Saturday, December 26, 2020

👉 දඟකාරි මං මද්දුම දෝණි... නුඹට අකීකරු නෑ අම්මේ.... 👈



දඟකාරි මං මද්දුම දෝණි...
නුඹට අකීකරු නෑ අම්මේ....

        ගීත සාහිත්‍යයේ සමහර ගීතවලට පුළුවන් සමාජයේ අපිට හැමදාම පේන කතන්දර, ජීවිත කතා, සාමාන්‍ය සිදුවීම් වල නොපෙනෙන වගේම අපි කවදාවත් නොබලන නොදැක්ක පැත්ත පෙන්වන්න. අපි හැමදාම දකින සාමාන්‍ය සිදුවීමක නොපෙනෙන  පැත්ත හරි අමුතුයි. හුඟාක් වෙලාවට මිනිස්සු අනිකව මනින්නෙ තමන්ට සාපේක්ෂව. සමාජයේ වැරද්දක් කරන මිනිහෙක් දිහා වැරදි කාරයෙක් කියලා බලනවට වඩා ඒ වැරදිකාරයා උන මනුස්සයගේ ඇහෙන් බලන්න පුළුවන්කම තිබිලත්, අපි කවදාවත් ඒකට උත්සහ කරන්නෙ නෑ, මොකද අපි ඒ තරම් කාර්යබහුලයි. හැබැයි අපේ කාර්යබහුල ජීවිතෙට මේ සමහර ගීත, පෙන්වනවා අපිට ඒ ජීවිත කතාවල නොපෙනෙන පැත්ත.

           දැන් කියන්න යන ගීතයත් එහෙම ගීතයක්. සාමාන්‍යයෙන් නිතරම ඇහෙන්නෙ නැති ගීතයක්. තව විදිහකට කිව්වොත් පරණ ගීතයක්. ඉතින් මේ ගීතය ලියලා තියෙන්නේ ලූෂන් බුලත්සිංහල.. ගායනා කරන්නේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ඒ සිසිර සේනාරත්නගේ  මියුරු සංගීතයට...

           මේ ගීතය මට හිතෙන හැටියට ලියවිලා තියෙන්නෙම අම්මලටයි දඟකාර දුවලටයි කියලා මට හිතෙනවා. මං යෝජනා කරනවා මේක ඒ දෙගොල්ලන්ටම අහන්න කියලා. ඉතාම හොදට... හෙමින් අහන්න... එතකොට මට හිතෙනවා දුවටත් අම්මව ටිකක් වෙනස් වෙනස් විදිහකට තේරේවි.. අම්මටත් දුව  ගැන නිකම් වෙනස් විදිහට බලන්න හිතේවි. 

         ඉතින් සාමාන්‍යයෙන් මම වෙනදා ගීතයක් ගැන කියනකොට වගේම අදත් මේ ගීතය එක්ක මම දැකපු කතාවක් සම්බන්ධ කරනවා. මේ කතාවේ ප්‍රධාන චරිතය මෙතැන් පටන් මම "මල් කුමාරි" නමින් හදුන්වනවා. (අමතර දැනුමට - එරන්දි කියන නමේ තේරුම මල් කුමාරි)

      මල් කුමාරී පවුලේ දෙවනියා. ඒ කියන්නේ මද්දුමයා. ගෙදර අය ආදරේට කියන්නේ චූටී අම්මී... මල් කුමාරීට ඉන්නේ අයියා කෙනෙක්. පොඩි කාලේ ඉදලම මල් කුමාරී හැදුනේ වැඩුනේ අයියා කෙනෙක් එක්ක... ඉතින් කොල්ලෙක් එක්ක සෙල්ලම් කරපු හැදුන වැඩුන කෙල්ලෙක් හැඩ ගැහෙන්නෙම කොල්ලෙක් විදිහට. සාමාන්‍යයෙන් පවුලක පළවෙනියා කොල්ලෙක් වෙලා දෙවනියා කෙල්ලෙක් උනාම ඒ කෙල්ල පොඩි කාලේ ඉදලම චන්ඩි කෙල්ලෙක්. මොකද රණ්ඩු වෙන්න ගහ ගන්න ඉන්නේ කොල්ලෙක්, ඒ වගේම මොන තරම් වැරදි උනත් දෙමාපියන් ගන්නේ නංඟිගේ පැත්ත. ඒ වගේම අම්මා තාත්තා අයියා මේ තුන් දෙනා වැඩියෙන්ම ආදරේ කරන්නේ මේ පවුලේ චූටි කෙල්ලට. නංඟිට. ඒ වගේම තමයි, පිරිමි ඇසුර පිරිමි ශරීරය කියන දේ ඒ වගේ කෙල්ලෙක්ට අමුතු හැගීමක් එන දෙයක් නෙවෙයි. පුතාව කරේ තියාගෙන යන තාත්තා දුවව කරේ තියාගෙන යන්නත් පොඩි කාලේ දෙපාරක් හිතන්නේ නෑ... 

