Thursday, December 24, 2020

👉 මිනිස්සු ආසම තමන්ට නැති දේවල් වලට 👈


මිනිස්සු ආසම තමන්ට නැති දේවල් වලට කියලා මට වෙලාවකට හිතෙනවා..  ඒ වගේම තමන්ට බැරි දේවල් වලට.... සමහරවිට ඒ ලද දෙයින් සතුටු වෙන්න බැරි සීන් එක නිසා වෙන්න ඇති. ඒ වගේම ඉරිසියාව කියන සීන් එකත් හේතුවක් වෙන්න පුළුවන්. 

       ඉතින් මේ නැති දේවල් බැරි දේවල් පෙන්වන්න පුළුවන්නම් මිනිහෙක්ට, එතන අමුතු මාර ආතල් එකක් නැති වෙන්න විදිහක් නෑ. 
          මම දැකලා තියෙනවා ගමේ ඉන්න සමහර දුප්පත් කෙල්ලෝ පාරේ යනකොට යන්නේ මුළු පැත්ත පලාතෙම සුවද කරගෙන, හයි හීල්ස් දාගෙන, ලිප්ස්ටික ගාගෙන, සාමාන්‍යයෙන් පිටස්තරයෙක් දැක්කාම සෑහෙන්න පෝසත් පොෂ් කෙල්ලෙක් කියලා හිතෙන ටයිප් එකට... ඒ වගේම සමහර දුප්පත් ම කොල්ලෝ උනත්, ඒම මහා පෝසත් ටයිප් එකක් පෙන්වන්න අමුතුවෙන් රඟපානවා මම දැකලා තියෙනවා.... 
              සමහර අය මම දැකලා තියෙනවා හරියට හැසිරෙන්නේ "ඉන්නේ ටයිල් පොළවේ රෙන්නේ බාත් රූම් එකේ" ටයිප් එකට... ඒ කියන්නේ නිතරම ගෙදර අය ඉංග්‍රීසියෙන් කතා කරන, ගෙදර සිංහල පාවිච්චි කරන්නෙම නැති ශේප් එකේ ඉන්නේ, එයාලා අපි වගේ නාන්නේ නෑ වොෂ් දානවා. කන්නේ නෑ ඩිනර් ලන්ච් ගන්නවා... මළ ගෙවල් වල යන්නේ නෑ ෆියුනරල් යන්නේ... වැසිකිළි යන්නේ නෑ බාත් රූම් යන්නේ... කඩේ යන්නේ නෑ ශොපින් යන්නේ, කොටින්ම නුවර යන්නෙත් නෑ කැන්ඩි යන්නේ... 😂 
         ඉතින් ඕම කෙල්ලෝ වගේම කොල්ලොත් හම්බෙලා තියෙනවා. ඒ ඒ අයගේ ගෙවල් වලට ගියාම සතර පෙර නිමිති දැකලා  බුදු හාමුදුරුවන්ට සසර කළකිරිම වගේ සීන් එකක් අපිටත් වෙනවා. කටුමැටි ගැලවුන බිත්ති, ගොම ගැලවුන පොළව, ඉටිරෙදි ඉරිච්ච ජනෙල්, හුළඟට යන තහඩු, මල් පැලයක් නැති කාන්තාර මිදුලවල්..... එහෙම අයමයි අමුතු කැටයමක් කපා ගන්නේ. 

මේ කවි ගත්තේ හිස් අහස බ්ලොග් එකෙන් Chinthaka Sandaruwan ගෙ

තනිකඩ ජීවිතය මගේ දෙකඩ කරපු පෙම්වතී
මේ දුප්පත් මගේ හිතට දුක් දුන්නා දැන් ඇතී
අපි දෙන්නගෙ කතාව අද ලොවටම කීමට සිතී
කවියක් ලෙස ගලපන්නෙමි පදවැල් වල එති එතී

මතකයි මට අද වාගේ අප හමු වුණ මුල් දිනේ
ඇයයි මමයි හමු වුයේ තාර පාර මැද අනේ
එදා දැනුණු ආදර කඳ උපරිමේට ගිය තැනේ
එකතු වුණා අපි දෙන්නම පෙම් යුවලක් විලසිනේ

හදවත ලස්සන හින්දා මුලදී ඇයට ලං වුණා
පසුව ඇයට සල්ලි බාගෙ ඇති බව මට වැටහුණා
මම අල්ලපු ලොකුම අත්ත අත හරින්ට බැරි වුණා
මටත් හොරෙන් මම ඇයගේ සල්ලි වලට යට වුණා

