Monday, December 21, 2020

👉 මාල ගිරවියේ... මාල ගිරවියේ.... 👈



මට හිතෙන විදිහට ගීත අපිට ඇහෙන්නෙ අපි ඉන්න මානසික මට්ටම හරි අපි ඉන්න ස්භාවය හරි නිසා කියල.. කොච්චර ගීත ඇහුනත් සමහර ගීත ඔළුව පසාරු කරගෙන, හිල් කරගෙන, හදවත කීරි ගහන තරම් අපිට දැනෙන්නෙ අපි මූණ දීලා තියෙන අත්දැකීම් හෝ අපි දැකලා තියෙන සිදුවීම් ගීතයත් එක්කම අපේ ඔළුවලට එනකොට කියලයි මටනම් හිතෙන්නෙ... එහෙම නැත්නම් අපේ ඉරණම විසින් අපිට සමහර ගීත අහන්න සලස්වනවද කියලත් මට හිතෙනවා. බස් එක්ක අදුරන කව්රුත් නැතුව කතා කරන්න කෙනෙක් නැතුව, ෆේස්බුක් මැසේන්ජර් අයින් කරලා ඉන්න කොල්ලෙක් ජනේලයක් ගාව සීට් එකේ ඉදගෙන ජනේලයෙන් එළිය බලාගෙන ඉන්නකොට ඇහෙන ගීතයක් එක්ක ඒකාත්ම වෙන එක නවත්වන්න බෑ කියල තේරුනේ ඒ අත්දැකීම විදිනකොටයි. මේ ගීත දෙක ඇහුනේ එහෙම වෙලාවක.

මම උදේ 6 මුතු පබළු බස් එකෙ පිටිපස්සෙම සීට් එකේ ඉදගන්නේ හැමදාම පුරුද්දට. බස් එකේ දාන්නෙම සහරා ෆ්ලෑෂ් සිංදු විතරක් වෙන්න ඇති. මම යන හැම දවසකම යන්නේ සහරා ෆ්ලෑෂ් ගහන පට්ට මියුසිකල් විතරයි. කොටින්න්ම නැගලා යන සිංදු නිසා බස් එකට නැඟපු වෙලා ඉදලා ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. ඉතින් මම මේ කියන සිංදුව ඇහුනේ ඒ වෙලාවෙ. ධනපාල උඩවත්ත කියල නිවේදකයා පුනරාරෝපණය කරත් මට වැඩිය ගානක් තිබ්බෙ නෑ. සිංදුව මැද හරියක් යනකොට, හරියටම, 

ඉරට හඳට හොරෙන් හොරෙන්🎶🎶
ගහට කොළට හොරෙන් හොරෙන්🎵🎵
නඟේ නුඹව බලන්න එන්නම්🎶🎶
මේ අම්ම අප්ප නැතුව වරෙන් 🎵🎵
කොළඹ හතේ යන්න වරෙන්🎶🎶
සාරි ඔසරි අරගෙන දෙන්නම්🎵🎵

කියන කෑල්ල ඇහෙන කොටම මම අවදානෙන් අහන්න ගත්තා. ඒකේ තාලේ සහ ධනපාල මහත්තයාගේ කටේ සවුන්ඩ් එකයි නිසා ගීතය ළාවට ඇහුනත් ඇහුන ටිකෙන් ඔළුවට චිත්ත රූප මවා ගන්න පුළුවන් උනා. ඇත්තටම ඒ සිංදුවෙන් කියන්නෙ සිදාදියේ ඉන්න සල්ලි කාර කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කියන හැටි කියලයි මට හිතුනේ. කොල්ලා සෙල්ලක්කාරයි. අත දිඟ ඇරලා වියදම් කරන පොරක් වගේ ගතියක් ගීතය පුරාම තියෙනවා. මාල කරාඹු අරන් දීලා කොළඹ පුරා ඇවිද්දවන්න හදන්නේ ඒකනෙ. ඉතින් මං වගේ හිඟන්නෙක්ට මේ ගීතය සංවේදී උනේ කොහොමද බලනවද ? ඒක මෙහෙමයි උනේ... මම සැදැහැවත් බෞද්ධයෙක් නිසා හැම වෙලේම තමන් උපමා කොට අනුන් ගැන හිතන්න තමා පුරුදු වෙලා ඉන්නෙ. ඉංග්‍රීසියෙන් ඒකට කියනවා "අත්තානං උපමං කත්වා" කියල....😇