        ඉතින් ඔහොම හැදෙන චූටි දුව, චූටි අම්මා, කාලයේ ඇවෑවෙන් ස්භාව ධර්මයේ නොනැවැත්විය හැකි සංසිද්ධියට මූණ දෙනවා. ඉතින් මේ ජෛව පද්ධතියේ මිනිස් ජීවියාගේ පැවැත්ම තහවුරු කිරීමේ ප්‍රධානම ක්‍රියාවලිය වන ලිංගික පරිණතියට මේ දුවත් පත් වෙනවා. ස්භාව ධර්මයේ නියමය මත සිදු වන ගැහැණු ළමයෙක් මේරීම යන කාරණය සිදු වීමත් සමඟම ටික කාලයක් ගියායින් පස්සේ මේ චූටි දුව වෙනස් වීම හෝ වෙනස් කිරීම ආරම්භ වෙනවා. අර සැර කෙල්ල, අයියා එක්ක ගහ මරා ගත්ත පොර අල්ලපු කෙල්ල, දුවපු පැනපු ගස් නැගපු කෙල්ල, බයිසිකල් පැදපු, සෙල්ලම් කරපු, ඒ කොල්ලෙක් වගේ හිටපු කෙල්ල දැන් වෙනස් වෙන්න ඕනි. ඒක තමයි සම්මතය.... ඔය සම්මතය ඇතුලේ තියෙන්නෙම විවාහය කියන වෙළදපලේ ඉහල මිලක් ලබා ගැනීමට වැඩිහිටියන් හදපු නීති මාලාව....

          පොඩි කාලේ ඉදලා යකෙක්ව වගේ හදලා, ඒ කියන්නේ ඉල්ලන ඉල්ලන හැමදේම දීලා, හැම වැරදි වෙලාවකම එයාගේ පැත්ත අරගෙන, හිතුවක්කාර කරපු කෙල්ලට "ආ ඔයා දැන් ලොකු ළමයෙක්..! දඟ කරන්න එපා...!" කියලා කිව්වාම ඒකේ ලොකු අසාධාරණයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. අසාධාරණයි තමයි. අමාරු වැඩක් ඒ කෙල්ලටත් ඕක. හිතන්නකො ස්භාව ධර්මයේ සිදු වූයේ කුමක්ද කියාවත් තේරුම් ගත නොහැකි පොඩි කෙල්ලෙක් ගැන... ඉතින් අමාරුවෙන් උනත් ඔය චූටි දුව, නැත්නම් මගේ කතාවේ මල් කුමාරී දග වැඩ වලින් ඈත් වෙනවා.... 

          හැබැයි ඉතින් දිගටම ඔය දඟකාරකම් සඟවගෙන ඉන්න බෑනේ... ආයෙත් ටික ටික කරන්න පටන් ගන්නවා. 9,10,11,12 පංති වලට වෙද්දි මේ දඟකාරකම දෝණිගේ වැඩි වෙනවා. මගේ කතාවේ මල් කුමාරිත් එහෙමයි. දඟකාරකම් වැඩි වෙනවා. එක එක ස්ටයිල් කරන්න හදනවා, සම්මතයට පිටින් යන්න හදනවා, අමුතු අමුතු සංස්කෘතින් වලට ඇලුම් කරනවා, එහෙන් මෙහෙන් ඇහිද ගත්ත දේවල් වලින් ජීවිතේ මනින්න ගන්නවා, අරක්කු සිගරට් බීලා බලන්න හිතෙනවා, ටැටූ ගහන්න හිතෙනවා, ඉතින් ගෙදර හුරතලී නිසා දෙමාපියන් කොච්චර දුප්පත් උනත්, අසීමිතව වියදම් කරන්නත් පුරුදු වෙනවා....

