හැම තැනකම තියෙන්නෙ මුදල් බලය විතරයි..ඒක සාධාරණයි කියලත් හිතෙනවා බන් මට.... කුළී කාරයාගේ ඉදලා බැංකුවේ අයිති කාරයා වෙනකම්ම මිනිස්සු ගරු කරන්නේ සල්ලි වලට... පෞද්ගලික රජයේ කියලා වෙනසක් නෑ, සල්ලි වලට ඕනිම වැඩක් කර ගන්න පුළුවන් තරමට සල්ලි මිනිසත්කම ආක්‍රමණය කරලා... හැමෝම තමන්ගේ වාසියට සල්ලී පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්නේ... වෙන මුකුත් ඕනි නෑ බන්,.. දෙයියෝ බුදුන් පවා හැරිලා බලන්නේ සල්ලි වලට කියලා මට වෙලාවකට හිතෙනවා බන්. නිකමට උඹත් හිතලා බලපන්. කතරගම දේවාලේ ඉදලා ගමේ පොඩි දේවාලේ වෙනකම් පඩුරු බලලා නෙවෙයිද දෙයියෝ හැරිලා බලන්නේ. එහෙම හිතනකොට මට වෙලාවකට හිතෙනවා එක්කෝ #අහසේ_දෙයියෝ_නෑ, එක්කෝ ඉන්නවනම් ඒ සල්ලි වලට ආස දෙවියෙක්... දළදා මාළිගාවේ ඉදලා ගමේ පංසල දක්වාම ප්‍රධන දායකයා හරි ප්‍රධාන පුණ්‍යවන්තයා හරි දිහා බැලුවත් ඒක තේරෙනවා. 💰 💰
*දළදා මාළිගාව* ධනපති පංතියේ අහංකාරය පෙන්වන රජකාලේ ඉදලා තිබ්බ රදල ගතිය පෙන්වන, කුළමල බේදය පිරුණු රජ මාලිඟයක් වගේ තැනක් කියලා මට හිතෙනවා බන්... සමහරවිට ඒ මගේ පව්කාර කම නිසා කියලා උඹලට හිතේවි.. (මොකද දළදා මාළිගාවේ පෙරෙහැරේ ගෙනියන අලි ඇත්තුන්ටත් දළදා සමිදු පිහිටයි කියන මිනිස්සුනේ ඉන්නේ) මන්දා.... ඒත් මේ ලෝකේ හැම තැනක්ම, හැම දෙයක්ම, හැම කෙනෙක්ම වගේ ගරු කරන්නේ සල්ලි වලටයි පොෂ් කමටයි විතරයි බන්. කවුරුවත් හිතන්නේ නෑ, මිනිසත්කම ගැනවත්, හැමෝම මිනිස්සු කියලවත්.. හොඳම දේ මිනිස්සු ඇඟේ පාටට ගරු කරන, දාගෙන ඉන්න ඇදුම්/ආභරණ වලට ගරු කරන, යන එන වාහන වලට ගරු කරන තරමටම මිනිසත්කම හේදිලා ගිහින් තියෙන එක බන්.
රත්න ශ්‍රී විජේසිංහ සර් ලියපු වික්ටර් රත්නායක සර් ගායනය කරන සිංදුවක් මට හම්බුනා බන්. ඇස් වලට කඳුළු එන, මම ඇස් දෙකෙන් දැකපු සිද්ධි ගණනාවක් මගේ චිත්ත රූපවලට එකතු උනා සිංදුව ඇහෙනකොට...
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
*පාත ඉදන් අපි ආවේ* කියන්නේ යට තට්ටුවේ ඉදලා කියන එක නෙවේ. පාතම පංතිය කියන එක. පහළම පංතිය. සමහරවිට පද්දෝ, රොඩියෝ, ගොඩයෝ, හිඟන්නු, ගෝත්‍රිකයෝ කියලා, පහලටම ඇදලා දාපු මිනිස්සුන්ට බන්. සමහරවිට ඒ ඉතිහාසයේ ඉදලම දළදා වහන්සේට ආදරේ කරපු මිනිස්සු වෙන්න ඇති බන්. ඒ ආදරේ ප්‍රයෝජනයට අරගෙන ධනපති පංතියේ උන් ඒ මිනිස්සුන්ව යටම පාතම තැනට දාලා තියෙනවා බන්. මාළිගාවේ නිළමේතුමයි බෙර ගහන බෙරවායා කියලා පහත් කරපු මනුස්සයයි ගැන හිතලා බලපන්කො......
