Saturday, December 26, 2020

👉 බකමූණේ ගෝත්‍රිකයෝ ඉන්නවද.... 👈


       අද බකමූණ ප්‍රාදේශීය සභාවේ ඉදිරි යකඩ වැට ඉවර වෙන තැන, ජී පී එස් පාර කියලා හදුන්වන පාරේ කෙලවරක මට යාළුවෙක් හම්බ උනා.. ඒ අහම්බෙන්.... මාස ගානක් එකටම හිටපු යාළුවෙක්. අහම්බෙන් අද මාස තුනකින් විතර හම්බුනේ.... මට වඩා වයසින් වැඩි මේ කෙල්ල මගේ සහෝදරියක් තරම් සමීප කෙනෙක්.... ඉතින් දැක්ක ගමන් මම බයික් එක අයිනේ නතර කරලා බයික් එකෙන් බහින්නෙවත් නැතුව කතා කරේ ඉක්මනින් යන අදහසින්. "අඩෝ කොහෙද යන්නෙ ?" කියන ප්‍රශ්නෙ තමා දෙන්නම මුලින් ඇහුවේ...

              ඉතින් අපි සෑහෙන්න කාලෙකින් හමු උනේ.. මගේ යාළුවා හිටියේ ප්‍රශ්නෙකින්. ඉතින් "අකිල මම පොඩි ප්‍රශ්නෙකින් ඉන්නේ බන්..!මට විසදුමක් දීපන්..!" එහෙම කියලා මගේ යාළුවා එයාගේ ප්‍රශ්නේ මා එක්ක කිය කිය හිටියේ... ඉතින් මිනිහෙක් ප්‍රශ්නයක් කියනකොට සාමාන්‍යය මිනිහෙකුගේ හැසිරීම තමයි අපි දෙන්නගෙත් තිබුනෙ. ඒ හැසිරීම කිසිම ලෙසකින්වත් අසංවර හැසිරීමක් විදිහට නම් කරන්න බෑ.. මගේ යාළුවගේ ඇස් වල ලාවට කදුළුත් තිබ්බා මට මතකයි.

          එක පාරටම වීල් එකක් ආවා. මහත කළු පුද්ගලයෙක් හිටියේ. එයාගේ වම් අතේ ඇඟිලි තිබ්බේ නෑ මම දැකපු විදිහට. මම ඒත් කල්පනා කරා මෙයා වීල් එක එලවන්නෙ කොහොමද කියලත්. 

      ඒ පුද්ගලයා :- "ඔයාලට කතා කරන්න ඕනිනම් ගෙවල් වලට ගිහින් කතා කර ගන්න. තැන් තැන් වල පාරේ කතා කරන්න එපා... ගෙවල් වලට යනවා. ගෙවල් තියෙනවනෙ. කියා ගන්න දෙයක් ගෙවල් වලට ගිහින් කියා ගන්නවලා.." (ඔය වගේ බැනගෙන බැනගෙන ගියා.මම හිතුවේ මගේ යාළුවගෙ ඥාතියෙක් කියලා. මම යාළුවගෙන් අහනකොට කව්ද කියලා එයා දන්නෙත් නෑ)

            මගේ යාළුවා :- "අපි මේ යාළුවො දෙන්නෙක් විතරයි. මෙතන වැරදි දෙයක් වෙන්නෙ නෑ. මේ මගේ යාළුවෙක්" 

           ඒ පුද්ගලයා :- ඒව මට වැඩක් නෑ. ගෙවල් දොරවල් නැද්ද ඔහෙලට. කත කරන්න ඕනිනම් ඒවට තැන් තියෙනවා" (ආයෙත් කෑ ගහනවා මේ මනුස්සයා මේක දෙක වෙන්න)

බැරිම තැන,

            මම :- "අනේ මාමා... අපි යාළුවෝ දෙන්නෙක් විතරයි. අනික මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නෙ ?. අපි දැන් හම්බුනා විතරයි."

        ඒ පුද්ගලයා :- "ප්‍රශ්නේ මොකද්ද අහන්නෙ මම පොලීසියේ ඉන්නෙ."(සමහරවිට ප්‍රශ්නේ ඒක වෙන්න ඇති) "මේ රජයේ ආයතනයක් ලඟ කතා කර කර ඉන්න බෑ.. මෙතන ඉන්නෙ නැතුව යනවා ගෙවල් වලට. නැත්නම් කතා කර කර ඉන්න වෙන තැනකට යනවා."

මම ලියන්න අරගෙන අවුරුදු තුනකට වැඩි.. ඒත් කවදාවත් මම පොලිස් නිළධාරියෙක් ගැන වැරද්දක් ලියලා නෑ... ඔහු පොලීසියේ ඉන්නේ කියල පොලිස් දෙපාර්තමේන්තුවම ඔහුගේ ආභරණයක්, ආයුධයක් කරගෙන නිකරුණේ අපිට විරුද්ධව පාවිච්චි කරපු නිසාම මමත් මගේ අහවලත් පොලීසියේ ඉන්නෙ මාමා කියලා කිව්වට පස්සේ,

    "පාරවල් වල කතා කර කර ඉන්න එපා කියලයි මම කිව්වේ" කිව්වා.