        ඔන්න ඔය අතරේ මගේ කතාවේ මල් කුමාරිගේ අම්මත් රට යනවා. හැබැයි ඒ හිතකින් නෙවේ. මේ මල්වර වෙලා ඉන්න ලමිස්සිව, ඒ කියන්නේ පවුලේ චූටි අම්මව ගෙදර අයියයි තාත්තායි එක්ක තනි කරන්නේ හිතේ ලොකූ ගින්දරක් එක්ක.... මොකද සමාජේ මිනිස්සු නපුරුයි. නරකයි. පොඩි දෙයක් වෙනකම් බලාගෙන ඉන්නේ, රස කතා කිය කිය හිනා වෙන්න... දුවට නරක නාමයක් ආවොත් වැරද්ද එන්නේ මේ අම්ම උඩට.. ඒ වගේම දුවට කරදරයක් උනොත් මේ අම්මට වෙන්නේ මැරෙන්න, මොකද මල් කුමාරි ඉපදුන දවසේ ඉදලම මවපු හීන කොච්චරනම් ඇත්ද... සමහරවිට මේ අම්මා මල් කුමාරිව දාල ඈත රටකට ගියෙත් මේ මල් කුමාරි වෙනුවෙන් මවපු හීන හැබෑ කර ගන්නම වෙන්න ඇති... 
           අම්මා වගේම ලොකූ ගින්දරක් එක්කයි තාත්තා වගේම අයියත් ජීවත් වෙන්නෙ... මොකද අම්මා මේ මල් කුමාරිව බලා ගන්න වගකීම වගේම අනන්ත විශ්වාසයක් තාත්තායි අයියයි මත පවරලා තියලයි ගිහින් තියෙන්නේ. ඒ වගකීමයි විශ්වාසයි ගොඩාක් බරයි. තාත්තෙක්ට දරන්න බැරි තරම් බරයි. හැබැයි මේ ගම්වල මිනිස්සු ශක්තිමත්.... මේ මල් කුමාරිව බලා ගන්නවා ඇහැක් වගේම... 

          හැබැයි දැන් ඔය අතරේ තව දෙයක් සිද්ද වෙනවා. මේ දඟකාර මල් කුමාරි වයසේ තියෙන නාබර හැගීම් එක්කයි වැඩෙන්නේ... මේ නාබර ගැටිස්සිගේ හැඩකාරකම දකින පිරිමි ළමයෙක්ගෙන් ඇයට යෝජනාවක් එනවා විතරක් නෙවේ. ගෙදරට හොරෙන් කරපු හිතුවක්කාරකමක් වගේ ඒ පළමු යෝජනාවම ආදරයක් කර ගන්න ඇය සමත් වෙනවා... හැබැයි හැංගි හැංගි වෙස් හැමදාම බදින්න බෑ...මේ මල් කුමාරි දඟකාරයි තමයි. ඒත් නුවණක්කාරයි.. ඒ දඟකාරකම වයසේ තියෙන ඇට්ටරකම. හැබැයි වයසින් පරිණත වෙනකොට ඇය තීරණය කරනවා ආදරයක් කියලා මේ කරන්නේ නාඩගමක් කියල.... ඉතින් මේ මල් කුමාරී මෙච්චරකල් රගපාපු ආදරය කියන නාට්‍යයට බායි කියලා තනිකඩව ජීවිතේ නිදහස විදින්න පටන් ගන්නවා.....

