Saturday, December 26, 2020

👉 සියුරක් වගේ.... 👈


        මේක සත්‍ය කතාවක්. සත්‍ය පොලිස් කතාවක්. සාමාන්‍යයෙන් පොලීසිය හෝ පොලිස් නිළධාරියෙක් (හුඟාක් අය කියන විදිහට පොලිස් කාරයෙක්) ගැන කියනකොටම හුඟාක් මිනිස්සු බලන්නෙම අප්‍රසාදයෙන්. ඒක ඒ ඒ මිනිස්සු මූණ දීපු අත්දැකීම් හා දැකපු කියවපු අහපු දේවල් නිසා ඇති වෙන හැඟීමක් වෙන්නත් පුළුවන්... ඒ හැඟීම සාධාරණ ද අසාධාරණද යන්න ඔබම තීරණය කරන්න...

       මගේ කතාවේ කතා නායකයා තරුණයෙක්. තරුණ පොලිස් කොස්තාපල් කෙනෙක්. එදත් අදත් හෙටත් පොලීසියට හෝ හමුදාවට (LTTE එකට පවා) තරුණයෙක් බැදෙන පොදු එකම හේතුවක් තියෙනවා. සැමීගේ කතාවේ ඒක පැහැදිලිව තියෙනවා. මගේ කතා නායකයටත් ඒ හේතුවම බලපාන්න ඇති පොලිස් කොස්තාපල් කෙනෙක් වීමට. 

     පොලිස් හෝ හමුදා යුනිෆෝම් එකක් අදින්න මල් වගේ ගෙදර හැදුන සබන් බෝළ කොල්ලෙක්ටවත් කෙල්ලෙක්ටවත් කවදාවත් බෑ. ඉන්ටෙර්විව් පාස් වෙලා, ට්‍රේනින් කාලේ දරාගෙන ඉදලා, කන්න පුළුවන් තරම් කට්ටක් කාලා තමයි සාමාන්‍යය මිනිහෙක් ඔය යුනිෆෝම් එක අදින්නෙ. පොලිස් කාරයා ආමි කාරයා කියලා, මිනිහෙක් කියන්න තියා හිතන්නෙවත් නෑ නිළධාරියෙක් ඒ ඇදුම අදින්න කරන කැප කිරීම දන්නවනම්. (යුනිෆෝම් එකක් දකින සෑම මොහොතකම අමුතු ගරුත්වයයක් මගේ අභ්‍යන්තරයෙන් ඇති වෙන්නේ ඒ නිසාම විය හැකියි)

      ඉතින් මගේ කතාවේ මේ තරුණ නිළදාරියත් අනිත් නිළධාරීන් වගේම දුප්පත්කම එක්ක ඉපදිලා, ජීවිතේ එක්ක ගැටිලා, ලෝකෙත් එක්ක හැප්පිලා, සමාජෙන් ඉගෙනගෙන, පොලීසියට බැදිලා, ට්‍රේනින් ඉවර කරලා පොලිස් නිළධාරියෙක් විදිහට සේවයට එනවා... ඒ දුශ්කර ගැමි පළාතකට.

       ඒ පොලීසියේ රාජකාරි කරන මේ නිළධාරියට යන්න වෙනවා විශේෂ පැමිණිල්ලකට. ඒ නිතරම රණ්ඩු කරන ගෑණු කෙනෙක් ගැන අල්ලපු ගෙදර ගෑණු කෙනා කරපු පැමිණිල්ලක් විභාග කරන්න. මේ වෙනකොට පැමිණිලි 4ක් වගේම පැමිණිල්ල විභාග කරන්න මේ වෙනකොට පොලිස් නිළධාරීන් 4 දෙනෙක් අවස්ථා හතරකදි සැරෙන් සැරේ ඇවිත් තියෙනවා. ඒත් පොලීසියෙන් ඇවිත් ගියාට පස්සේ ආයෙත් රණ්ඩු කරන එකමයි සිදු වෙලා තියෙන්නේ. කවදාවත් ප්‍රශ්නේ විසදිලා නෑ....

