Wednesday, December 23, 2020

👉 ...නුඹ එක්ක දවසක් කතා කරන්න.... 👈



         දැනට අවුරුදු හතරකට කලින් වගේ මතක, ඒ ඒ ලෙවල් කාලෙ. කනිෂ්ඨයක ඉදලා ලොකු අළුත් ඉස්කෝලෙකට ගිය අළුත. නගරේ ඉස්කෝලයක්... බස් එකේ යන්න ඕනි. 

        පාර දිගේ ගස් වල ගෙඩි කකා, කෑ ගගහා, සිංදු කිය කිය, කුරුළු කූඩුවල පැටව්න්ට බත් ඉතුරු කරගෙන ඇවිත් ගස් නැගලා උන්ගේ කූඩු වලට දාන අපි ඒ කාලේ ගෙදර යනකොට හිටියේ, ලෝක යුද්ධෙකින් බේරුන එකෙක් වගේ. [ඒක කියනකොට මතක් උනේ..  මට මතකයි, අපි පුරුදු වෙලා හිටියා ලයිට් කණුවක බෙනයක කූඩුව හදලා තිබ්බ කුරුළු පැටව්න්ට කෑම දාන්න. ඉස්කෝලේ ඇරිලා උන්ට කෑම ඉතුරු කරගෙන එන්නෙ.....(ලයිට් කණුවල බෙන කොහෙද කියල කල්පනා කරන පොඩි ළමයිට කියන්න තියෙන්නේ මෙහෙ ලයිට් කණු ලී වලින් තියෙන්නෙ. ) ඉතින් සතියක් විතර කෑම දානවා, පට්ට අමාරුවෙන් ලයිට් කණුවෙ බඩගාලා බඩගාලා. ඒ බෙනේට එබිලා බලන්න අමාරු නිසා බලන්නේ නෑ. කෑම දානවා. සතියකට පස්සේ බලනකොට කුරුළු පැටව් දෙන්නෙක් මැරිලා,  බත් වලට යට වෙලා, කූබි කාලා. මැරෙන්ඩැයි ඉතින්. හිතලා කරපුවා නෙවේනෙ. චේතනාව පිරිසිදුයිනේ අපේ. ඒම හිතලා හිත ඔයාලත් හදා ගන්න.] ඒ පොඩි කාලෙනෙ. කොහොම හරි එහෙම අත්දැකීම් එක්ක තමයි අපි ලොකු උනේ. 

        එහෙම ගියපු අපි හෙන ඩීසන් විදිහට  බස් එකේ යන්න ඕනි. ඇදුම් වල කුණු ගා ගන්න බෑ... කෑ ගහන්න බෑ, හැමෝම බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා. අනික දුම් ගඳ... ගමේ පාර දිගේ ගස් වල තියෙන අඹ ගැට මෙහේ ගෙනල්ලා මිරිස් දාලා රුපියල් 20කට විකුණනවා. පෝසත් ළමයි අයිස්ක්‍රීම් කනවා වඩේ කනවා, උන් එක්ක අපිත් කන්න ඕනි, නැත්නම් බලාගෙන ඉන්න ඕනි කොනට වෙලා  නැත්නම් ගේම් එකක් හරි වාහනයක් හරි ගැන උන් කතා කරන එක අහගෙන ඉන්න ඕනි.. හිතන්නකො සෑහෙන්න අමාරුයි සීන් එක... අනික බස් එකේ යන එක අව්ලක් නෑ බස් තියෙනවනම්. කරුමේ කියන්නේ ගෙවල් පැත්තට එන්න බස් තියෙන්නේ හෙන අඩුවෙන්. 1.50 බැරි උනොත් 3ට. ඒක නැති උනොත් 5 වෙනකම් ඉන්න ඕනි. ඕක ගැන දන්න අනිත් පැති වල උන් කිව්වෙනම් "වන්නියනේ" කියලා.... 
   