ඉතින් මාත් සිංදුව ඇහෙනකොට ඒකේ විදිහට චිත්තරූප මවන ගත්තා... මවන්න හිටිය කෙල්ලටත් වෙන කොල්ලෙක් සමීප නිසා මම එමා වොට්සන්ව ගත්තා. එතකොට වෙන්නෙ මෙහෙමයි....🎵🎶🎵🎶

මම එමා වොට්සන් ගැන හැම තිස්සෙම හිතනවා. හැරී පොටර් පොඩි කාලේ ෆිල්ම් එකේ හිටිය හුරතල් පොඩි එකීට පවා ආදරේ කරේ, බාල අපරාධ කරන්න නෙවෙ, උතුම් ආදර සෙනෙහසින්. එයා ලොකු වෙනකොට ඒ ආදරේ වැඩි උනා පට්ටම විදිහට. එයා අපේ ගමේ හිටියනම් මම මඤ්ඤොක්කා(පැයක් විතර ගියා මේ වචනේ ටයිප් කර ගන්න) කොළ වලින් මාල හදලා, පොල් කොළ වලින් මාල ගොතලා එයාගේ කරේ දාන්නවා අම්මපා....  😍 🍀🍀🍀

සිංදුවේ හොඳම හරිය මෙහෙමයි තියෙන්නෙ.... අම්මටයි තාත්තාටයි හොරෙන් ලව් කරන තත්වයක් මට උදාවෙලා තියෙන්නෙ. තව ඕපාදූප හොයන කේළාම් කියන උන්ටත් හොරෙන් තමා මට එමා වොට්සන්ව බලන්න වෙන්නෙ. එමා වොට්සන් යන යන තැන යන්නේ අම්ම එක්ක. කෙල්ල කා එක්ක හරි පැනලා යනවා කියල මල්වර නැකැත හදපු එකා කියන්න ඇති ශුවර් එකටම... ඉතින් හම්බෙන්න වෙලාවක් ඇත්තෙම නෑ. පුළුවන්නම් අම්ම අප්පා නැතුව වරෙන් කියල තමා එමා වොට්සන් ට උනත් කියන්න තියෙන්නෙ...
(හැබැයි සිංදුවේ කියන විදිහට මූ කියන්නෙ කොළඹ පැත්තේ යන්න වරෙන් කියල තංගල්ලෙත් ගිහින් ගල් කිස්සෙත් ගිහින් සීගිරිය පැත්තෙන් කිඹිස්සෙත් යන බලාපොරොත්තුව ඇතිව වෙන්න ඕනි. එහෙම ආවොත් සාරි ඔසරි අරන් දෙන්න ලෑස්ති ලු.) 

මට කියන්න තියෙන්නෙ එමා වොට්සන් ට බකමූණට යන්න වරෙන්, දඹුල්ල පන්සලට ගිහින් එන ගමන් බකමූණ පොලෙන් ඩෙනියමක් සායක් ගමු කියලා තමා... 

ඇයගේ කනේ කරාඹු දාන්නවත් ඇයට මාල අරන් දෙන්නවත් මට තත්වයක් නෑ. ඒත් ඇහැල මලෙන් කරාඹුවක් හදලා දෙන්න හරි,කැලෑ මල් වලින් මාලයක් හදලා දෙන්නනම් මට පුළුවන්...
මේ සිංදුවේ මට හරියටම හරියන කෑල්ලකට තියෙන්නේ එයා ගැන කවි ලියන එක තමා... කවි ලියල ෆේස්බුක් පෝස්ට් දාන එක විදිහට සිංදුවේ හැටියට හරියටම කරන්න පුළුවන් එකම දේ.... 
මේ තියෙන්නේ ඒ සිංදුව....

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶

සිතා සිතා සිතා සිතා නුඹව සිතාලා
නුඹව සිතාල  නුඹ ගැනම සිතාලා සිතාලා
ගොතා ගොතා ගොතා ගොතා මාල ගොතාලා 
මාල් මාල ගොතාලා
මාල් ගොතාලා ගොතාලා....