මේ සිංදුවේ කියන දේ අහපන්කො...
*දළඳා හාමුදුරුවනේ ඔබ වහන්සේ වැඳ පුදා ගැනීමට අපි ඇවිත් ඉන්නේ ගොඩාක් දුර බැහැර ඉදලා.. ඔබ වහන්සේ අසලට පැමිණෙන්නට අවසර තිබෙන්නේ ලොකු මිනිසුන්ට පමණයි.. අපි බොහොම දුප්පත් අහිංසක මිනිස්සු. අපිට ඔබ වහන්සේ අසලට එන්න අවසර නැතත් අපි ගෙනා මේ නාමල් පූජා කරන්න අපිට සමාවෙලා පහළ මළුවට වඩින්න.* සමහරවිට මේ මනුස්සයා කෑමක් බීමක් නැතුව ගහක් යට නිදාගෙන එන්න ඇත්තේ නාමල් පූජා කරන්න.. නාමලක් කියන්නේ දසත සුවඳ විහිදුවන මලක්. මේ සමාජය තුළ කොපමණ දුර්ගුණ මතුවෙලා තිබුනත් මල් මෙන් ගුණ සුවඳ හමන මිනිස්සු ඉතුරු වෙලා ඉන්නවා කියලා කෑ ගහලා කියන සද්දෙට කන් දීලා බලපන් බන්.....
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
මේ කොටස ඇහෙනකොට මට මතක් උනා මගේ යාළුවෙක්ව. ළඟම යාළුවෙක්ව. මම ගොඩාක් ආදරේ කරන යාළුවෙක්ව. ඌට තිබ්බේ මුහුකුරා ගිය මූණක්. වයසට ගිය මූණක්. නසරානි පෙනුමක්. හැම ගුරුවරයෙක් ම නැතත් හුඟාක් ගුරුවරු එයාට සැලකුවේ නසරානියෙකුට වගේ. හතරේ පංතියේදි ලයිට් එකක් දාන ස්විච් එකක් කැඩුණ එකට ගෑණියෙක් (ටීච කෙනෙක්) ඌට ඒක මතක් කර කර මාස තුනක් විතර වද දුන්න මට මතකයි.. ඒ කාලේ මට හයියක් තිබ්බේ නෑ විරුද්ධ වෙන්න. මට පුළුවන් උනේ උගේ දුක අහන්නයි හිත හදන්නයි විතරයි. ගෙදරට කියල ස්විච් එකක් ගෙනල්ලා දානවා කියලා ඒ ගෑණි මාස තුනක් විතර වදදෙනකොට ඌ කරේ අඩන එක විතරයි. ඒ වගේම ඕ ලෙවල් කාලෙදි මට මතකයි ට්‍රිප් එකක් යන්න ගිහින් *කොහොමද අකිල ඌව ගමනක් ගෙනියන්නේ. පේන්නේ නැද්ද හැටි, කකුළ් දෙක මැදලා නෑ මාස ගානකින්, නාන්නෙවත් නැතුව ඇති. ඇදුම් වල හැටි බලන්නකො... තේරුම් ගන්නකො, බැරිනම් ඔයත් ඉන්න* කියලා තවත් පොෂ් ගෑණියෙක් කීවා..(ටීච කෙනෙක්) ඉතින් ඌ නිසා මම ගියෙත් නෑ ට්‍රිප් එක... ඒක දන්නේ ඒ මැඩමුයි මායි විතරයි.