සල්ලිකාර පෙම්වතියක් දෙවියන් මට ගිෆ්ට් කලා
එදින පටන් මම හිටියේ ඇයගෙන් දත ගලවලා
දාහෙ,සීයෙ කොළ ඇය මගේ අතේ මිටේ ගුලි කලා
ඇගේ මුදල් වලට ඉතින් මම තව තව පෙම් කලා

"තාත්ත උස් තැනක තමයි ජොබ් එක නම් කරන්නේ"
"අම්ම කළා කෘති හදමින් කාලය ගත කරන්නේ"
"අපේ ගෙදර තට්ටු හතයි" කෙල්ල ඉඳන් කියන්නේ
මේව ඇහෙනකොට කෝමද ඔකඳ නොවී සිටින්නේ ?

ඒ කෙල්ලගෙ මල් හිනාව මගෙ හද කුල්මත් කලා
හිඟන්නෙකුව සිටිය මාව රජෙක් බවට පත් කලා
ඇගෙන් ලැබෙන දීමනාව බෝතලේට වෙන් කලා
කාණු පල්ලෙ වැටි වැටි මම ජීවිතෙ සැලසුම් කලා

තුන් ලොවටම පෙනෙන ලෙසට මම කසාද බඳිනවා
ගලදාරී හෝටලයේ මගේ වෙඩිම ගන්නවා
හනිමුන් එක එංගලන්තෙ ජයටම සෙට් කරනවා
කාණු පල්ලෙ වැතිරීගෙන මමත් හීන මවනවා

සල්ලි කඳක් වුණත් එයා චාම් ලෙසයි ඉඳින්නේ
කාර් බාර් තිබ්බත් බස් එකේ තමයි අදින්නේ
ඇයට උරුම හැම දෙයක්ම මගෙ නමටලු ලියන්නේ
අම්ම අප්ප මට උඩින්ම කැමති බවත් කියන්නේ

කාර් බාර් හෙලිකොප්ටර් මගෙ කෙල්ලට තියනවා
සිගප්පුරුවෙ හන්දියෙ හෝටලයක් තියනවා
ඇයව බැන්ඳ දා මට ඔය සේරම ටික ලැබෙනවා
මම ඉඳගෙන මිතුරන් ළඟ පම්පෝරිය ගහනවා

සල්ලි නිසා අපෙ ආදරෙ ජයටම නැගලා ගියා
නැඟල ගියපු ඉක්මනටම ආයෙත් බැහැලා ගියා
අද බෑ හෙට යමු කියමින් මගේ හිතේ සැක තියා
ගෙවල් පැත්තෙ යං කීවම කෙල්ල ලිස්සලා ගියා

කෙල්ලගෙ නිවහන බලන්න මට දවසක් සිත් වුණා
ඇගෙ හැඳුනුම්පතේ තිබී ගෙදර ලිපිනෙ හමු වුණා
කේක් ගෙඩියකුත් අරගෙන මම ඉතින් පිටත් වුණා
ඇගෙ ගෙදරදි දුටුව දෙයින් මට නම් තරු විසි වුණා

මාමණ්ඩිය අමුඩෙ ගහං කිතුල් මලක් මදිනවා
නැන්දාම්මා මැටි අන අන කළගෙඩියක් අඹනවා
ගරා වැටුණු ගේ පොඩියක් අනේ එතන තියනවා
මගේ කෙල්ල බිම ඉඳගෙන පොල් අත්තක් වියනවා

තාත්ත රා මදින එකයි ජොබ් එකකට කරන්නේ
අම්ම වලං හදන ගමං ගඩොල් කැටත් කපන්නේ
පොල් අතු විකුණලාද මේ කෙල්ල සල්ලි හොයන්නේ.?
මේව දැක්ක මම කෝමද ජීවත් වී ඉඳින්නේ .?