මේ ගෙලේ බඳින්නම් මාලේ ගෙලේ බදින්නම්...//

ඇස් දෙක වගේ ඔයා රකින්නම්
රාජ කුමාරියක් වගේ රකින්නම් 

ඉරට හඳට හොරෙන් හොරෙන්
ගහට කොළට හොරෙන් හොරෙන්
නඟේ නුඹව බලන්න එන්නම්
මේ අම්ම අප්ප නැතුව වරෙන් 
කොළඹ හතේ යන්න වරෙන්
සාරි ඔසරි අරගෙන දෙන්නම්

කනේ තෝඩු දමන්නම් කරේ මාල බදින්නම් 
මාල බදින්නම් කනේ තෝඩු දමන්නම්
කුමාරියක් වගේ රකින්නම් 
රාජ කුමාරියක් වගේ රකින්නම් 

නුඹ ගැන මම හිතලා හිතලා 
ආදර කවි ලියල ලියලා
ලිපියක් මම ලඟදි එවන්නම්
හොඳ නැකතක් එනවා බලලා
පෝයට හඳ එනවා බලලා
සාහෙට මම කැන්දන් යන්නම්

සහේට ගන්නම් ඔයාව කැන්දන් යන්නම්
කැන්දන් යන්නම් කරේ මාල බදින්නම් 
කුමාරියක් වගේ රකින්නම් 
රාජ කුමාරියක් වගේ රකින්නම් 

මම තේරුම් ගත්තා මේ ගීතය මට ගැලපෙන්නේ නෑ කියල. ලබන ආත්මේ පරම්පරාගත පෝසතෙක් වෙන්නෝන කියල හිතා ගත්තා ඊට පස්සෙ..😂
මට මේ සිංදුව ගැලපෙන්නේ නැති උනත් මම ගලපගන්න උත්සාහ කර කර බකමූණට ආවා. බකමූණෙන් නැන්ගා දඹුල්ල බස් එකට. උදේ 6.50ට බකමූණේන් දඹුල්ලට යන බස් එකේ දාන්නේ පට්ට නෝර්මල් සිංදු. ඒවා කවදාවත් පරණ වෙන්නෙ නැති පරම්පරා ගානක ගීත... මේ බස් එකෙත් පිටිපස්සෙම සීට් එකේ ජනේලේ ගාව තමා මම නතර උනෙ. මම කලිනුත් කීවා වගේ සමහර ගීත ඇහෙන්නෙ අපේ වෙලාවටම තමා...

බස් එක යනවා 100ට විතර. මම ජනේලයෙන් එළිය බලාගෙන ඉන්නකොට මට පට්ටම ගීතය ඇහෙන්න ගත්තා. උදේ අහපු ගීතයට වඩා 100%💯 ගැලපෙන මට හරියනම ගීතේ එක්ක ඒකාත්ම වෙන්න මට පුළුවන් උනා... ගීතයේ චිත්ත රූපවල රඟ පාන්න ආයෙත් නිම් හිම් සෙව්වා මා සසරේ කියල ගන්න උනේ එමා වොට්සන්. කවදාවත් දැකලා නැති කෙල්ලෙක් ගේ ලස්සන එක්ක චිත්ත රූප මවනවට වඩා පොඩි කාලේ ඉදලා දැකපු එමා වොට්සන් අක්කට ආදරේ කරන එක පට්ට කියල මට හිතිලා තියෙන්නෙ අම්මපා... ටිකක් වැඩිමහල් උනත් කමක් නෑ ! අම්මපා මම කියන්නෙ.... !!

මේහෙමයි ඒ ගීතයේ කීවෙ. මේ ගීතය මට පට්ටම සංවේදී...

එමා වොට්සන් ගිණි කිරිල්ලියක් වගේ කියලයි හැමෝම කියන්නෙ... ඒත් ගිණි කිරිල්ලියක් මම දැකලා නෑ. මම දැකලා තියෙන්නෙ ලස්සනම හුරතල් ම සතා තමා මාල ගිරවි. එමා වොට්සන් මට මාල ගිරවියක් වගේ... 

එමා කවදාවත්  දැකලා නැති දේවල් මට පෙන්වන්න පුළුවන්. එමාට මගේ රටට එන්න වෙන්නේ පියාඹලා ප්ලේන් එකෙන්. එහෙම ඇවිත් මගේ ගමට එක්කන් ඇවිත් පැණි කෝං කඩලා දෙන්න, පැණි මොර කඩලා දෙන්න, දඹ කඩලා දෙන්න,කුඹුරු යායේ ඇවිදින්න මට පට්ටම ආසයි. වැවට ගිහින් නෙළුම් මල් හරි මානෙල් මල් හරි කඩන්නත් පට්ටම ආසයි. මම කැලේ ගැන, ඇළවල් ගැන, වැව් ගැන, ගස් ගැන, දන්න දේවල් දැකලා එමා පුදුම වෙනවා බලන්න මම ආසයි. ඔයානම් මාරයි අකිල කියලා එමාගේ කටින් අහන්න තමා මේ උත්සහය... (වැවනම් හිදිලා ඇත්තේ.. කමක් නෑ, ඉස්කෝලේ විලේ හරි නෙළුම් කඩතහැකි එනවනම්) 

