Monday, December 28, 2020

👉 බය... 👈


හේනේ පැලේ ඉන්නේ. තනියම. ඉතින් එක එක එව්වා හිතට එනවා. ඔහේ කල්පනා වෙනවා. එකක් ඉවර වෙනකොට එකක්. සමහර එව්වා එකට එක සම්බන්ධයි. ඒ අතර කිසිම සම්බන්ධයක් නැති එව්වත් හිතට එනවා... ඔහොම ටිකක් කල්පනා ලෝකේ ඉන්නකොට අතු කැඩෙන සද්දයක් ඇහෙනවා... එතකොට කල්පනා ලෝකේ බිඳිලා සුනු විසුණු වෙලා කල්පනා කර කර හිටියේ මොකක්ද කියලවත් හිතා ගන්න බැරි මූඩ් එක්කට එනවා.  ඉතින් ටෝච් එක අල්ලලා අලියද හරක්ද හොල්මනක්ද කියලා බලනවා.. අලි හරි හරක් හරිනම් ඌව එලවන්න ගන්නවා. එහෙම නැතුව  හොල්මනක් උනොත් ආය ටිකකින් කල්පනා ලෝකෙට වැටෙනවා. 

ඔහොම ඉන්නකොට මට හිතෙනවා මිනිහෙක් උනාම මොකකට හරි බය වෙන්න ඕනි කියලා. මොකකට හරි කියනවට වැඩිය ඒක හරියන්නෙ කාට හරිම කියලා කියනකොට. මං කියන්නෙ මිනිහෙක් උනාම කාට හරි බය වෙන්න ඕනි. අම්මට, තාත්තාට, අයියට, මල්ලිට, අක්කට, නංඟිට, ලව් කරන එකාට, කසාද බැදලා ඉන්න එකාට, හොර ගෑණිට, හොර මිනිහට, දෙයියන්ට, යක්කුන්ට වගේ මොකෙකුට හරි බය වෙන්න ඕනි කියලා. කාටවත් බය නැති මිනිහෙක් ? . ඔය "කාටවත් බය නැති මිනිහෙක්" කියනකොට මට ආය හිතෙනවා ඔය "කාටවත් බය නැති ළමයෙක්" කියනකොට ඒකෙ තියෙන බැරෑරුම් ගතිය පෙනේවි කියලා....

ඉතින් ඔහොම එව්වා හිතෙන ගමන් කාලේ ඔහේ ගෙවෙනකොට ආය අතු කැඩෙන සද්දයක් ඇහෙනවා... ආයෙමත් මොකෙක්ද කියලා ටෝච් එක ගහලා බලනකොට හරක්....  ඉතින් උන් එළවනවා...

ඊට පස්සෙ ටිකකින් වෙන මොකක් හරි වැදගත් නැති ඕපදූපයක් මතක් වෙලා ආයම මතක් වෙනවා, මොකෙකුටවත් බය නැති ළමයෙක් ගැන.... ඒ ළමයා මොන විදිහකට හැදෙයිද කියලා මට හිතෙනවා. බොහෝවිට වීරයෙක් වේවි. අපි පොඩි කාලේ ඉදන්ම බය නැති අයව දකින්නේ වීරයෝ විදිහට... 

එක්කෝ දුෂ්ඨයෙක් වේවි කියලත් හිතෙනවා... ආය මටම හිතෙනවා, වීරයෙක් උනත් දුෂ්ඨයෙක් උනත් වෙනසක් නෑනේ කියලා.... පිරිසකට වීරයෙක් වෙනකොට ඒ වීරයම තව පිරිසකට දුෂ්ඨයෙක් වෙන එක අනිවාර්යයි.. එහෙම නැත්නම් යම්කිසි කාලයකට වීරයෙක් වෙන වීරයා තව කාලයකින් දුෂ්ඨයෙක් වෙනවා... නිකම් රාවණා ඉන්දියාවේ අයට දුෂ්ඨයා වෙනකොට ලංකාවේ අයට වීරයෙක් වෙනවා වගේ දුෂ්ඨයාගෙයි වීරයාගෙයි වෙනසක් නෑ කියලා මට තේරුම් යනවා. වීරයෝ හා දුෂ්ඨයෝ තීරණය වෙන්නෙ අපි ඉන්න පැත්ත අනුව නේද කියලා මට ආය හිතෙනවා.... සරදියෙල් වීරයෙක් වෙන්නේ මම සිංහල පැත්තේ හිටිය නිසානේ. මම අනිත් පැත්තේ හිටියනම් සරදියෙල් කියන්නේ දුෂ්ඨයනේ....