දුප්පත් කෙල්ලකගෙ ලණුව මම කෑ බව වැටහිලා
මම හිටියා පිස්සෙක් වගේ විනාඩියක් ගල් වෙලා
මම තනාපු හීන ලෝකේ මාළිගාව සුන් වෙලා
මට ඇඬුණා අසරණ මගෙ අනාගතය සිහි වෙලා

මාව දැක්ක තැන කෙල්ලගෙ දෑස් බිමට බර වුණා
පැන්න ගමං කනේ පාර දෙන්නට මට සිත් වුණා
මාමණ්ඩිගෙ රා මුට්ටිය දෙස මගෙ නෙත් යොමු වුණා
රාකට්ටක් තොල ගාගෙන මම එතනින් විසි වුණා

පහුවදාට එළි වූ කල මට දෙවියන් සිහි වෙලා
හිඟන කෙල්ල සමග තිබුණු ලවු එක අමතක කලා
ගිය සතියේ පාර මැද්දෙ සෙනඟ හිටිය වට වෙලා
මම යන විට කෙල්ල එතන වහ බීලා මියැදිලා
-----------------------------------------------

             තවත් සමහර අය මම දැකලා තියෙනවා අමුතු අහංකාරකමක් හදා ගන්නවා. සාමාන්‍යයෙන් මිනිහෙක්ට ආඩම්බර වෙන්න හරි අහංකාර වෙන්න හරි සාධාරණ හරි හේතු තියෙනවා. උදාහරණයක් කිව්වොත් පෞද්ගලිකව මට හිතෙන හැටියට මොනරා අහංකාර වෙන එක සාධාරණයි...සිංහයෙක්, ව්‍යාඝ්‍රයෙක්, ඇතෙක් උනත් අහංකා‍ර වෙන එක සාධාරණයි. එතකොට අමුතු ලස්සනක් තියෙනවා. හැබැයි අහංකාර වෙන්න තමන්ට කිසිම දෙයක් නැති අය, දෙමාපියන්ගෙ රැකියාව හරි තත්වේ හරි අරගෙන අමුතු අහංකාරකමක් හදා ගන්නවා. ඒ ලෙවල් කාලේ ඒ වගේ දෙමාපියන්ගේ නම් වලින් අහංකාරකමක් හදා ගත්තු ගොඩාක් හිටියා. 

          මට හොදටම මතකයි සයන්ස් එකේ කෙල්ලෙක් ගැන. අමුතු ලස්සන මූණක්වත් කොණ්ඩයක්වත් නැති, අමුතු හැකියාවක් දක්ශතාවයක් නැති, ඒ කෙල්ලට හිනා උනාට කවදාවත් මට හිනා වෙලා නෑ ඉස්කෝලේ කාලේ. රවලා අහක බලා ගත්ත හැටි මගේ ජීවිත කාලෙම මතක තියේවි. (සමහරවිට මගේ හිනාව ස්ත්‍රී දූශක හිනාවක් වගේ ඒ කෙල්ලට පෙනුනද කියන්න මම දන්නේ නෑ...හැබැයි මම හිනා වෙන්නේ සාමාන්‍යයෙන් ඔළුව නමලා ගරු කරලා කියලා මාව දන්න අය දැකලා ඇති) මම වෙන කෙනෙක්ට මෙහෙම උනා කිව්වාම ඒ කොල්ලා කිව්වේ මට, ඒකිට හිනා උනේ ඇයි උඹ, ඒ අහවල් ##ගෙයි අහවල් ##ගෙයි දුව... එතකොට මට හිතුනේ "එතකොට ඒකිගේ ලොකුද ?"

        හැබැයි මම මගේ ජීවිතේ දැකපු පෝසත්ම කොල්ලා, එහෙම නෑ... එයාගේ ගෙදර අයත් එහෙම නෑ. පට්ට සරලයි. ඌ කවදාවත් බස් එක්ක ගිහින් නෑ. ඌ කවදාවත් පොඩි පොඩි කඩවල් වලින් කාලා නෑ... පොඩි පොඩි දේවල් මුකුත්ම නෑ. (කොටින්ම අතේ බැදගෙන හිටපු ඔරලෝසුවේ ගානත් 35000කට වැඩි..) හැබැයි මිනිහගේ කිසිම ලොකුකමක් මම දැකලා නෑ... කොටින්ම උගේ ලගින්වත් තියන්න බැරි මගෙන් ඕනි ප්‍රශ්නයකදි "අකිල මචන් මං දැන් මොකද කරන්නේ" කියලා අහන්න තරම් ඌ සරලයි... කවදාවත් අමුතු වෙන්න ගිහින් නෑ....