        වැරදි නොකරන මිනිස්සුන්ට තමයි කටකතා වැඩි පුර හැදෙන්නේ...තාම කොල්ලෙක් එක්ක යාළු වෙලා කියලා ආරංචියක් නැති උනාම හිනා වෙන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට හරි අමාරුයි. එහෙමයි මිනිස්සු. කාගෙන් හරි සතුටක් හොයනවා. මේ මල් කුමාරිගෙනුත් එහෙමයි. තරුණ වෙලා ලස්සන වෙලා හැඩට ඉන්න මේ හැඩකාරි නම කැත කර ගන්නේ නෑ. මොකද දැන් දෝණි ලොකුයි. හැමදේම තේරෙනවා. අම්මා දුක් විදින්නේ ඇය වෙනුවෙන් කියලා තේරුම් අරන් ඉන්න නිසා, අම්මගේ අභිමානයත් දැන් මේ දෝණි එහෙම නැත්නම් මල් කුමාරී කරට අරගෙන ඉන්නේ.... මල් කුමාරිට ස්භාවධර්මයේ ජෛව ක්‍රියාවලිය සමඟ සොදුරු මනස්කාන්ත පෙනුමක් ලැබිලා දැන් තියෙන්නේ. ඉතින් ප්‍රේම යෝජනා වලින් අඩුවක් නෑ. ඒ හැම යෝජනාවම නුවණක්කාර විදිහට ප්‍රතික්ෂේප කරන්න තරම් මේ මල් කුමාරී දක්ෂයි.... 

          මට මතකයි නිතරම මේ මල් කුමාරී මට කියනවා, "මගෙන් අහවලත් යාළු වෙන්න ඇහුවනේ.... අහවලත් පස්සෙන් එනවනේ.... අහවලත් මට ආදරේ ලු" කියලා එක එක අය ගැන. ඉතින් පොඩි ඉරිසියාවක් වගේ එකක් එක්කම මාත් ඔය කතා අහගෙන ඉන්නවා. ඔය අතරේ දවසක් මට මතකයි සල්ලි තියෙන ලස්සන කොල්ලෙක් ගෙනාපු යෝජනාවකට ඇය අකමැති කිව්වම මම ඇහුවා "ඌට හොදට සල්ලි තියෙනවා, ඌ ලස්සනයි, උඹට ඌ ගැලපෙනවනේ, ඇයි අකමැති ?" කියලා..... 
       එදා මගේ ඇග සීතල වෙලා ගියපු උත්තරයක් මට හම්බුනා.... "අකිල අයියා, මට ඕනි අම්මත් එක්ක ඉන්න, මට අම්මත් එක්ක ඉන්න ලැබිලා තියෙන්නේ ටික කාලයයි. අම්මගේ ආදරේ අම්මගේ උණුසුම මට තව විදින්න ඕනි, මට බයයි කොල්ලෙක් මගේ ජීවිතේ ට ඇවිල්ලා අම්ම පස්සට යාවි කියලා.. තව ටික දවසකින් අම්මා එනවා, ඒ ඇවිල්ලා අවුරුදු තුනක් විතර යනකම් අම්මගේ ආදරේ විදින්න ඕනි.. කොල්ලෙක් වෙනුවෙන් යොදවන කාලෙ අම්මා වෙනුවෙන් යොදවන්න ඕනි"..... අන්න ඔහොමයි මේ මල් කුමාරී කිව්වේ... ඒ කතාව ඇතුලේ කෑ ගහන කතාවක් මට ඇහෙනවා වගේ. ඒක අහපු මුළු දවසෙම මම ඒක ගැන කල්පනා කරා, එදා මගේ පපුව පුරා දුවපු දුකක් ද සතුටක් ද කියලා නොතේරුන හැඟීමක් තාම අදුරගන්න බැරිව තියෙනවා... ඒ ඇති උන ශොක් එක මේ ලියන මේ මොහොතෙත් දැනෙනවා මට......