බය නැති වැඩ කියලා හිතෙන වැඩ ගැන තාත්තා කිව්වේ මෝඩ වැඩ කියලා. මෝඩකමට කරන වැඩ කියලා. මුලින් මට ඒක තේරුනේ නෑ. හැබැයි කාලෙකට පස්සේ තේරෙනවා, බය නැතිව වීරයෝ වෙන බහුතරයක් මෝඩයෝ කියලා... බය නැතිව වලි වලට යන, බය නැතුව හොරකමේ යන, දඩයමේ යන, බය නැතුව වැරදි කරන, බය නැතුව අසික්කිතකම් කරන හැමෝම වගේ මෝඩයෝ කියලා දැන් තේරෙනවා..

වෙලාවකට බය නැතිකම තමයි මෝඩකම කියලත් හිතෙනවා. බය නැති උන් මෝඩයෝ කියලා තාත්තා කියන්න ඇත්තේ අත්දැකීම් වලින් වෙන්න ඇති. ජේ වි පි කාලේ බය නැති තරුණ අය ටයර් සෑයවල් වල හිටිය හැටි ගැන මම අහලා තියෙනවා.... අලියෙක් එලවන වෙලාවට බය නොවී අලියා එන පැත්තට දුවන කෙනෙක්ට අපි කියන්නෙ වීරයා කියලා නෙවේ. මෝඩයා කියලා.  ඉතින් මොකකටවත් බය නෑ කියලා කෙනෙක් කියනවනම් ඌ මෝඩයෙක් වෙන්න ඕනි. නැත්නම් කපටියෙක් වෙන්න ඕනි... 

හේනට මම තනියම එන එක ගැන දැන ගත්ත මිනිහෙක් මගෙන් ඇහුවේ, " ඔය කෑල්ලේ යක්කු හොල්මන් ඉන්නවා.. බය නැද්ද ?" කියලා... "මම හොල්මන් යක්කුන්ට තිබ්බ බය නැති උනේ මම දෙයියන්ට බුදුන්ට තිබ්බ බය නැති උන කාලේ... අනික දෙයියන්ට බුදුන්ට බය නැති එකේ හොල්මන් යක්කු ආවොත් යක්කු පට ගහන්න වෙන්නේ..." කියලයි මගෙ උත්තරේ උනේ.... 

ආය සද්ද... මට හෙන බයයි. ඒ අලිය එනවට. අලියට නෙවේ. ඌ ඇවිල්ලා කනවට. මම පැලේ ඉද්දිත් අලියා ඇවිත් කෑවොත් මට ඇති වෙන ලැජ්ජාවට... පැල් ඇවිල්ලත් රැක ගන්න බැරි උනොත් වස ලැජ්ජාව.... අනික මට නින්ද ගියොත් එහෙම කියලා ආය බයයි. ඇයි, ඒත් ලැජ්ජාව. පැලට ආවේ නිදා ගන්නද කියලා අහයි කියලා තියෙන ලැජ්ජාව බය....

ඔය ලැජ්ජාව ගැන හිතෙනකොට මට ආය හිතෙනවා මිනිස්සු වැඩියෙන්ම බය ලැජ්ජාවට කියලා. මිනිස්සු ලැජ්ජා වෙන්න බයයි. සමහරවිට මිනිස්සු මිනිස්සු විදිහට ඉන්නෙත් ඔය ලැජ්ජාව නිසාම වෙන්න ඇති. දේව ධර්ම විදිහට ලැජ්ජාව සහ බය නම් කරපු එක කොච්චර උචිත ද කියලා හිතෙනවා ආයම මට. හිරි සහ ඔතප්....