ඒ ලෙවල් කාලෙදි, කොන්සට් එකක් කරනකොට, (මම පැත්ත පලාතේ ගියේ නෑ) ඉස්කෝල වෙලාව පහු වෙලා වැඩ කරපු වෙලාවක එක සර් කෙනෙක් "මුගේ මූණෙන් කසිප්පු බෝතලයක් ගන්න පුළුවන්" කියලා ඔච්චම් කරපු එක ගැන පස්සේ දවසක මට ඌ හිනා වෙවී කීවෙ මෙහෙමයි.. *දකින දකින සැරේට උදේ ඉදලා ඒකා එක එක ඒවා කිව්වා බන්. බේබද්ද කිය කිය.. උගෙත් එක්ක තරහටම හවස බීලාම ඉස්සරහාට ගියා, එතකොට මුකුත් නෑ*
ඇත්තටම උගේ මූණ එහෙම පෙනුමක් තියෙන්නේ ඌ ජීවත් වෙන්න දුක් විදින නිසා කියලා මම හොඳටම දන්නවා. ඕ ලෙවල් කාලෙදි උගේ කකුළ් දෙක මැදලා නෑ කියන ටීච දන්නේ නෑ ඌ රෑට රෑ වෙනකම් ගඩොල් කපනවා කියල. ඌට තියෙන්නේ එක ඇදුමයි කියලා. උගෙ පෙනුම එහෙම වෙලා තියෙන්නේ දුප්පත්කම කරන හිරිහැර නිසා කියලා. අව්වට පිච්චෙන හම ගැන මඩට බොර වෙන හම ගැන ටීච මොනවාද දන්නේ...ඒ වගේම ඒ ළමයෙක් කියලා.. ඒ ගෑණු කවදාවත් තේරුම් ගන්නෙත් නෑ.
දළඳා මාළිගාවෙත් මෙහෙමමයි කියලා ගෑ ගහලා කියන හඩ අහපන් මේ සිංදුවෙන් බන්... සුදු පෙනුමට ඉන්න, කලිසම් අදින නෝනලටයි ඉරුණ හැට්ටයක් ඇදගෙන චීත්තයක් දාගෙන එන ගැහැණු කෙනාටයි දළදා මාළිගාව සලකන්නේ එකම විදිහට ද කියලා හිතලා බලපන් බන්... ඇහෙනවද උඹට ?
*ලස්සනට ඇඳ පැලඳගෙන රැකියාවල් කරන මිනිසුන් වගේ නොවෙයි අපි. ගොවියන් වන අපිට සැප විඳිමින් කුඹුරු වැඩ කරන්න බෑ. අපි අව්වේ පිච්චෙමින් හේන් කොටන්න ඕනා. ඔබ වහන්සේ වැඳපුදා ගැනීමට එන නෝනලා මහත්තුරු මෙන් අපේ ශරීර පැහැපත් නෑ. අපේ ශරීර අව්වට පිළිස්සී තිබුනත්, අවපැහැ ගැන්වී තිබුනත් අපේ හිත්වල ඒ අවපැහැය නැහැ. අපේ හිත් පිරිසිදුයි. අපේ ඒ පිරිසිදු හිතින් කරන මේ පුද පූජා ලබා ගන්න ඔබවහන්සේ පහත මාලයට වඩින්න.* වඩින්නේ නෑ බන්.. මෙච්චර කාලෙකට වැඩලා නෑ.
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
ගමේ මාළු විකුණන මනුස්සයා කොච්චර නෑවත් පිළී ගඳ නැති වෙන්නේ නෑ බන්. මාළු විකුණන මනුස්සයා විතරක් නෙවේ ගොවියගේ මඩ ගඳවත්, මේසන් බාස්ගේ සිමෙන්තිවත්, වඩු බාස්ගේ ලී කුඩුවත්, කවදාවත් නැති කරන්න බෑ නේද බන්. වැඩ කරන කම්කරුවගේ දාඩිය ගඳ දරාගන්න සමහර මිනිස්සුන්ට බෑ. ඒත් ඒ මිනිස්සුන්ගේ දාඩිය වලින් හැදෙන පාන් බනිස් රස කර කර කන්න පුළුවන්. ඒ මිනිස්සු අල්ලන මාළු රස කර කර කන්න පුළුවන්. ඒවා ගඳ නෑ උන්ට.. ඒවා ගද නෑ දානෙට තියා හාමුදුරුවන්ටවත්... ඒත් මාළු මුදලාලිගේ, පිළී ගද දැනෙනවා පංසලට එනකොටම.... මම ලියපු කවියක් මතක් උනා මට
සල්ලිකාර මිනිසුනේ
කියලා දීපියව් මට
මේසන් බාස්,
ඇගේ ගෑවුන කොන්ක්‍රීට් බදාම
හෝදගන්නා අන්දම.....
