවේ ජන ජීවිතය" මැයෙන් ඈ කතාවක් කරන අතරම මගෙනුත් අදහස් විමසන්න අමතක නොකරන නිසා මට එපා වීය....  මැය පැමිණීමට පෙර සිටම ටී.එම්. ජයරත්න මහත්තයාගේ ලස්සන සිංදු නන්ස්ටොප් එකක් ප්ලේ වීම නිසා ඒ වින්දනය විදිමින් ඒ සංගීතය විදිමින් සිටි මට මේ සංවාදය දැන් එපා වී ය..... ටී.එම්. ජයරත්න මහත්තයාගේ කඩහඩ, ඒ සිංදු වල සංගීතය, පද රචනය මාව සෑම විටම වෙනම ලෝකෙකට ගෙන යෑමට සමත් ය. මට නිදිමතත් දැන් ඇවිත් ය. ලාවට නින්දත් යයි.... ආය ඇහැරෙයි. "ඇති ගෑණියේ ඔය කට පොඩ්ඩක් වහගනින්කො...!" කියා කීමට සිතුනත් මට එය කිරීමට නොහැකි ය. එහෙම සිතුන හැම වෙලාවකම මම සිනා මුහුණ පෙන්නාගෙන ඇය කියන එක අනුමත කිරීමට සේ ඔළුව වැනී ය. මම මාස හයකට අධික කාලයක් කොණ්ඩය වවාගෙන සිටි නිසා හෙන කොණ්ඩයක් ඒ දිනවල තිබිණි... මාස්ක් එක දාගෙන නිසා මාව අදුර ගැනීමටත් බැරිය...  ආය ආය මට නින්ද යන්න ගත් නිසා ඈ මගේ නින්ද ගැන කතා කිරීමට පටන් ගත්තා ය.

"හරියට නින්ද යනවා නේද ?" ඒ ඇය යි.

එවිට මා "ඔව් බෙහෙත් බීලනේ ඉන්නේ. ඒකයි. බෙහෙත් වලට." කියා තවත් බොරුවක් කීය....

එවිට ඈ "බස් වල යනකොට බොන වමනේ පෙතිද ? එව්වනම් බොන්න හොඳ නෑ. නැත්නම් සෙමට වගේ බෙහෙත් බොනවද ? එතකොට තමයි නිදි මත එන්නේ. ඇයි බෙහෙත් මොනවටද බොන්නේ ?" ලෙස කියාගෙන ගොස් ප්‍රශ්නාර්ථ මූණෙන් මා දෙස බලා සිටී ය. 

එවිට මා "කුඩු සික් එකට" කියා කෙටි පිළිතුරක් දුන්නත් ඇයට එය නොතේරුන නිසා ආය මම මෙසේ කී ය...

"කුඩු ගහන්න නැති නිසා සික් වෙලා ඉන්නේ. සික් එකට මේ බෙහෙත් බීලා ඉන්නේ."

ඇය මා දෙසත් මාගේ කොණ්ඩය දෙසත් මගේ ඇදුම් විලාශය දෙසත්, ගිය අවුරුද්දේ උදැල්ලට කෙටී නියපොත්ත ගැලවුන කකුළේ මහපට ඇඟිල්ල දෙසත්, මඩ දූවිලි වලින් සුදු පාට උනු පොල් ගහ ලකුණ බාටා දෙක දෙසත් උඩ සිට පහලට බලාගෙන ගොස් අහක බලා ගත්තේ ය... ආය කතා කරේම නැත. 

මම නිදහසේ නිදා ගෙන ඇහැරී බලන විට ඇය වෙනත් අසුනකට ගොස් ය...

#අකිල


No comments:

Post a Comment