         ඉතින් මල් කුමාරි ඔය වගේ හිතන පතන කෙල්ලෙක් කියලා පාරේ දකින, ඇසුරු කරන කිසි කෙනෙක් දන්නේ නෑ.. බඹරු මී මැස්සෝ මේ මල පිටිපස්සේ එන එක නතර කරන්නෙත් නෑ.. නමුත් කාලේ ගෙවෙනව, එතකොට කාලෙත් එක්ක මේ බබරුන්ව ගමේ ඕපාදූප කල්ලියට පේනවා... දකින්න ගන්නවා... මේ මල් කුමාරී වරදක් කරන්නේ නෑ තමයි, හැබැයි කට කතා කියන මිනිස්සු නවත්වන්න පුළුවන්ද... කට කතාවලින් දුවව බේර ගන්න තාත්තා ට කරන්න පුළුවන් එකම දේ දුවට තහංචි දාන එක... ඊට පස්සේ තාත්තා කරන්නේ මේ කටකතා ගැන දුර ඉන්න අම්මට කතා කරලා කියන එක.

          දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අම්මත් පුංචි පුංචි තහංචි දානවා. ගෙවල් ලඟ අයත් පොඩි පොඩි කතන්දර කියනවා. දැන් මල් කුමාරී ඒ කියන්නේ දුව අහනවා අම්මගෙන්, "මං අම්මේ ඔබට අකීකරු නෑ, මං අකීකරු වෙන්නෙත් නෑ"... හැබැයි 

"බක් මී මල වට බඹරු නටනවා..."
"වරද මලේ සුවඳ ද අම්මේ..." 

         දැන් මේ කතාව කියවන තරුණ උදවිය හොදටම දන්නවා ඇති ඉස්කෝලේ යනකොට මේ පාර දෙපැත්තේ කඩ මණ්ඩියේ බස් නැවතුම්පලේ ඉන්න මේ යෞවනයෝ ඇස් ගහනවා. විදුලි කොටනවා. එතකොට මල් කුමාරි අහනවා ඉතින් බක් මී මල වට බඹරු නටනවා, වරද මලේ සුවඳ ද අම්මේ... ඉතින් මං මොකද කරන්නේ. මගේ දිහා බැලුවාම මිනිස්සු මං එපා කියන්නද.. ෆේස්බුක් එකෙන් මැසේජ් කරන අයට බනින්නද... කෝල් ගන්න අයට, මැසේජ් කරන අයට, බනින්නද.... බයික් වලින් මගේ පස්සෙන් බඹරු එනකොට එන්න එපා කියන්නද.... මං එනකම් මග රැකගෙන ඉන්න බඹරුන්ට මෝටීන් ගහන්නද... මට කරන්න දෙයක් නෑ. එයාලා ඔහේ ආපුදෙන්, මාත් ලාවට හොරෙන් බලලා එයාලව අවුස්සනවද මං දන්නේ නෑ.... හැබැයි අම්මේ මං අම්මට අකීකරු නෑ. 
          
            ඉතින් දුර රටක ඉන්න අම්මා ඉමෝ වලින් කෝල් කරලා, අහනවා මොකද්ද චූටී අම්මී මේ කතාව...... ඔන්න එතකොට මේ මල් කුමාරී දැන් අම්මට හේතු කියනවා. 

 "යන එන අතරේ පාර දෙපැත්තේ.."
 "දොරින් දොරට ඇස් මුමුණනවා.."

ලූෂන් බුලත්සිංහල කියන පද රචකයා දැනට දශක දෙක්කට විතර කලින් කොච්චර ලස්සනට මේ රූපකය යොදා ගන්නවද... දොරින් දොරට කටකතා කියනවා නොකියා, ඇස් මුමුණනවා... ඒ කියන්නේ අර ලස්සන දුව යද්දි කේශාන්තයේ සිට පාදාන්තයටත්, පාදාන්තයේ සිට කේශාන්තයටත් බල බලා ඇස් වලින් මුමුණලා, දිවෙන් දිවට රස කතා කියනවා. ඒ ගොල්ලන්ටනම් මේ කට කතා රස කතා තමයි. මේ ලස්සන දුවට, මේ මල් කුමාරිට, පොඩි පොඩි කතා කියනවා. කොහේ යනවද දන්නේ නැ, පංති යනවා කියලා කොහේ යනවද දන්නෙ නෑ, බයික් එකේ හැමදාම කොල්ලෙක් ගෙනත් දානවා මොකාද දන්නේ නෑ (ඒ මං) මේ කෙල්ල ලස්සනයි.. ඒ වගේම තරුණයි. කටකාරයි. දැන් දුව අම්මගෙන් අහනවා,
 
"දිවෙන් දිවට රස කතා ගොතද්දී...."
"කට වට කොට වැට බදින්නදෝ අම්මේ..."