      මේ නිළධාරියාට ඒ පැමිණිල්ල විභාග කරන්න ලැබුනු පසු ඔහු ඒ පිළිබද සොයා බලා කරුණු එකතු කරගෙන තියෙනවා. ඒ රණ්ඩු කරන අම්මගේ පුතා ගමේ කසාද බැදලා දරුවෝ දෙන්නෙක් හිටපු තවත් ගෑණු කෙනෙක් එක්ක පැනලා ගිහින් තියෙනවා. ඒකට උදව් කරලා තියෙන්නේ අල්ලපු ගෙදර ගෑණු කෙනා. ඉතින් මේ අම්මා ඒ අල්ලපු ගෙදර ගෑණු කෙනා දකින දකින වාරයක් පාසා කේන්ති අරගෙන රණ්ඩු කරන එකයි කරන්නෙ. 

     ඉතින් දැන් වගේ රජයෙන් ලැබුණු බයික් තියා බයිසිකලයක්වත් නැති මේ නිළධාරියා බස් එකේ ගිහින්, පයින් තව කිලෝමීටර් ගානක් ගිහින් තමයි මේ පැමිණිල්ල විභාග කරන්න ඒ නිවසට යා යුතු වන්නෙ. ගැමි දුෂ්කර පරිසරයක තියෙන මේ නිවසට යෑමට ඇලක් හරහා සපත්තු ගලවගෙන කලිසම උස්සගෙන පවා යා යුතුයි.. එහා ඉවුරට ගිහින් කකුල් වේලෙනකම් ගලක් උඩට වෙලා ඉදලා, සපත්තු දාගෙන ගිය බව ඔහුට තාම මතකයි...
            ගොවිතැනින් ජීවත් වෙන, දුෂ්කර මේ නිවස හොයාගෙන ආ මේ නිළධාරියා, නිවසට යා යුතු වන්නෙ පොහොර බෑග් වලට පස් පුරවා පඩි පෙලක් වගේ පෙලගස්වපු වැටියක් දිගේ. 

      ඉතින් මේ වැටිය නඟිනකොටම මේ නිළධාරියට ඇහෙනවා,

       "ඔන්න අදත් එනවා හුත්තිගේ පුතෙක් !" 

       ඒ නිවස ඉස්සරහා බිම ඉදගෙන ඉන්න රණ්ඩු කරන ගෑණු කෙනාගේ කටහඩ. එය ඉතාම හඩින් ඈ කිව ඇත්තේ මේ නිළධාරියට ඇසෙන්නමයි. ඒ අසලම ලී මැස්සක සිටි ඒ ගෑණු කෙනාගේ සැමියා පවා ඒ වචන ටික පොලිස් නිළධාරියා ට ඇසුන එක ගැන කම්පනයෙන් සිටි බවක් පෙනුණ නිළධාරියා, ඒ කිසිවක් ඇසුන බවක් නොපෙන්වා සිනාමුසු මුහුණිම නිවසට ගියේ, 

"මාර රස්සනයක් තියෙන්නේ නේද ?" අසමින්...

     ලී මැස්සේ ඉදගෙන සිටි ඒ සැමියා නිවසින් පුටුවක් ගෙන එන්න කියා දුවට කතා කර කීවත් එය ප්‍රතික්ෂේප කර මේ පොලිස් නිළධාරියා "මෙතන හොඳයි" කියමින් ලී මැස්සේම ඉද ගත්තේ දිග කතාවකට සූදානම් වෙලයි. තාමත් මේ රණ්ඩු කරන කාන්තාව තරුණ පොලිස් නිළධාරියා දිහා හැරිලවත් නොබලා, ගණන් නොගෙනම, කම්මුලට අතක් තියාගෙන රවාගෙන ඉන්නවා දුටු නිළධාරියා වෙන කතාවක් පටන් ගන්න වට්ටක්කා වැලක් හේතු කර ගත්තා.. ඒ වතුර එකක් ඉල්ලා එය බොන ගමන්....
    
        නිළධාරියා :-  "මාමා, වට්ටක්කා වැල පදුරු ගහලා නෑ නේද... දළු කඩන්නෙ නැද්ද ? 

        නිවැසියා :- "තාම නෑ..." (ඔහු එසේ කීයා ඇත්තේ, මේ නිළධාරියා වට්ටක්කා දළු ටිකත් කඩාගෙන ගෙදර යන්න ලෑස්ති වගේ පෙනුමකින්.)