          ගහට ගහක් මොරටුවෙදි සෙට් වෙනවලු, ඒත් අපි මොරටුවේ ගියේ නෑ, කොහොම හරි මට සහෘදයින් දෙන්නෙක් හම්බුනා. (සිංහල උගන්වපු සුදර්ශනී මැඩම් කීවෙනම් සහෘදයින් කියන්නේ සම හදවත් කියන එකලු ඈ)  කොහොම හරි එකෙක්ගේ නම Dinisuru Yapa Bandara මම කියන්නේ දින්නා, අනිකා Gihan Sandaruwan මම කියන්නේ ගිරවා... අපි තුන් දෙනාට සමාජය ගැන ලෝකේ ගැන පට්ට අවබෝධයක් තිබ්බා, ලෝකෙත් එක්ක ගැටිලම... සීනි බෝල ළමයින්ට වඩා අපි ජීවිතේ විදලා තිබ්බා. අපි අතරත් මට වඩා දිනිසුරුත්, දිනිසුරුට වඩා ගිහානුත් ලෝකය එක්ක ගැටිලා ගැටිලා වැඩිහිටියො වෙලා හිටියේ... 

               අපි තුන් දෙනා බස් හෝල්ට් එකට වෙලා හිටියෙම නෑ, එතන තියෙන දුම් ගඳයි පීඩනයි අපේ මොලේට හුරු කරන්න තියෙන අකමැත්ත නිසා අපි මඟට එනවා. ලොකූ මාර ගහක් තියෙන තැනකට. එතන පට්ට. හොඳම දේ එතනින් යන වාහන වල එල්ලිලා අපිට ගෙදර යන්න පුලුවන් වෙනවා. ලොරි වීල් වෑන් වල තමයි අපි ගෙදර යන්නෙම. ගෙදර කිව්වට ගෙදර නෙවේ, ඇළහැර ට. එතනින් බැහැලා තුන් දෙනා තුන් පැත්තකට පයින් යන්න ඕනි.... එකෙක්වත් බයික් වල ගියේ නෑ අනිකව දාලා යන්න වෙන නිසා. අපි එළවලු ලොරි වල, අරක්කු ලොරිවල, ඩීමෝ බට්ටන්ගේ විතරක් නෙවේ, මැටල් පුරවපු ලොකු ටිපර් වල උඩ නැගලත් ගිහින් තියෙනවා. ඇත්තමයි ඒක වෙනම ආතල් එකක්.....

         අපිව දාගෙන නොගියත් සමහර වාහන හිනා වෙලා හෝන් එකක් ගහගෙන යනවා, නැත්නම් නවත්තලා කියලා යනවා දුර යන්නේ නෑ කියල. *ඒ හැම රියදුරු දෑතකටම බුදු සරණයි...*  අපිට සමහර වෙන්ට පොෂ් ටයිප් කිව්වා "හෙන චාර්ටර් බන්" කියලා. ගොඩයෝ කියලත්. මගේ මූණටම කියපු අයත් හිටියා. "ඕවගේ යන්න එපා බන් චාර්ටර්නේ" කියලා අපිට ආදරෙන් කියපු අයත් හිටිය.. 

          සමහර දවස් වල අපි පයින් යනවා. තුනට තියෙන බස් එක නෑ කියලා අපි දැන ගත්තාම අපි පයින් යන්න පටන් ගන්නවා. නැත්නම් 5 වෙනකම් ඉදලා තමා යන්න වෙන්නෙ. සමහර දවස් වල ටික ටික වාහන සෙට් වෙනවා. නැත්නම් ඇළහැර ට යනකම්ම කිලෝමීටර් 9ක් පයින්. ඒකත් වෙනම ආතල් එකක්. 
   
                  ඉතින් අපි ඔහොම බස් එනකම් හරි වාහනයක් එනකම් හරි ඉන්නකොට හුඟාක් වෙලාවට මාර ගහේ නිදා ගන්නවා. ඒ කියන්නේ ඒ ගහ පෙරළිලා වගේ තියෙන්නේ. ඒකේ කොන්ද තියලා ඇළවිලා ඉන්නෙ. නැත්නම් එතන ගල් පඩියක් තියෙනවා එතන ඉදගෙන ඉන්නෙ. ඒක නිකන් බිම ඉදගෙන ඉන්නවා වගෙ. අපි ඔහොම බිම ඉදගෙන ඉන්නකොට කෙල්ලො කොල්ලො අපි දිහා බලලා කින්ඩි හිනාවක් දාලා යනවා. නිකන් ලෝක හිඟන තරගෙන් එක උනා වගෙ. ඉතින් අපි එහෙම ඉදගෙන ඉන්නකොට අපේ වයසේ එක කෙල්ලෙක් අපි ඉන්න තැනින් තමයි ගෙදර යන්නෙ. එයා ඈතින්ම අපිව දැකලා හිනා යනවා අපිට පෙනුනත් අපි දැක්කේ නෑ වගේ ඉන්නවා. අපි ගාවින් යනකොට බිම බලාගෙන යන එයා යන්නෙත් ලේන්සුවෙන් හරි අතින් හරි කට වහගෙන. මගේ කටත් කහන නිසා මම හැමදාම මොනවමහරි දෙයක් කියනවා එයාට... ඒවට රිප්ලයි නොදා හිනාව හංගගෙන එයා යනවා... ඒ කෙල්ලට මම මාරම කැමති. ඒ ඇයි කියන්නවත් මම දැනගෙන හිටියේ නෑ... ඒත් කවදාවත් කතා කරලා තිබ්බේ නෑ.... නෑ නෑ ලව් කරන්න කසාද බදින්න නෙවේ...
    
