Monday, December 21, 2020

👉 මගේ ප්‍රේම කතාව කරුණාරත්න දිවුල්ගනේ මහතා සමඟ.... 👈

 


අහම්බෙන් මුණ ගැසුනු ඈ සමඟ ප්‍රේමෙන් බැදෙන්නේ ඇයිද කියාවත්, එසේ වූයේ කෙසේද කියාවත් මා නොදනි.. තවම ඇගේ මූණ මා දැක නැත. ඇයට පොටෝ එකක් එවන්න කීවත් තාම එව්වේද නැත. නමුත් ඇයට මා ආදරේ කරන්නේ යැයි මට හැඟේ. ඇයත් එසේද කියා මා නොදනිමි. මා වැනි ගොඩයෙකුට ඈ කිසිදා ආදරේ නොකරන බව මට හැඟුනත් එය පිළිගැනීමට මගෙ සිත සූදානම් නැත. කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ මේ ගීතයේ පළමු කොටස පමණක් ඇයට කීමට මට අවශ්‍යය වී ඇත. (පළමු කොටස පමණයි මට කියන්න අවශ්‍යය . ඒකට හේතුව යටින් දාන්නම්)

ඇයට කියන්න අවශ්‍යය පළමු කොටස..

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැදි කාරණේ මා
තවම සොයන්නෙමී...

ඇයට නොකියන දෙවන කොටස තමා මේ යටින් තියෙන්නෙ. පළමු කොටස විතරක් ගත්තේ මුළු ගීතයම ගත්තොත් මගේ ආදරේ නෙවේ ඇයට කියන්න වෙන්නේ නිසා. මොකද මේ ගීතයේ කියන්නේ සමලිංගික ඇසුර සාධාරණ සුන්දර දෙයක් කියන එක.. මුල් කොටසේ පදවල ඒක නෑ. බොළද ශාවකයාට ආදරණීය ගීතයක් කරලා, බුද්ධිමත් ශාවකයට විතරක් තේරුම් යන්න මේ ගීතය ලියල තියෙනවා.

ලෝක ස්වභාව අනුව පිරිමියෙක් ප්‍රේම කරන්නෙ කාන්තාවකට හරියට කාන්තාරය සූර්ය රශ්මියට ප්‍රේම කරනව වගේ. නමුත් කාන්තාරයට අවැසිනම් නිතරම නොලැබෙන වර්ෂාවට උනත් පණවගේ ආදරේ කරන්න පුළුවන්. අපූරු උපමා යොදාගනිමින් යමුනා මාලනී නම් පද රචිකාව ඉතාම සංයමයෙන් සමලින්ගික ප්‍රේමයක පැටලුනු අයෙකුගේ සිතුවිල්ලක් මෙහි ප්‍රකාශවෙනව. එනම් ලෝක ධර්මතාවයට අනුව ගැහැණියක් හා පිරිමියෙක් එකිනෙකාට ආලය කිරීම සිදුවූවත් විශම ලිංගිකත්වයෙන් ඔබ්බට ගොස් සමලිංගිකයන් කෙරේත් ආදරය නම් හැගීම ඇතිවිය හැකි බවයි. මෙම පදපෙල අවසානයේ රචකයා යොදා ඇති "ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්.. කරනු බැහැ තහනම්.." පද පෙලින් සමලිංගික ආදරය සම්මතයෙන් ඔබ්බට ගොස් අසම්මතයේ ක්‍රියාවක් බැවින් මෙකී සෙනෙහස ලොවෙන් සගවනා සෙනෙහසක් බවත් කිසිවෙකුට ඒ හැගීම යටපත් කරන්නට බැරි බවත් කියන්න උත්සාහ කරනව... 

කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
ඇතත් ලෝ දහමින්
සොදුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස 
ඒ වගෙයි මනරම්
කරනුබැරි තහනම්

ගීතයේ අවසන් කොටසෙදිත් පද රචකයා සිංහල භාෂාවේ තිබෙන හරිම සුන්දර වචන උපමා උපමේ යොදාගනිමින් තමා අපට මේ අසම්මත කතාව පැහැදිලි කරන්නෙ. "සදට සදහට සෙනේ පෑ මුත් උදුල තරු කැටයම්..." සද , තරු දෙකම අයිති රාත්‍රි අහසට ඒක තමා ලෝක සම්මතය.. සද තරුවටත්, තරුව සදටත් පෙම් කරනව ... ගැහැණිය පිරිමියටත් පිරිමිය ගැහැනියටත් වගේ... සම්මතය එපරිදි උනත් ඒ සම්මතයට එපිටින් ගිහින් සදට පෙම්බදින්නෙ නැතිව දිවා කාලයේ හිරුට පෙම්බදින අයත් ඉන්න පුළුවන් නේද.... ? කියල තමයි අවාසාන පදයෙන් අහන්නෙ.

සදට සදහට සෙනෙහෙ පෑමුත් 
උදුල තරු කැටයම්
හිරුටපෙම් බැදි එකම තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැගෙන මගේ ප්රේුමය
ඒ වගේ මනරම්
පුදුමවෙයි නුඹ නම්

ඇත්තටම මම මුල් කොටස විතරක් ගත්තේ ඒකයි මගේ ආදර කතාවට...
ඇය පොටෝ එව්වෙත් නෑ මම ආදරේ කීවෙත් නෑනේ තාම. 
මේ වර්තමානයනේ.. තාම ආදරේ පටන් ගෙන නෑ. ටිකක් අනාගතේට යමු...

-------------------------------

අනාගතේ දවසක

මේ අනාගතයයි. ඇය මගේ පෙම්වතිය වී අවසානය. තනිකඩව හිටි සුන්දර ජීවිතයක් ගෙවපු ඒ සෑම කොල්ලෙක් ම මූණ දෙන කටුක කාලය මටත් උදා වී ඇත. මන්ද මට දැන් කෙල්ලෙක් ඇත. ඈ නැලවීම හැර වෙන කිසිවක් කිරීමට මට නැත. පොඩි ළමයි නළවන්න අමාරුය. නිතරම අඩන ගෑණු ළමයි ඊට වඩා අමාරුය. ඇයයි මායි ආදරේ කලද නිතරම ඇය මට කේස් එක දමයි. නිතරම රණ්ඩු හා හිතුවක්කාර වැඩ කර මගේ ලේ පුච්චයි. ඉතින් මම ඇයට බැන්නාම ඇය ශෝකි මූණක් ගෙන අහක බලාගෙන,කතා නොකර, මගේ මැසේජ් වලට රිප්ලයි නොකර, මගේ පෝස්ට් වලට ලයික් නොකර සිටි. එය මට මහත් වේදනාවක්‍ ය. 

උඹ ඕනි දෙයක් කර ගනින් කියලා එළවා දැමීමට හිත ඇත. මගේ හිතත් ගෝත්‍රික ගතිය නිසා ඇයට නිදහස නොදෙන මට්ටමකට ඇවිත් ඇති කියා විටෙක මටම සිතේ... මගේ කිරිල්ලී කූඩු කර ඇත්තේ ඇය යාවි කියා බයටය. ඇය යනවට මම ආස නැත්තේ ඇයට ආදරේ නිසාය. එක එකා එක්ක මැසේජ් කිරීමටවත් එක එකා එක්ක රණ්ඩුවට යනවටත් මා කැමති නැත්තේ ඒකය. ගෝත්‍රික පිරිමියා මා වෙලාගෙන අවසානය...

මම මොනවා කීවත් මුළින්ම ඇය කියන්නේ බෑ කියාය. මට විරුද්ධව තර්ක කරන්නේ මට ආදරේ නිසාද කියා මට තේරෙන්නේ ද නැත. මම කේස් එක දැම්මාම ආය කැත දුක හිතෙන ඉමොජි එකක් ඇය මට එවයි.😭😭😭
පස්සේ ටික වෙලාවක් ගියාම ශේප් වීමට ලස්සන හිනාවක් තියෙන ඉමෝජියක් එවයි.😀😀😃😄😅 ඒ ආදරේ නිසා වෙන්න ඇති බව මට සිතෙන්නේ මාත් ඒ වගේ නිසායි.