මම ඊට පස්සේ, "හරී. ස්තූතියි මාමා උපදේශයට. අපි දැන් යනවා" කිව්වට පස්සෙ තමයි ඒ පුද්ගලයා වීල් එක ස්ටාර්ට් කරලා ඇඟිලි නැති අතෙන් වීල් එකේ ජියර් දාගෙන යන්න ගියේ...

මම දන්නෙ නෑ ඒ පුද්ගලයා ඇත්තටම පොලීසියේ ද ඉන්නෙ කියලා... පොලීසියේ උනත් නැතත් මිනිස්සුන්ට තියෙන්න ඕනි සංවේදිතාවයක්. දෙදෙනෙක් අතර සිදු වන්නේ කුමක්ද කියා තේරුම් ගැනීමට හැකියාවක්. ඒකට වයස ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඒකට අවශ්‍ය හදවතක් විතරයි. මේ සිදු වීමෙදි අපිට බැන වැදුනු පුද්ගලයා මොන වගේ මානසික මට්ටමක හිටියද කියන්න මම දන්නෙ නෑ.. සමහරවිට ඔහු වෙනයම් හෝ දේක කේන්තියක් අපෙන් ගෙවලා දැම්මා වෙන්නත් පුළුවන්. නැත්නම් ඔහුට මගේ යාළුවා වගේ දුවෙක් ඉන්නවා වෙන්නත් පුළුවන්...

         ඒ මොනවා උනත් මට කියන්න ඕනි උනේ මිනිසත් බව ලැබූ ඔයාලා ටිකක් සංවේදී වෙන්න... අසල ඉන්න කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ එක්කම මට තවත් සිදුවීම් කීපයක් මතක් උනා. 

       දවසක් බස් හෝල්ට් එකේදි මගේ මිත්‍ර ගැහැණු ළමයෙක් විභාගේ ෆේල් උන එක ගැන මා එක්ක කිය කිය හිටියේ අඩන ගමන්.. ඇය මහන්සි උන විදිහයි ලැබුණු ප්‍රතිඵලය ගැනයි දුකෙන් කදුළු හලමින් ඉන්නකොට, එතනින් ගියපු මැදිවියේ කාන්තාවක් මගේ යාළුවා දිහා රවලා බලලා "මදන ගාය තියෙන්නේ මුන්ට දැම්ම ඉදලා..ඉදකින්" කියලා කියාගෙන ගියේ මටත් රවාගෙන... අපි දෙන්නටම හිතා ගන්න බැරි උනා ඒ මොකද උනේ කියලා. එදා හැබයි හොඳකට උනේ අඩමින් සිටි මගේ යාළුවට හිනා ගියපු එක...

          තව දවසක් පුස්තකාලයේ එළියේ බංකුවක ඉදගෙන ප්‍රේමයෙන් පැරදුන මගේ සහෝදරියක් අඩමින්, ජීවිතේ එපා කියමින්, සිටියදී ඇයගේ හිත හදන්න මා කතා කරනකොට, පුස්තකාලයේ මිස් කීවේ "මොකද ඔය දෙන්න ඔතන.. කතා කරන දෙයක් ඇතුලට ඇවිත් කතා කරගන්න. මිනිස්සු ඊළගට අපිට බනිනවා" ලෙසින් ය. (පුස්තකාලයේ මිස්ගේ වරදක් නැත. ඒකට හේතුව පාසල් ළමුන් පාසලේ නිළඇදුම් ඇදගෙන අසංවරව හැසිරෙන නිසා බවත් ඒ හේතුවෙන් මුළු පුස්තකාලය දිහාම මිනිස්සු බලන්නෙ මහා නරක තැනක් ලෙස බවත් මා දැන ගත්තේ පසුවය)

ඉතින් ඇත්තටම කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කර කර ඉන්නකොට උන් දිහා තම්බි හරක් දිහා බලනවා වගේ බලන්න එපා 🙏 උන් දෙන්නා විකෘති ලිංගික ආශාවන් ගැනවත්, ස්‍වයං වින්දනය ගැනවත්, සුරාන්තය ගැනවත් පාරට වෙලා කතා කරනවා කියලා හැම තිස්සෙම හිතන්න එපා 🙏  උන්ට ඇති ඊට වඩා ප්‍රශ්න., සමහරවිට ලෙඩක් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. සමහරවිට අම්මගෙ තාත්තා ගේ අසනීපයක් ගැන කතා කරනවා වෙන්න පුළුවන්. සමහරවිට විභාගයක් ගැන, ඉස්කෝලේ පාඩමක් ගැන කතා කරනවා වෙන්න පුළුවන්... ඉතින් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කතා කරනවා දැක්ක ගමන් අම්මටසිරි වෙන මැජික් එකක් කර ගන්න එපා ඒක... 🙏 

#අකිල
        
****** අද සිදුවීමත් එක්ක මට චමල් අකලංක අයියාගේ ලියවිල්ලක් මතක් උනා... ඇත්තටම ඒ ලියවිල්ලේ තත්වෙට මගේ මේ රටයි සංස්කෘතියයි මිනිස්සුන්ගේ ඔළුයි හැදෙන එක හීනයක් විතරක්ම වේවි... මේ පහලින් තියෙන්නේ ඒක...