        ඒ වගේම මගේ ජීවිතේ දැකපු දක්ෂම අම්බානකට කට්ට කාපු කෙල්ල, ඒ වගේම ඒ ලෙවල් නිසා මට හම්බුන අයගෙන් මම වැඩියෙන්ම ගරු කරපු, කරන, වැඩියෙන්ම ආදරේ කරපු කෙල්ල... මම හිතන්නේ ඒ කෙල්ලට අහංකාර ආඩම්බර වෙන්න ඕනි තරම් සාධාරණ හේතු තිබ්බා. කිලෝමීටර් කීපයක් පයින් යන, ගෙදර කොල්ලෙක් කරන්න ඕනි වැඩ හැම එකක්ම කරන, (තීන්ත ගාන එකේ ඉදලා ගස් නගින එක දක්වාම) කුඹුරු වැඩ වල ඉදලා හැම වැඩක්ම කරන, ලස්සනට මිදුල පුරා මල් හදාගෙන ඉන්න, දවසට පැය දෙකක් තුනක් නිදාගෙන පුළුවන් හැම වෙලාවෙම පාඩම් කරන, හැමෝටම උදව් කරන කියලා දෙන, දිස්ත්‍රික්ක රෑන්ක් 01 වෙලා ලංකාවෙන්ම 14 වුන, නොදන්න දෙයක් නැති ඒ කෙල්ලට තරම් ආඩම්බර වෙන්න අයිතියක් ඒ ලෙවල් වල මම දැකපු කිසිම කෙල්ලෙක්ට නෑ කියලයි මට හිතෙන්නේ... හැබැයි කිසිම කෙනෙක් පිළිගන්නේ නැති වෙයි ඒ කෙල්ල දශමයක්වත් අහංකාරයි කියලා.... ඒ තරම් ඒ කෙල්ල අහිංසකයි නිහතමානි... (කොච්චර ද කියනවනම් විභාග ශාලාවේ පිටි පස්සේ හිටපු කෙල්ලට කියලා දෙන්න ගිහින් පරීක්ෂකට අහු වෙලා, ඒ පිටිපස්සෙ හිටපු කෙල්ල මෙයා තමා කියලා දුන්නේ කියලා පාවලා දුන්න එක ගැන කියලා අඩපු හැටිත්, එයා අඩන නිසා මට වගේම හුඟාක් ළමයින්ට ඇඩුන හැටිත් මතකයි මට)

        ඉතින් මං මුලින් කිව්වා වගේ මිනිස්සු ආසම තමන්ට නැති දේවල් වලට හා බැරි දේවල් වලට... හැබැයි නැති දේවල් තියෙනවා කියලා පෙන්වන්න වගේම බැරි දේවල් පුළුවන් කියලා වගේම, නොදන්න දේවල් දන්නවා කියලා පෙන්වන්නත් මිනිස්සු ඊට වඩා ආසයි.... ඒකට හුඟාක් මිනිස්සුන්ට වේදිකාවක් නැතුවයි ඉන්නේ. වේදිකාවක් නැතුව නළුවෝ වෙලා රඟපාන ලෝකෙක, වේදිකාවක් හම්බුනාම කොච්චර හොදට රඟපාන්න, කොච්චර හොද නළුවෙක් වෙන්න පුළුවන්ද නේද...

        හිතන්න ෆේස්බුක් කියන වේදිකාව. අර මං මුලින් කිව්ව විදිහට රඟපාන්නම හදපු වේදිකාවක් නෙවේද බලන්න... හැම තිස්සෙම නළුවෝ තමන්ගේ ජීවිතේ නැති පැත්තක් රඟපාන්න උත්සහ කරනවා. තමන්ට බැරි දෙයක් පුළුවන් කියලා පෙන්වන්න උත්සහ කරනවා. ඒකටම සෙට් වෙන වදන් පේජ් වගේම වදන් ගෲප් තියෙනවා නළුවෝ බිහි කරන්න බලාගෙන.... ඒවගේ වදන් පොටෝ වලින් තමන්ට නැති වගේම තමන්ට බැරි ජීවිතේ මිනිස්සු ගත කරනවා කියලා පෙන්වන්න හදනවා. උදාහරණ කිව්වොත් මම දැකලා තියෙනවා 

    * අම්ම කියන කිසිම දෙයක් අහපු නැති පැනලා ගියපු කෙල්ල, ෆේස්බුක් දාලා තියෙනවා "අම්මගේ ඇහැට කදුළක් දීලා මුළු ලෝකෙම සතුටු කලත් වැඩක් නෑ" කියල ඉඩිට් කරපු ගෲප් එක්ක පොටෝ එකක්...  

    *වටේම කෙල්ලෝ ඉන්න, ලෝක පැණියෙක් කියලා ඇත්ත ජීවිතේ ප්‍රසිද්ධ එකෙක් දාලා තියෙනවා "දුක හිතුනම, හිත රිදුනම කාත් එක්කවත් කතා නොකර සිංදුවක් අහන් තනියම ඉන්න එක මගේ පුරුද්දක් වෙලා" කියලා නැත්නම් "තනිකමත් ආශිර්වාදයක් ජීවිතේ ගැඹුරුම තැන් තේරුම් ගැනීමට" කියලා... 