මම රටින් කෑල්ලක් ගෙනාවා කියල දැන ගත්ත ගමන් අවට ගම් හතෙන්ම එකි මෙකි නොකී උන් එන්න පටන් ගනී. එමා වොට්සන් කියල දැන නොගත්තත් සුද්දියක් ගෙනල්ල අකිලයා කියල මගේ නෑයෝ කියන හැතිකරේ ගෙදරට එයි. "කොහොම හිටිය එකෙක්ද", "මූට මොකට කැමති උනාද දන්නේ නෑ" කිය කිය උන් අපේ ගෙදර එමා බලන්න ඒවි.. 
                මං වගේ හිඟන්නෙක් නෙවෙයිනෙ එමා වොට්සන් කියන්නෙ... එයාගෙ ඇදුම් පැලදුම් මාල කරාඹු වෙනස්නෙ.. ඉතින් මගේ නෑයො "ඉමිටේෂන්ද දුවේ" කියල එමාගේ මාලේ අතගාලා අහනවා කියල මට ශුවර් ය. "මේ ඇදුම් කොහෙන්ද ගත්තේ" , "බාල රෙදි", කියා මගේ එමාගේ රෙදි පවා මගේ නෑයන් අත ගාලා බලනවා ශුවර් ය...

එමා වොට්සන් සංවේදී කෙල්ලෙකි. එයා මගේ ජීවිතේ දැක පුදුම වී ඇත. ඒ වගේම ඇයට ගොඩාක් දුකය. මම මේසන් බාස් කෙනෙකුට අත්වැඩ දුන්නු බව දැන ගත්තාම ඇය දුක් උන විදිහ මට තාමත් මතකය... "ඔයාට සල්ලි ප්‍රශ්නයක් තියෙනවානම් කියන්න මට " එදා මගේ ඇස් වලට ආපු සතුටු කඳුළු අදත් එලෙසම ය. ඇයට ආදරේ කිරීම ගැන මට ආඩම්බර විය හැක..... 

(මේ මොහොතේ මට මතක් වෙන්නෙ කපුගේ මහත්තයාගේ සිටු කුමාරියේ ගීතයයි. ඇත්තටම ඇයට සීතල අගුණ බව මම හොඳින්ම දනී. ඇයට සෙම වැඩි වෙනවාට මම කැමති නැත.) 

එමා වොට්සන් ගමේ ප්‍රශ්න ගැන ගොඩාක් දුක් වෙනවා. "ඇයි අකිල ඉන්ටනෙට් යන්න ලිද ගාවට යන්නේ" කියා ඈ අසාවි. මෙහෙට සිග්නල් නැති බවත් ඇය දැන ගෙන ඒ ගැන ද බෙහෙවින් දුක් වේවි. ඈ එක්ක චැට් කරන්න මම විදින දුක දැක ඈ කදුළු සලයි. "හිටං ෆ්‍රී වයිෆයි දෙනවා කීවට සිග්නල් නෑ කෝල් එකක්වත් ගන්න" යැයි ඈ මැසිවිලි නගන බවත් මට විශ්වාස ය. ඇයට දුකක් දීමට මට අවශ්‍යය නැත. එනිසා ඇයව අමතක කර ඇයට හොඳ ඇයගේ මට්ටමේ කොල්ලෙක් ලැබේවා කියල පාර්ථනා කරමි. නමුත් ඇයට මාව විශ්වාස ය. මගේ සාර්ථකත්වය ඇය හොදින්ම විශ්වාස කරන බව මා දනිමි. එනිසා මට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ 

🎶ඒ නිසා තවත් ටික දවසක්‌ ඉවසමු අපි කුමාරී🎶
කියාය....

මේ තියෙන්නේ ඒ ගීතය...

🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

මාල ගිරවියේ මාල ගිරවියේ
මට ඔබත් එක්‌ක අපේ ගමට පියාඹන්න ආසයි
මම දන්න කියන ගහකොළ මල්
පෙන්නන්නට ආසයි

දුර නෑයෝ පවා ගේ දොරකඩ
එකතු වෙලා හිඳීවී
නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී
මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී

මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී
අපෙ නැතිබැරිකම් මේ තරමට
අමිහිරි දැයි අසාවී
ඒ නිසා තවත් ටික දවසක්‌ ඉවසමු අපි කුමාරී

කොටින්ම 

ඉතින්, කතාව එපමණය.... වියදම අපමණය.....

#අකිල


No comments:

Post a Comment