රටක සංස්කෘතිය 
ආදරය තහනම් කරනවනං
ඒ සංස්කෘතිය කොහොමද දියුණු එකක් වෙන්නෙ...
රටක සංස්කෘතිය 
සිප ගැනීමක් අපරාධයක් විදිහට දකිනවනං
ඒ සංස්කෘතිය කොහොමද උත්කර්ෂයට නගන්න කියලා කියන්නෙ..
ආදරය කිරීම බිත්ති හතරකට සීමා කරගන්න කියනවනං...
මහ පාරෙ ඝාතනයකට වැඩිය සිප ගැනීමක් අපරාධයක් වෙනවනං...
ඒක යහපත් සංස්කෘතියක්ද..??
ආදරය වාරණය කරන, නොඉවසන තැනක් රටක් ද..?
ආදරය තහනම් උනාම එතන මිනිස්සු ඉන්නෙ කොහොමද..
මම අරාබියක ජීවත් වෙන්න ආස නැහැ.
අරාබියට තෙල් තිබ්බට අරාබිය අඳුරුයි තාම..
මිත්‍රවරුනි 
ඒ සංස්කෘතික අන්ධකාරය අපිට එපා...

නගරයක සිප ගන්නකොට දකින අයගෙ ඇස් වලට කඳුළු උනන්න ඕනෙ..
දෙයියනේ කොච්චර ලස්සන ආදරණීය හාදුවක්ද ඒක..  , දෙවනි ලෝක යුද්ධෙ ඉවර වෙලා දීපු හාදුව වගේ ඡායාරූපයකට එකතු කරගන්න හිතෙන, අනේ මුං ජීවිත කාලෙම ඔහොම ලස්සනට ඉන්න ලැබෙන්න ඕනෙ කියලා හිතන හදවත් ඕනෙ අපිට...
ආදරණිය හාදුවක් දෙන්න හිතුනම බයේ ගැහි ගැහි කුඩ යට අහුමුළු වල හැංගෙන ප්‍රේමවන්තයො වෙනුවට අත්පටල ගන්න.. වැළඳගන්න සිපගන්න ආයෙ වටපිට නොබලන්න ඕනෙ රටක් ඕනෙ අපිට..
ආදරය කරන යුවලක් දැක්කම කිරි කලයක් අරන් එන කාන්තාවක් උදේපාන්දර දැක්කා වගේ සුබ දර්සනයක් කියලා හිතෙන සංස්කෘතියක් ඕනෙ අපිට...
තරුණ වෙනසක් නැතුව මැදි වයසෙ මහළු වයසෙ යුවලක් උද්‍යානයක ඇවිදිනකොට ආදරෙන් තුරුළු කරගන්න පුළුවන් රටක් ඕනෙ අපිට..
බස් එකක කෝච්චියක වෙන වෙනම  ඉන්න යුවලකට තමන් ඉන්න තැන එක්ක ආසනය මාරු කරගෙන එක තැනක ඉඳගන්න ඉඩදෙන හදවත් ඕනෙ අපිට....

සංස්කෘතිය ලස්සන වෙන්නෙ ආදරයට ඉඩ දුන්නම.. ආදරය කරන මිනිස්සු ඉන්න සංස්කෘතියක් තමයි සංස්කෘතියක් වෙන්නෙ..
තමන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරය කරන මනුස්සයගෙ පපුවට තුරුළු වෙන්න දෙපාරක් හිතන්න ඕනෙ තැනක නිදහස කියන්නෙ මොන තරම් අප්පිරිය වචනයක්ද...
ආදරය අපරාධයක් වෙන රටවල්.. ආදරය හැංගිය යුතුය කියලා දකින රටවල්.. මොන සම්පත් තිබ්බත් අඳුරු අරාබියක් විතරයි..
ආදරය කරන මිනිස්සු ඉන්න රටවල් හරිම ලස්සනයි...
ආදරය නැතුව මිනිස්සු ඉන්නෙත් නෑ.. 
ආදරය නැති තැන් වල ඉන්නෙ අමනුස්සයො..
අමනුස්සයො ආදරය කරන්නෙ නෑ..
අපි මිනිස්සු වෙන්නෙම ආදරය කරන හින්දා..!!

(Photo - Getty immages)

(කලකට කලින් ලියපු එකක්)

No comments:

Post a Comment