බය නැති එකා මෝඩයා උනාට ලැජ්ජා නැති එකා මෝඩයා වෙන්නෙ නැතුව ඇති කියලා හිතෙනවා. "බය නැද්ද ?" කියලා ඇහුවම උත්තරේ නෑ උනාම වීරයෙක් වගේ උනාට "ලැජ්ජා නැද්ද ?" ඇහුවාම උත්තරේ නෑ උනාම වසලයෙක් වෙන්නයි වෙන්නෙ...
ඔහොම හිතනකොට තව හිතෙනවා දිගට දිගට. කරන්න දේකුත් නෑනේ කළුවරේ. හිතන එක ඇරෙන්න. මෙහෙමයි,  ඔය "ලැජ්ජාවට තියෙන බය" වගේ නෙවේ "බයට තියෙන ලැජ්ජාව"... දෙක සම්පූර්ණයෙන් දෙකක්...

බය නැති එකාව නිර්භීත කරලා ඔටුණු දානකොට බය ඇති එකාව බය ගුල්ලා කියලා නෙරපලා දානවා... එතකොට ලැජ්ජා නැති එකාව වසලයා කියලා පිටුවහල් කරනවා... මට ආය හිතෙනවා ඔය බය නැති එකාට ඔටුණු දාලා වීරයෙක් කියලා උලුප්පන්නෙම ඌව මෝඩයා කරලා වැඩ ගන්න දෝ කියලා. මට මතක් වෙනවා "බය වෙන්න එපා මචන් අපි ඉන්නවා" කියලා මාව ඉස්සරහට තල්ලු කරපු යාළුවෝ. උන් කියපු නිසා බය නැති කරගෙන වලි වලදි එහෙම ගමකට කාපුවා මතක් වෙනවා... එතකොට ආයම මට එන්නෙ ලැජ්ජාව... එක අතකට අපි ලැජ්ජා වෙන්න ඕනි තමයි කියලත් හිතෙනවා. ඇයි දෙයියනෙ මැදවච්චිය, අනුරාධපුරය, ගල්නෑව, බුල්නෑව, එප්පාවල, පොළොන්නරුව, මැදිරිගිරිය, අම්පාර,.... වගේ දුෂ්කර පළාත්වල දුප්පත් කොල්ලො කෙල්ලො දුප්පත්කම නිසයි, කරන්නම දෙයක් නැති නිසයි, ආමි එකට ගියාම උන්ව "නිර්භීත රණවිරුවණි...!" කියලා කඩේ යවලා පදක්කම් ගහලා උන්ගෙන් වැඩේ කර ගත්තු එකට...... මං කියන්නෙ දෙපැත්තෙම... කරන්නම දෙයක් නැතුව යුද්ධ කරපු දෙපැත්තෙම දුප්පත් අහිංසක අසරණ කොල්ලො කෙල්ලො "නිර්භීත" කියලා ලේබල් ගහලා උන්ව දාම් බෝඩ් එක්ක ඉත්තො වගේ පාවිච්චි කරලා නේද කියල හිතිලා, ඒ කාලේ අපි ඒවට ගෙදර ඉදන් හුරේ දැම්මා නේද කියලා හිතෙනකොට මටනම් ලැජ්ජයි වගේ....

කළුවරේ ඉන්නකොට හිතෙන විකාර....! එහෙම හිතලා ලැජ්ජාවෙන් බේරෙන්න ඕනි.... ඒක ලේසි ඔය විකාර හිතනවට වැඩිය. විකාර..... 

ආය සද්දයක් ඇහෙනවා... ටෝච් එක ගහලා බලන්න කම්මැලි. ඒත් බයයි ලැජ්ජා වෙන්න වෙයි කියලා....

ඒ බලලා ඇවිල්ලා ආය හිතෙයි මොන මොනවා හරි.......

#අකිල


5 comments:

  1. Replies
    1. මොකද යකු හිනා වෙන්නෙ ?

      Delete
  2. මේ ලියල තියෙන්නෙ මොනව වුනත් විකාර නම් නෙමේ 👍👍👍

    ReplyDelete
    Replies
    1. ඕක ඇත්තටම හේනේ පැලේ ඉද්දි ලීවේ

      Delete