    *කෙල්ලො අනාථ කරපු එකෙක් වගේම, අම්බානකට කොල්ලො ඉන්න කෙල්ලෙක් දාලා තියෙනවා "හිත දැන්වත් පිළි ගනින් එයා ගියා" කියලා

    *හිඟනකමට වෛර කරන ගමන්, තමන්ට නැති දේවල් ගැන හූල්ලන ගමන්, සල්ලි තියෙන අයට ඉරිසියා කරන ගමන් තව එකෙක් දාලා තියෙනවා "ලොකු මිනිස්සු සමාජෙට පේන්න වැඩ කරාට දැනෙන්න වැඩ කරන්නේ පොඩි මිනිස්සු මචන්" කියලා... ඌත් පොඩි මිනිහෙක්. කරපු ලබ්බක් නෑ... ඒ වගේම ලඟ ඉන්න එකාට කෙළවපු, ගුරුවරුන්ට කේලම් කියපු, අනිත් උන්ට කෙලවන්න බලාගෙන ඉන්න, සමහර උන් "සල්ලි නැති උනාට මේ දුප්පත් හිතේ මනුස්සකම උතුරනව බ්‍රෝ" කියලා දාලා තියෙනවා. උතුරනවනම් මට ටිකක් දියම් කිව්වාම උන්ගේ ෆැන්ටසිය බිදෙනවා වගේම උන්ගේ වටේ ඉන්න උන් ඉස්සරහා රෙදි ගැලවෙනවා. ඒකට බයේ මාව අන්ෆ්‍රෙන්ඩ් කරනවා... 😂

    *ගෙදරටම වෙලා මුකුත් නොකර ඉන්න සමහර උන්, "සතියේ දවස්වල MS EXCELL - සති අන්තයේ SERF EXCEL" කියලා දානවා...

    *ගෙදටම වෙලා හැදෙන, සීනි බෝළ කොල්ලොයි කෙල්ලොයි දානවා, "කන විදලා කොට කලිසම ඇදලා සෙරෙප්පු දෙක දාන කොල්ලට රස්තියාදුකාරයා කියන නිවට සමාජයක් බ්‍රෝ මේක" කියලා. එහෙම අදින එකාට, රණවිරුවා කියලද කියන්න ඕනි ඇහුවාම ඕන්න අන්ෆ්‍රෙන්ඩ් කරනවා... කොටින්ම උන් පංතියේ ඉස්සරහම පේලිවල ඉදලා ගුරුවරුන්ට මුට්ටි අල්ලපු, ගෙට වෙලාම හැදුන උන්... 

    *ආය ඇත්ත ජීවිතේ ලෝක බේබ්ද්දෙක් වෙලත්, ෆේස්බුක් එකේ, "අරක්කු සිගරට් ජීවිතේට කටේ තියලා නැති කොල්ලො ගැම්මෙන් ශෙයා කරමු" කියලා එකක් දානවා. නැත්නම් "තමන්ගේ කෙල්ල කිස් කරන තොල් වලින් අරක්කු සිගරට් බොන්න එපා බන්" කියලා දානවා..ඒකට පුක හෝදන අතින් කෙල්ලව අල්ලන්නත් එපා බන් කිව්වාම අපිව අන්ෆ්‍රෙන්ඩ් කරනවා 😂

    *තව ඉන්නවා අම්මට තාත්තාට සැබෑ ජීවිතේ කුණුහරුප කියලා බැනලා, නැත්නම් එයාලගේ සේසතම විනාශ කරලා, අම්මගේ වැරදියි තාත්තගේ වැරදියි හැම තැනම කියලා, සලකන්නේ නෑ කියලා බැනලා ෆේස්බුක් එකට අම්මගේ හරි තාත්තාගේ හරි පොටෝ එකක් දාලා මගේ අම්මා තමයි බුදුන්, තාත්තා තමයි හිරු වගේ ටෝක්ස් දානවා. ඇත්තටම තාත්තගෙන් අම්මගෙන් ආදරේ ලබන්නවත් ආදරේ දෙන්නවත් බැරි නිසා ෆේස්බුක් එකෙන් කොමෙන්ට් වලින් ඒක හොයනවා. මොකද ඒ වගේ පෝස්ට් වලට, "තෙරුවණ් සරණයි දෙන්නටම", "ඔයා හොද පුතෙක්,දුවෙක්" කියලා අහන්න මිනිස්සු කැමති වගේම සුදු චරිත වලට රගපාන්නත් චාන්ස් එකක් එනවා.