        නිළධාරියා :- "අපේ පැත්තෙනම් පළවෙනි දල්ල කඩන්නේ මාස පෝය දවසේ, හිරමණ තලෙන්"  ඉපදුන දවසේ ඉදලා ගොවිතැන් කරපු, වගාවෙන් ජීවත් උන පොළොන්නරුව ප්‍රදේශයේ ජීවත් උන මේ නිළධාරියා ට වගාව ගැන තිබුනේ මහා දැනුමක්... 

        නිවැසියා :- "මහත්තයා ගොවිතැන් ගැනත් දන්නවද ?" පුදුමෙන් වගේ නිවැසියා අහනකොට අහක බලාගෙන රවාගෙන හිටපු ගෑණු කෙනත් පුදුමෙන් බලාගෙන මේ දිහා.

        නිළධාරියා :- "මාමා මම පොළොන්නරුවේ අහවල් දිහාවේ. මමත් මාමා වගේම දුප්පත් තාත්තා කෙනෙකුගේ දුප්පත් අම්ම කෙනෙකුගේ පුතෙක්. මාමා වගේම අපෙ තාත්තා ත් ජීවිත කාලෙම ගොවිතැන් කරපු මිනිහෙක්. මාත් ජීවිතේ පටන් ගත්ත දවසේ ඉදලා ගොවිතැන් කරපු මනුස්සයෙක්.." 

        මෙලෙසින් ගොවිතැන් ගැන, වගාව ගැන, දඩුවැට ගැන, හිටවලා තියෙන බෝග ගැන කතා කරමින් පැය බාගයකට වඩා මේ නිළධාරියා ගත කරපු නිසා මුලින් රවාගෙන කේන්තියෙන් හිටපු ගෑණු කෙනත් සාමාන්‍යය විදිහට හැසිරෙන්නයි ප්‍රශ්න අහන්නයි කතා කරන්නයි ගත්ත නිසා, නිළධාරියා පැමිණිල්ල ගැන කතා කරන්න ගත්තා, ඒ ඔව්න් අසල සිටි තරුණ දුවට ගෙට යන්න දුවේ ඔයා යැයි කියමින්.

      "අම්මා මම ආව හේතුව ඔයා දන්නවා ඇතිනේ. මම මේ ගැන සේරම හොයාගෙන ආවේ. පොඩ්ඩක් අපි ඒ ගැන කතා කරමුද තරහා ගන්නෙ නැතුව" 

කියමින් කතාව පටන් අරගෙන, පුතා පැනලා ගිය එක ගැන, ඔහු අම්මගේ පුතා බව, ඔහු ආපහු එන බව, ලිංගිකත්වය ගැන, ඒ ඒ වයසේ කරන මෝඩකම් ගැන, ඒ ගියපු පුතා අම්මා ගාවටයි ගෙදරටයි එන හේතු, වගේම ජීවිත කතා සිදුවීම් බණ කතා පවා පාවිච්චි කරලා ඒ ගෑණු කෙනාගේ හිත හදන්න මේ නිළධාරියාට පුළුවන් වෙලා තියෙනවා... 

      නිස්ශබ්ධව බිම බලාගෙන දුකෙන් සිටින මේ කාන්තාව දිහා තමන්ගේ ලොකු අක්කා සේ හිතා අනුකම්පාවෙන් බලපු මේ තරුණ නිළධාරියා,

    "අම්මා, මේ පැමිණිල්ල විභාග කරන්න ආපු පස් වෙනි පොලිස් නිළධාරියා මම. මම හිතන්නෙ නෑ අනිත් අය මේ වගේ කතා කරන්න ඇති කියලා. එහෙම කතා කරානම් මට එන්න වෙන්නෙ නෑනෙ.. ඒ වගේම මම හිතනවා ආයේ වෙන පොලිස් නිළධාරියෙක් ට මේ ප්‍රශ්නේ ගැන කථා කරන්න එන්න වෙන්නෙ නැති වෙයි කියලා...." 

කියපු නිළධාරියා මේ ගෑණු කෙනාගේ ඔළුව අත ගාලා,
       "මම ගිහින් එන්නම් අම්මේ... තෙරුවන් සරණයි..! කියනවත් එක්කම ඒ ඔළුවේ තිබ්බ අත මේ ගෑණු කෙනා අල්ලගෙන නළල මූණ දිගේ පහලට ගෙනත් නහය ගාවින් තියාගෙන ඉඹලා අඩන්න අරගෙන... 