එයාට උදේට ගුඩ් මෝනින්ග් කිව යුතුය. රෑට ගුඩ් නයිට් කිව යුතුය. ඔය අතර තව කොටියක් දේ ඇත මග මඟ නොහැර කිරීමට. ඔය එකක් හරි මඟ ඇරුනොත් ඇය සැනසීමට සියළු වැඩ දලා ගසා ආය යා යුතුය. ආදරේ යනු එයම බවය ඇගේ හැගීමයි. නමුත් ඒ ආඩම්බරකම බව ඇය තේරුම් ගන්නෙ නැත. කෑවද කියා ඇගෙන් ඇසුවාම ඔයාට මොකද කිය ඇසීමට මා අකමැති බව ඈ දනී. කාලා නෑ. අපි දෙන්නම කමු කියන එකට මාත් ආසය. එයාට බත් කවන්න බැරිය. ඇය ඉන්නේ කිලෝමීටර් 177 විතර දුරිනි. 
යටින් තියෙන්නේ ඒ කතාවයි.....

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

සුසුම් ලමින් මගේ දිහා අමනාපෙන් බලයි
එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි 
බැරි උනම තැනදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි 
ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි 

රණ්ඩු කරන කිරිල්ලී
යන්න හදයි ඉගිල්ලී...
රණ්ඩු නොකර කිරිල්ලී
නොයා ඉඳින් ඉගිල්ලී...

මම දෙයකට හා කිව්වම නුඹ මට බැහැ කියයි 
විරසකයෙන් මුහුන නොරුක් කරන් කාලේ ගෙවයි 
යලි මදසක් හෙලා 
යලි මදසක් හෙලා කියනා දේ නම් මට හැඟෙයි 
ලෙංගතුකම වැඩි උනාම මමත් ඔහොම තමයි 

රණ්ඩු කරන කිරිල්ලී......

මට අතපසු උනොත් යමක් බොහොම දුකින් හිඳියි 
ඒත් හිතේ යටින් ඇත්තේ ආඩම්බරකමයි
නුඹ යළිත් ලංවෙලා 
නුඹ යළිත් ලංවෙලා කවනා බත්කට මට රසයි 
අහිංසකයි රණ්ඩු කලත් කිරිල්ලී මට අගෙයි

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

-------------------------------------

කාලය මෙසේ ගෙවෙයි. 

අපි තරහා වෙවී යාළු වෙවී දැන් මාස ගානක් ආදරේ කර ඇත. කාලයත් එක්ක ආදරේ අඩු බව මට හැඟෙන්නට පටන් ගෙනය. මම ඇයට ටැග් කර දාමා තිබූ මගේ කවි සේරගෙම ඇය ටැග් රිමු කර දමා ඇත. ක්‍රම ක්‍රමයෙන් අපි වෙන්වී ඇති බව මට හැඟෙන්නට පටන් ගෙනය. වෙනදා සී ෆස්ට් තිබූ ඇය දැන් මාව බ්ලොක් කර ඇත. ඇයව සී ෆස්ට් දමා තිබූ මාවත් බ්ලොක් කර ඇත. ඇයව නිකම් පුරාවෘත්තයක් වගේ හිතේ රැදිලා ඇත. ඇගේ ප්‍රොක්ටර් එකද මැවි මැවී පෙනුනත් මට පෙන්වන්නේ නැත. මම කොහොමද අමතක කරන්නේ ඒ ප්‍රොපයිල්  එක...

බැරිම තැන මම ෆේක් එකක් හදාගෙන ඒකෙන් රික්වෙස්ට් එකක් දමා ආදරේ කියන්න උත්සාහ ගතිමි. ඒකත් බ්ලොක් කළ පසු මම හිම කුමරා හා අනන්තෙන් ආ තරු කුමරා හැදුවත් ඒවත් බ්ලොක් විය. පස්සෙ කුමරියකගේ ෆේක් එක්කින් ආදරේ කීවත් වැඩේ සාර්ථක නැත. මට කීමට ඇත්තේ ගුණදාස කපුගේ මහතා කියන උඹට යන්නම ඔනෑනම් උඹ යන්න ඉතිම් කියන ගීතය ය. (කරුණාරත්න මහතාගේ සිංදු සමඟ කපුගේ මහතාගේ සිංදුවක් ප්ලේ උනාය) දැන් මටත් එපා වෙලා. ඇයව ඕනි නෑ කියල දැඩි ගැම්මක් අරන් ෆේස්බුක් එකවුන්ට් සේරම අයින් කර දැමීය.

