මම මේ ලෝකේ දැකපු මායාකාරීම, බලවත්ම දේ තමයි අම්මගේ චීත්තය. ඒ වගේම, සුන්දරම අජීවි වස්තුවක් ගැන මතක් කලොත් අම්මගේ චීත්තේ මුලින්ම මට මතක් වෙනවා.
අම්මගේ චීත්තේ හැඩරුව ගැන කතා කලොත් මුලින්ම මතක් වෙන්නෙ ඒකෙ තැනින් තැන ඉරුණු තැන්. තව පටි ඉරපු තැන්, ඒ මගේ තුවාල බදින්න... චීත්තේ පාට ගැන කතා කරොත් ඒක කොළ පාට හා රතු පාට මල් වලින් සැරසුණු, ඒත් ඒවා උපරිම ළා පාට සෞම්‍ය පාටකින් වැහිලා තියෙන්නේ. තව තැනින් තැන දැළි පාරවල්, එක එක කහට පාරවල් තියෙනවා. මගේ තුවාලෙක ලේ පාරක් චීත්තෙට අමුතුම ලස්සනක් දීලා තියෙනවා මට හිතෙන්නෙ..
චීත්තේ සුවඳ ගැන කියනවනම් ඇත්තටම අම්මගේ චීත්තෙන් හමන්නේ සෙනෙහසේ සුවඳ කියලයි මට හිතෙන්නෙ. කොච්චර දාඩිය ලේ කදුළු පිහ දැම්මත් අම්මගේ චීත්තේ ගඳක් එන්නෙ නැති වෙන්නෙ ඒකේ තියෙන මායාකාරී ගතිය නිසයි.
අම්මගේ චීත්තේ මායාකාරී ගතිය ගැනනම් කියන්න ගොඩාක් දේවල් තියෙනවා. අම්මගේ චීත්තේන් මූණ වහ ගත්තාම දැනෙන්නෙ පුදුම සනීපයක්. මහන්සි වෙලා ඉන්න වෙලාවක අම්මගේ චීත්තේ මූණට දාගෙන නිදා ගන්න මම මාරම ආසයි. ඒකෙන් මහන්සිය ඉක්මනින් නැති වෙනවා.
හේනේ කුඹුරේ වැඩ කරනකොට, කැලේ දර හොයනකොට, මහන්සියට අම්මගේ චීත්තේ බිම එලාගෙන නිදා ගන්න එක තරම් සනීපයක් තවත් මට දැනිලා නෑ. අම්මගේ චීත්තේ ඉන්නකොට නිකන්ම නින්ද යන්නේ ඒකේ තියෙන මායාකාරී බවට වෙන්න ඇති. රස්නේ වෙලාවට අම්මගේ චීත්තෙ පොරව ගත්තාම සීතල දැනෙනවා, සීතල වෙලාවට චීත්තෙන් උණුසුම දැනෙනවා... ඒකේ විද්‍යාත්මක හේතුව මම තාම කල්පනා කරනවා.
තුවාලයක් එහෙම උනාම අම්මගේ චීත්තේ තුවාලේ උඩින් දාගෙන හිටියාම තුවාලේ වේදනාව අඩු වෙනවා වගේම, තුවාලේ ඉක්මනින් සනීප වෙනවා කියලත් මම අත්දැකීමෙන්ම දන්නවා.
දර අදිනකොට දර ඔළුවේ තියාගන්න අම්ම චීත්තේ පාවිච්චි කරත්, මම ටිකක් වෙලා යනකොට අම්මගේ චීත්තේ මගේ කරට ගන්නෙ කරේ අමාරුවට කියල අම්ම දන්නවා. සමහරවිට අම්ම චීත්තේ ගෙනියන්නෙම මගේ ප්‍රයෝජනයට වෙන්න ඇති. සන්නස්ගල මහත්තයා කියන විදිහට අම්මගේ වේදනාව අම්මගේ චීත්තෙන් අපිට සුන්දරව දැනෙනවා කියල මම පිළි ගන්නෙ නෑ. අම්මගේ ආදරේ මායකාරි ගුත්ත භාවය අම්මගේ චීත්තෙන් සුන්දරව දැනෙනවා කියලයි මට හිතෙන්නෙ. ඇත්තටම අම්ම සුර දූතියක් වගේ නිසා එයාගේ චීත්තෙටත් යම් මායාකාරී බලයක් තියෙනවා මම හිතන්නෙ.