තවත් සෙට් එකක් ඉන්නවා.. සුදු චරිත. හරිම පිංවන්ත අහිංසක පංසලේම ඉන්න බෝධිසත්ව චරිත...  එයාලා කොමෙන්ට් දාන්නේ මේමයි.. 

    *Hai nange,,, oya narelassanay,, man alaheren akila,, pls comtact me 07781191101 
Eth nange lassna nemey watinne hadawete lassanay.eka amtaka karana epa... dupat unat api hetha hidai...Bs, tc, hoden inna nange, jaya si ma bo sami pitai... oyate waredenne ne. One halp ekek dannam....

    *ලස්සනයි.. බුදු සරණයි.. හැමදාම සතුටින් ඉන්න. තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි... අනන්ත බුදු ගුණ බලෙන් සෙතක්ම වේවා.. බුදු දහමේ පිහිටෙන් ඔයාට කරදරයක් වෙන්නේ නෑ..බ්ලා බ්ලා බ්ලා බ්ලාලාලා.....

         එතකොට තව ඉන්නවා, නොදන්නවා උනාට දන්නවා කියලා පෙන්වන්න හදන නළුවෝ... ඒ අයට අලුත් අදහසක් පේන්න බෑ. ලියන උන්වත් හිතන උන්වත් පේන්න බෑ.... ඒ අය ඒකට කරන්නේ මෙහෙමයි. කෙනෙක් දිග පෝස්ට් එකක්, මතයක් ලිව්වාම, පෝස්ට් එකම කියවලා දානවා කොමෙන්ට් එකක් "කියවන්න කම්මැලි බ්‍රෝ" කියලා... නැත්නම් මේ වගේ කොමෙන්ට් එකක් දානවා... 😂

"මෝඩ කතා කියන්න එපා", 
"මෝඩයෝ එක්ක තර්ක කරලා වැඩක් නෑ", 
"උඹලගේ පරම්පරාවේ වැරද්ද", 
"උඹලා ඉපදිලා තියෙන අවුරුද්දේ වැරද්ද",
"උඹලට බුදු දහම ගැන ඉරිසියාවක් තියෙන්නේ, උබලට ක්‍රිස්තියානි ආගම ගැන ඉරිසියාවක් තියෙන්නේ, ඇයි ඉස්ලාම් ආගමේ කරන එව්වා හොදද"  
"ඇයි කුකුල්ලු පව් නැද්ද" 😂
"උඹ පේජ් වල පොර ටෝක්ස් දෙන එකෙක්" 
"උඹ දන්නවා කියලා පෙන්වන්න හදන එකෙක්"
"උඹ බර වචන කියලා රගන එකෙක්" 
"බයියෝ/ටොයියෝ එක්ක කතා කරලා වැඩක් නෑ" 
"හරියට ජාතකයක් නැති උනාම ඕමයි"
"මොලේ බලෙන් දෙන්න බෑ"
නැත්නම් කුණුහරුප කියනවා.. අන්න එහෙමයි දන්නවා කියලා පෙන්වන්නේ....
         
         හැබැයි දැන් ටික්කට කලින් චමීර අයියගේ පෝස්ට් එක්ක කියෙව්වා ඒකත් ලෙඩක් කියලා 😲  -- (අලුත් තොරතුරු, අලුත් දැනුම, අලුත් තත්ත්ව, අලුත් මතවාද වලට තියෙන භීතිකාවට කියන්නේ "නියෝෆෝබියා" - Neophobia. ඒ වගේම වෙනස් මතවාද, වෙනස් මිනිස්සු, වෙනස් තත්ත්ව ආදියට තියෙන භීතිකාවට කියන්නේ "සීනෝෆෝබියා"  - Xenophobia.)

දැන් අකිල රඟපාන්නේ නැද්ද ? අකිලත් රඟපානවා මම හිතන්නේ එක විදිහකට...
ඇයි ඔය බට්ටිත්ති, බෝනික්කි, විශාකා දේවිය, #එරන්දියේ කියලා කැටගරි වල අම්බානකට කවි ලියලා තියෙන්නේ අකිලට නැති, ලබන්න බැරි, කරන්න බැරි මඟුල්නේ 😂

#අකිල

No comments:

Post a Comment