කියා දීපියව් මට
වඩු බාස්,
ඇඟ පුරා ඇති
ලී කුඩු යවා ගන්නා
විදිහ.....
කියා දීපියව්
මාළුත් එක්ක ජීවත් වෙන
ධීවරයා,
පිළී ගඳ ඇගෙන්
ඉවත් කරනා විදිහ.....
උඹලට කවදා හෝ,
තේරුම් යාවිද....
එදවස යි මගේ පැතුම......
ඉරාජ්ගේ සිංදුවකුත් මතක් වෙනවා මට... මාළු අල්ලන මනුස්සයෙක්ට ධර්මය වැළද ගන්න පෝසත් මිනිස්සු ඉඩ දෙන්නේ නෑ බන්. මොකද එතකොට උන්ට මාළු කන්න නැති වෙන නිසා. ඒ නිසා පංසලට එනකොටම පව්කාරයා කියලා හංවඩු ගහනවා. එහෙමයි උපාසක අම්මලා. මේ සිංදුවෙන් කියන්නෙත් ඒක බන්.. ඇහෙනවද මෙහෙම කියනවා
*මාලු ඇල්ලීමට මුහුදු යන අපි ලඟ තිබෙන පිළීගඳ නැති කරන්න අමාරුයි. අපේ කර්මාන්තය අනුව අපෙන් ඒ ගඳ නැති වෙන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ පිදීමට ගෙනා මල්වල ඒ ගඳ නෑ. අපි ගෙනා මල් අනෙක් අය ගේන මල් වගේම සුවඳයි. නමුත් ඔබ වහන්සේ දැක බලා ගැනීමට පැමිණීමට අපට අවසර ලැබෙන්නේ නෑ. අපේ මල් ඔබ වහන්සේ බාර නොගෙන ඉන්න එපා. ඔබ වහන්සේ පහළ මළුවට වැඩියොත් ඔබවහන්සේට දැක ගන්න පුළුවන් අහිංසක මිනිසුන්ට වෙන අසාධාරණය.*
ඒත් වඩින්නේ නෑ බන්. මේ වෙනකම් වැඩලා නෑ. එක්කෝ දළදා මාලිගාවේ අයිතිකාරයෝ, නිළමෙලා, වඩින්න දෙන්නේ නෑ... කූඩු කරලා හිර කරලා තියෙන්නේ.....
රත්න ශ්‍රි සර් සමස්ත අහිංසක දුප්පත් ජනතාව සහ ඔවුන්ට සිදුවූ අසාධාරණය මේ ගීතය තුළ නිරූපණය කරනවා. ඉතා සරල බස් වහරක් නිසා අහනකොට මේ ගීතයේ ගැඹුර තේරෙන්නේ නෑ... එදා වගේම අදත් සෑම ස්ථානයකම මෙවන් අකටයුතුකම් සිදුවනවා අපට දැක ගන්න පුළුවන්...
ඉතින් දුප්පත් අපි පහත මාළයට වඩිනකම් බලාගෙන ඉන්නවා ඉතිහාසයේ ඉදලාම...
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
හීල් හෙවනෙ ඉඳගෙන බෑ
හේන් කුඹුරු වැඩ කරන්න
ඇඟ පත කළු උනත් අපේ
කිලි කුණු නැති හිත බලන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
මූදු ගියා ලෙලි තැලුවා
පිලී ගඳින් බෑ මිදෙන්න
ඒත් අපේ මල් සුවඳයි
එපා බාර නොගෙන ඉන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න
අන්තිමට තව දෙයක් කියන්න තියෙනවා..
""දුප්පතෙක් විදිහට ඉපදිලා, දුප්පතෙක් විදිහට මැරෙන්න එපා බන්""
#අකිල
No comments:
Post a Comment