අම්ම කොහේ ගියත් අම්මගේ චීත්තේ අම්ම එක්ක තියෙනවා. අම්ම නාන්න ඇළට ගියත්, රැස්වීමකට ගියත්, කුඹුරට හේනට ගියත්, දරට ගියත්, අම්ම චීත්තේ අරගෙන යන්නෙ. ඒ චීත්තෙන් ලැබෙන අභිමානය හා ආරක්ෂාව නිසා වෙන්න ඇති. අව්වෙ යන වෙලාවට අම්ම චීත්තේ ඔළුවට දාගෙන යන්නෙ. ඒ වෙලාවට මාත් ඒ චීත්තේ ඔළුවට දාගෙන යන්න පට්ටම ආසයි. ඉස්සර අම්මත් එක්ක චීත්තේ ඔළුවට දාගෙන යනකොට මම අම්මට වඩා කොටයි... දැන් අම්මට වඩා උසයි. ඒත් වෙනසක් නෑ තාම මම ආසයි ඒකට. සමහරවිට මාව පිස්සෙක් වගේ පේනවා ඇති මාව නොහදුනන අයට(දන්න අය කොහොමත් දන්නවානේ...) අව්වෙ යන්න බැරි ළාමකයෙක් කියල හිතනවා වෙන්නත් පුළුවන්...
අම්මගේ චීත්තෙන් මම ගන්න ප්‍රයෝජන තැනින් තැනට වෙනස් වෙනවා. කැලේ ගියොත් දර, ලී, කරේ තියා ගන්න ගන්නවා... හේනට ගියොත් නිදා ගන්න ගන්නවා... අව්වෙ පාරේ ගියොත් ඔළුවට දාන්න ගන්නවා... මූණ හෝඳලා පිහදගන්න ගන්නවා... තව පව් වැඩ වලටත් ගන්නවා.... 🐟 🐳 .. ඒ මාළු අල්ලන්න. ඇළට ගියාම අම්මගේ චීත්තෙන් තමයි මායි මල්ලියි මාළු පැටව් අල්ලන්නෙ. ඒ ගෙදර ටැංකියට දාන්න. කොහොමෙන් කොහොම හරි මාළු පැටියෙක් අල්ලලා ඉවර වෙනකොට අම්මගේ චීත්තේ මඩ ගදයි සිනි ගදයි නිසා අම්මා චීත්තේ ඒ වැඩේට ගන්නවට කැමති නෑ. ඒත් අපි ගත්තාම අම්ම බැන බැන හෝඳනවා. ඒ ලොකූ කේන්තියකින් නෙවේ ආදරේන් කියල මම දන්නවා. සමහර වෙලාවට, "ආ මේක ගනින්" කියල අම්ම බෙඩ්සීට් එකක් දෙනවා.... ❤
අම්මගේ චීත්තේ කවදාවත් පරණ වෙන්නේ නෑ. කොටින්ම ඒකට සිංහලෙන් කියන්න පුළුවන් මල්ටි ටාස්කින් කියල. අනන්ත වැඩ අරගෙන ඒක පාවිච්චි කරන්න පුළුවන් අනන්තය දක්වාම. චීත්තේ පරණ වෙලා, ඉරිලා ගියාම ආයෙම ඒක අම්ම කෑලි කරලා අත පිහදන්න, මේස පුටු පිහදන්න ගන්නවා. කොටින්ම උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකම දේ වෙන්න ඇති අම්මගේ චීත්තේ... අනික චීත්තේ ලස්සනවත් සුවඳවත් කවදාවත් නැතිවෙන්නේ නෑ.
මම ගොඩාක් ස්තූති කරනවා මගේ දෛවයට. මම වාසනාවන්ත කරාට. මට ගොඩාක් ආඩම්බරයක් දැනෙනවා මගේ සමහර යාළුවන්ට ඉන්න පොෂ් අම්මලා දැකලා... මොකද සමහර අය කවදාවත් මේ මම කියන චීත්තේ දැකලා නෑ. අම්මත් එක්ක හේනට ගිහින් නෑ, දරට ගිහින් නෑ, ඇළට ගිහින් නෑ, අම්මගේ චීත්තේ ඔළුවට දාගෙන නෑ,.. ඇත්තටම මම වාසනාවන්තයි කියන හැගීම මට එනවා එතකොට පට්ටම විදිහට. මගේ ලොකු අයියා කියන විදිහට, "කිසිම කෙනෙකුට හැමදෙයක්ම ලැබෙන්නේ නෑ.. ඒත් හැම කෙනෙකුට ම අනිත් අයට නොලැබෙන දේවල් ලැබෙනවා. එහෙම වෙන්නෙ හැමෝටම අනිත්‍ය ගැන ස්භාව ධර්මය උගන්නවන නිසා.. තමන්ට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න" කියල තමයි අයියා කියන්නෙ... අයියා හැමවෙලාවෙම හරි👍...
සමහරවිට පොෂ් කෙල්ලො කොල්ලො පව් කියලත් මගේ හිත කියනවා. අනේ එයාලටත් ලැබෙනවනම් අම්මගේ චිත්තේ සුන්දර, ගුප්ත, මායාකාරි ආදරණීය හැගීම විදින්න....!!!
ඒත්....
කතාව එපමණය.... වියදම අපමණය...
අසා සිටි ඔබ සැමට ස්තූතියි 🙏
#අකිල
No comments:
Post a Comment