     ඉතින් බඹරු නැටුවට මල මොනවා කරන්නද, මං ඒ කටකතා කියන මිනිස්සුන්ගේ කට වට කරලා වැට බදින්නයෑ... 

         හැබැයි නොකියන කතන්දරයකුත් තියෙනවා. මේ දුව අම්මට ආදරෙයි. දඟකාර නෑ තමයි. හැබැයි මේ තරුණියක්. පොඩි කාලේ කොල්ලෙක් වගේ හැදුන වැඩුණ තරුණියක්. ආසයි කදු නගින්න, ඇවිදින්න යන්න, ඇලේ දොලේ පැනලා නාන්න, ගස් නගින්න, බයික් පදින්න, ඔය වගේ කොලු වැඩ කරන්න... මොකද මේ ඔතෑනි සබන් බෝල කෙල්ලෙක් නෙවේ... හැබැයි ඒවට අවසර ලැබෙන්නෙත් නෑ.....

          ඒ වගේම තමයි මේ දුව දැන් යෞවනියක්... තරුණ්‍යයේ හැගීම් දැනීම් උපරිමයට දැනෙන කාලේ. මල් කුමාරිට තියෙනවා අම්මට කියන්න බැරි කතාවකුත්...ඒ තමයි මගේ හිත රැහැනෙන් බදින්න බැරි බව ඇත්ත. හැබැයි අම්මෙ මේ කාලෙදි මගේ හිත මටත් කීකරු නෑ. හිත හීලෑ නෑ....හිත හරිම මුරණ්ඩුයි.. තැන තැන ඇවිදිනවා...එහෙ මෙහෙ හිත යන කාලේ... එක එක දේවල් වලට ආස කරනවා...
දැන් මල් කුමාරි අහනවා අම්මගෙන්, 

"මටම මගේ හිත කීකරු නැතිදා...."
"මුර සෙබලුන් මා රකින්නදෝ අම්මේ..."

       මාව රකින්න මුර සෙබලුන් දාන්න පුළුවන්. අයියට කියනවා, මාමට කියනවා, මස්සිනාට කියනවා, මාමගේ පුතාට කියනවා, පොඩ්ඩක් දුව ගැන බලන්න කියලා. ඒ වගේම තහංචි දානවා ඔන්ලයින් ඉන්න එපා, ෆේස්බුක් යන්න එපා, ඇවිදින්න යන්න එපා, ඔය එක එක විදිහට මුරකාවල් දානවා....

හැබැයි අම්මේ ශරීරයට මුරකාවල් බැන්දට, හිතට මුරකාවල් බදින්නේ කොහොමද... 

         අම්මලයි දුවලයි දෙගොල්ලම අහල බලන්න. අම්මට දුවටවත්,
දුවට අම්මටවත් හිතට මුරකාවල් දාන්න බෑ.......

දගකාරී මං මද්දුම දෝණි
ඔබට අකීකරු නෑ අම්මේ...

බක් මී මල වට බබරු නටනවා
වරද මලේ සුවදද අම්මේ...
දගකාරී මං මද්දුම දෝණි
ඔබට අකීකරු නෑ අම්මේ..

යන එන අතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් මුමුණනවා...
දිවෙන් දිවට රස කතා ගොතද්දී
කට වට කොට වැට බදින්නදෝ අම්මේ...

දහසක් වැට කොටු තහංචි බැන්දේ
මගේ හිත රැහැනෙන් බදින්නදෝ...
මටම මගේ හිත කීකරු නැතිදා 
මුර සෙබලුන් මා රකින්නදෝ අම්මේ....

ඉතින් ඔයා දුවෙක්නම් ශෙයා කරන්න අම්මට පේන්න... ඔයා අම්මා කෙනෙක්නම් ශෙයා කරන්න දුවට පේන්න.... 

හැමෝම ඔය සිංදුව එක පාරක් හරි අහලා බලන්න......

#අකිල

No comments:

Post a Comment