           බිම ඉදගන්න එකත් පටන් ගත්ත විදිහ මට මතකයි. එදා අපි හෙම්බත් වෙලා හිටියේ. ඉදගන්න තැනකුත් නෑ. මම ගිහාන්ට කිව්වා 

      "ඉදගමු බන් කොහේහරි" 

  එතකොට ගිහාන්,

       "වරෙන් අකිල, බිම ඉදගන්නයි ඇත්ත කියන්නයි කවදාවත් දෙපාරක් හිතන්න එපා" 

කියලා කිව්ව විදිහ මට තාමත් මතකයි. මඩොල් දූවේ උපාලියි ජින්නයි දෙන්නම එකතු වෙලා කිව්වා වගේ මට ඒක එද ඇහුන විදිහ තාම මතකයි මට...... එදා ඉදලා බිම තමා අපි වැඩි හරියක් හිටියෙ.

          තව මට මතකයි දවසක් කෙල්ලො සෙට් එකක් එනවා අපේ වයසේ, ඈතින්ම අපි දැක්කා. 

  ගිහාන් 
   "අකිල අව්ල් වගේ නේද බන් නැගිටලා ඉමු"  
කිව්වා.

එතකොට මම
   "අනේ රෙද්ද බන්, අපිට මෙතන බිම ඉන්න පුළුවන්නම් මෙච්චර මිනිස්සු බලාගෙන යනකොට, මේ මුන් දැක්කාම මොකද වෙන්නෙ. " කියලා එහෙම්ම හිටියා. ඔය චාටර් කියන වචනේ අපේ ශබ්ධ කෝශයේ තිබ්බේ නෑ....
    
        ඇත්තටම මට මේ සිද්ධි සේරම මතක් උනේ, මම අර කිව්ව බිම බලාගෙන යන අපේ වයසේ කෙල්ලව මම දැක්කා අවුරුදු ගානකට පස්සේ, ඒත් ෆේස්බුක් එකෙන්. දකිනකම් නමවත් දැනගෙන හිටියේ නෑ... ඊට පස්සේ මම හෙව්වා මගේ පරණ කවි පොතක් අරගෙන මම ලියපු කවියක්. ඒ කවිය තමා මේ අතීත කතාවම මට මතක් කරේ.... මේ ඒක.......

මම ආසයි
හොරෙන් බලන 
නුඹේ ඇස් වලට හිනා වෙන්න....

ඒ වගේම
හිනා වෙනකොට
අතෙන් වහගෙන හිනාවෙන
නුඹේ තොල් පෙතිවල 
ලස්සන බලන්න....

හැමෝගෙම යාළුවෙක් උන
නුඹේ යාළුවෙක් වෙන්න....
ඇත්තටම මට ආසයි,
බස් එකක් එනකම්
බිම ඉදගෙන හිඟන්නෙක් 
වගේ ඉන්නකොට,
කුමාරිකාවක් වගේ 
මම ඉන්න තැනින්
මා දෙස නොබලා
බිම බලාගෙනම
මට හිනා වෙලා යන
නුඹ එක්ක 

දවසක් කතා කරන්න.....
🌷💐🌸🌷💐🌸🌷💐🌸🌷

කතාව එපමණයි. වියදම අපමණයි. 
අසා සිටි ඔබ සැමට ස්කෝතුයි..

#අකිල

(මේ ලිපිය 2018 ලියපු එකක්... අද ඒ මාර ගහ නෑ. පාරවල් දියුණු වෙලා....)


No comments:

Post a Comment