      "අනේ රත්තරනේ...! මම කියපු එක ඇහුනද දෙයියෝ...!" කියලා කෑ ගහමින්..

     "මම අතනින් එනකොට කියපු එකද අම්මා" යැයි නිළධාරියා ඇසූ පසු තවත් හයියෙන් අඩමින් කෑ ගසමින් "මට සමාවෙන්න දෙයියෝ මට සමාවෙන්න..! කියමින් අඩන්න අරගෙන. ටිකක් වෙලා අඩමින් සිට, "කේන්ති ගියේ නැද්ද මම එහෙම කියනකොට පුතේ" යැයි ඇසූ පසු නිළධාරියා,

     "අම්මේ, මම පුහුණු වූ නිළධාරියෙක්. මම ඇදේ නිදා ගන්න එකේ ඉදලා, ඇදෙන් බහින එක දක්වාම පුහුණු නිළධාරියෙක්. මම ඇදෙන් බහින්නෙත් ඇද පිළිවෙලට හදලා, ඇද ඇතිරිල්ලේ නැම්මක්වත් නැති වෙන්න හදලා... ඉතින් අම්මා කියන දේකින් මට කේන්ති යනවනම් මගෙ ට්‍රේනින් එකෙන් වැඩක් නෑනෙ.. ඒක හරියටම මෛත්‍රී භාවනාව කරන, සිල් ගන්න අම්මා, කේන්ති ගන්නවා වගේ" යැයි පැහැදිලි කර ඒ ගැටළුව විසදා ඇත...

එදායින් පස්සේ කවදාවත් ඒ ගෙදර ගැන  පැමිණිල්ලක් ඒ නිළධාරියා ඉන්නකම් ඇවිත් නැත....

        මේ කතාව මට කීව පොලිස් නිළධාරියාගේ සර්විස් එක අවුරුදු 29ක් දැනට.... ඒ එක්කම ඔහු තවත් කතාවක් කීවා මට, ඒ කව්රුත් කියපු කතාවක්වත් කොහෙන්වත් කියවපු කතාවක්වත් නෙවේ. මේ අවුරුදු විසි ගානෙම ඔහු ඉගෙනගෙන හොයාගෙන ඔහුම හදපු නිර්වචනයක්....ඒක මෙහෙමයි...

යුනිෆෝම් එක සියුරක් වගේ.
ඒ කියන්නේ ඇදගෙන ඕනි ඕනි තැන්වල ඉද ගන්න බෑ...
හැබැයි ආසනයක් අනිවාර්යයෙන් ම ලැබෙනවා... 
ඇදගෙන ඕනි දෙයක් කරන්න පුළුවන්...
ඒ වගේම ඇදගෙන වැරදි කරන්න බෑ....
ඇදගෙන නරක වැඩ කරන්න පුළුවන් ඕනි තරම්...
හැබැයි සාමාන්‍යයෙන් ඇදුමක් ඇදගෙන නරක වැඩ කරනවට වඩා ඉක්මනින් අපායේ යනවා...
ඒ වගේම සියුරක් ඇදගත්තාම රෑ කෑම කැප කරනවා...
ඒ වගේමයි පොලිස් නිළධාරියෙක් තමන්ගේ නින්ද, කෑම, කැප කරනවා.....
ඒ වගේමයි ලෝකේ පිරිසිදුම  මිනිස්සු ඉන්නෙත් සියුරේ... 
ලෝකේ අපිරිසිදු ම මිනිස්සු ඉන්නෙත් සියුරේ.....

          පොලිස් නිළධාරියෙක් ගැන උඹලගේ අත්දැකීම් එක්ක උඹලට කියන්න එක එක කතා ඇති... හැබැයි මම යෝජනා කරනවා, එක අඹ ගෙඩියක් සවුත්තුයි කියලා මුළු අඹ ගස් සේරම කපන්න එපා කියලා..... උඹලා නොදන්නවා උනාට, ඒ අඹ ගස් වලින් හෙවණක් ලබන ගොඩාක් දෙනා ඉන්නවා....

#අකිල

ඡායාරූප ගත්තේ - MIYU Comics

No comments:

Post a Comment