Saturday, December 26, 2020

👉 ලෝකෝත්තරයෙකු නොවීමි - (ඒ.එම්.පී. පාදෙණිය) 👈


      තම ළමා දිවිය පදනම් කරගෙන වැඩිහිටි ලේඛකයකු නවකතාවක් ලිවීම සාහිත්‍යය ලෝකයේ නිතර සිදු වී ඇති දෙයකි. අපේ සාහිත්‍යයේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ "මඩොල් දූව" ඊට හොඳම උදාහරණයක් වේ. ලෝක සාහිත්‍යයේ ද මෙබදු අවස්ථා සුළබය. චාල්ස් ඩිකන්ස්ගේ "ඩේවිඩ් කොපර්ෆීල්ඩ්" "ග්‍රේට් එක්ස්පෙක්ටේෂන්ස්" වැනි නව කතාවලට පාදක වී ඇත්තේ කතුවරයාගෙම ළමා කළ අද්දැකීම් ‍යැයි විචාරකයෝ පවසති. 
       
        ඒ.එම්.පී. පාදෙණිය මහතා මෙම නවකතාවේදී, ඔහු තම ළමා දිවිය දෙස විවේචනාත්මකව බලන බවක් හෝ ඒ ගැන අටුවා, ටීකා, විවරණ, ආදිය සැපයීමක් කරන බවක් හෝ පාඨකයාට පෙනෙන්නේ නැත. එහෙත් ඔහුගේ ඉදිරිපත් කිරීම තුල කිසියම් විවරණයක් ගැබ් වී ඇති බව නම් පැහැදිලි ය. "මේ දේ එසේ සිදු උනේ ඇයි ?" යන අන්දමේ සියුම් දෘෂ්ටියක් ඒ සිද්ධිය විස්තර කරන විට ගැබ්ව ඇති බව පාඨකයාට වැටහෙනු ඇත. එහෙත් පාදෙණිය මහතාගේ දක්ෂතාවනම් ඒ විවරණයට ඉස්මතු වීමට ඉඩ නොදීමයි. එය සිදුවන බව පාඨකයාට නොපෙනෙන පරිදි තම කතාව ලියන්නට පාදෙණිය මහතා සමත් වී ඇත. 
      ඒ නිසා ඔහුගේ නවකතාව එහි අඩංගු විසිතුරු සිද්ධි නිසා ළමා හා ගැටවර පාඨකයන්ගේ හඳ බැදගන්නා අතර එහි යටින් දිවෙන සියුම් අරුත් නිසා වැඩිහිටි පාඨකයන් ගේ ද ප්‍රසාදය දිනා ගනී...

     #ලෝකෝත්තරයෙකු_නොවීමි (ඒ.එම්.පී. පාදෙණිය) කියෙව්වෙමි. ඇත්තටම පොතේ හැටියට පාලිත ලෝකෝත්තරෙකු නොවීය. නමුත් ලෝකෝත්තර ගති ගුණ පිරුණු අයෙකි. පොත කියවගෙන යනකොට, මැවුන, මතක් උන චරිත, සිදුවීම්, ප්‍රමාණය අති මහත්‍ ය. මගේ අත්දැකීම් සේම මා කියවපු දේ හා දැකපු දේවල් වලින්ද එය සමන්විත ය. ඒ.වී. සුරවීර මහතාගේ ගොදුරු ලොබ පොතේ "අපිටත් දවසක ඉර පායාදෝ" කෙටි කතාව වගේම මොනිකා රුවන්පතිරණ මහත්මියගේ "පියසේන ඇසූ ප්‍රශ්නයක්" වගේම ඉරාජ් මහතා පොඩි ළමයෙකුට පරිඝණකයක් අරන් දෙන වීඩියෝ ව ද ඔබටත් සිහියට එනවා නොඅනුමානය. 

එහි සමහර රස තැන්, වදන්, මතකේ සැමදා පවතී. මේ උපුටා ගැනීම බලන්න..

"අම්මේ අම්මේ අම්මේ, බූලව පිස්සු නරියෙක් හපලා" දතක අමාරුවක් නිසා මුළු රැය පහන් කළ අම්මා මේ කිසිවක් නොදත්තේ ඇයට නින්ද ගොස් සිටි නිසාය. "කිට්ටු වෙන්න එපා, උගේ හපලා කනෙන් ලේ පෙරෙන්නෙ. ඕකටත් විශ ඇවිල්ලා තියෙන්නේ. ආං ගිහින් බලන්ඩ බොරුද කියල අර වට වෙලා බලාගෙන ඉන්න එකා දිහා" ප්‍රේමාවතී ද ගොස් නරියා දෙස ස්වල්ප වෙලාවක් බලාසිට ආපසු පැමිණියා ය. 

"උඹ නේද ඌ මැරුවේ ? "

"අය අලියට පෑගිලා චූ ගියාද අහනවා" 

"උඹගේ හපන්න හැදුවේ නැද්ද ?"

"මොකද නැත්තේ ? ඌ හදනකොට මම බෙදලා ඉවරයි" පාලිත පොල්ල උස්සමින් කීවේ ය.  (116 පිටුව)

ලෝකෝත්තරයෙකු නොවීමි නම උවත් පොතේ නම මුළු කතාවෙම ලෝකෝත්තර යන වචනය පාවිච්චි උනේ එකම තැනකය.. ඒ, 

කිරි අම්මට හිනාව නවත්වා ගන්නට බැරි විය. "ඉතින් පැය දෙකක් විතර මූට වතුරෙන් එළියට එන්ඩ බැරි වෙලා. බඹරු ඔක්කොම ගිහිල්ලත් මූ මොකද ගොඩට එන්නේ නැත්තේ කියලා බලනකොට තමයි කාරණේ තේරුනේ. අනික් පාර අරුන් කාපු අමාරුවටයි, උදේම වතුරේ සීතලටයි මූට ජල සන්නිය හැදිලා මූ වැවේ ඉපිලෙන්ඩ පටන් අරන්. පස්සේ තමයි මිනිස්සු මූ ගොඩ අරගෙන තියෙන්නේ. ඌ මැරෙයි කියල තමයි ගොඩ අය කීවෙ !" 

         "ඔහොම ලේසියෙන් ඌ මැරෙන්නේ නෑ කිරිඅම්මේ. තව ඕකට විදවන්න තියෙනවා. " 

         "මෙව්වා ඔක්කොටම උඹට පිං. මතු මෛත්‍රී බුදුන් දැක උඹට නිවන් සුව ලැබෙන්ඩ ඕනි. ඒ උනාට මේ පුසුඹ සබන් කෑල්ලනම් මට එපා. අරං පලයං" 

        "ඕක ගාලා නාන්ඩ. එතකොට කිරි අම්මගේ ඇගෙනුත් සුවඳ පිට වෙනවා"

        "තුඃ විතරක් #ලෝකෝත්තරයා. මගේ දෑහට නොපෙනී පළ මෙතනින් යන්ඩ. මගේ යකා අවුස්ස ගන්නේ නැතුව"  (151 පිටුව)

ලෝකෝත්තරයා කියන වචනේ හොඳට නරකට දෙකටම පාවිච්චි කරන්නෙකි. බුදු ගුණයක් ලෙසත්, ගමේ ගොඩේ නසරාණියෙකුටත් මෙය යොදා ගනී... කියවලාම බලන්න. මේ ලෝකෝත්තරයා හොඳ එකෙක්ද නරක එකෙක්ද කියල......

2017/11/19

#අකිල

No comments:

Post a Comment