ඈ මා සමඟ ගත කල කාලයේ සෙල්ෆි මා ගාවය. ඒවා ලීක් කිරීමට මට අවශ්‍ය නැත. සමහරවිට මම ඇයව තෘප්තිමත් කරේ නැතුවා වත්ද... ?ඔව්වා අහන්නෙ කොහොමද... කමක් නෑ. තියෙන සෙල්ෆි මන් බල බල ඉන්නවා. කමක් නෑ කියා මා සිතා ගතිමි. එයා ගියාට මගේ ආදරේ එයාට විතරයි කියල මම හිතා ගමි.

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ.. 
එය මකා දමා ගිය හැටි රහසේ..
නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ..
පෙම් පුරාවතක්.., නිමා කරන්නද මා කෙලෙසේ...

නුඹ යන්නම යන්නම යනවානම්
මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්...//
යලි එන්නනම එන්නම හිතුනේ නම්
නුඹ එන්න එපා මගෙ හිත තහනම්..

හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
දුන් සතුට එපමණද මට පවසම්...//
සඳ එලිය පොළොවටයි හිමිවූයේ..
සඳ අහසෙ රැදුනාට රත්තරනේ...

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

---------------

අවුරුදු 3කට පසුව...

ඇය නව පෙම්වතා සමඟ විවාහ වී ඇත. මම ඒ ගැන සතුටු විය, මන්ද ඇයගේ සැමියා සල්ලි කාරයෙකි. නමුත් සල්ලිවලට සතුට ගන්න බැරිය. හා හා නැත..නැත... ඔබට මතක් වූ පාමසියෙ තියෙන්නේ සතුට නෙවේ, ඒ උපත් පාලකයකි. 
ඇයට මාව හම්බෙන්නවත් මට ඇයව හම්බෙන්නවත් පිණ නැත. මගේ ප්‍රථම ප්‍රේමය මට අමතක කිරීමට බැරිය. මිතුරන් කියන විදිහට ප්‍රථම ප්‍රේමවල් කීපයක් මට නැත. 

මම ඇය සමඟ නැටූ හැටි මට මතකය. පැල්ලම් මට ඇති මුත් ඇයට නැත. මට නැති වෙන්න දෙයක් නැත. ඇයට තිබූ දේ නැති උනේ මගෙ අතින් බව මට මතකද නැත. පොඩි කාලේ බයිසිකල් පැදීම නිසා විය හැක. ඉතින් ප්‍රශ්නයක් ඇත. වැරදි කාරයා මමද ඇයද ඇයගේ සැමියාද කියා මම නොදනිමි.

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ... //

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුනිද ලඳුනේ..
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැදුනේ...

ආ මඟ වැරදී ඔහුද ඔබද මා
දෛවයේ තුන්මංසල හමුවී..
බලා හිඳිනු මිස හඬාවැටෙන්නට
කඳුලක් නැ දෙනුවන පිපුනේ...

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

------------------------

අවුරුදු 7ක් පමණ ගොස් ඇත... 

මේ කාලය පුරාවටම මා කාල කාල බීමට පුරුදු වී ඇත. මගේ රැව්ල වැවී ඇත. පෙනහල්ලේ, අක්මාවේ, ගර්භාෂයේ පිළිකා හැදී ඇත... ආ නැත ආමාශයේ විය යුතුය. කොටින්ම මාව දකින අයට දේව්දාස් ෆිල්ම් එක මතකයට එනු ඇත. මාත් චරිතයට උපරිම සාධාරණයක් කිරීමට උත්සහ කරමි. අවසානයේ මගේ අනාගතේ මට පැහැදිලි විය. මගේ අවසාන ෆේස්බුක් පෝස්ට් එක මේ සිංදුව දමා තිබෙන්නට පුළුවන. ලංකාවේ මාධ්‍ය හා ගොසිප් සයිට් හා ෆේස්බුක් පේජ් මගේ ජීවිත කතාව හා මගේ මිනිය විකුණගෙන කනු ඇත. මොකද උන්ට මිනියක් පේන්න බැරිය. මන්ද ලාංකිකයන් ඒ තරමට සදාචාරාත්මකය.

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

ඔබ මා හමුවුන මේ ඉර හද යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී
මගෙ ළග තනියට ඉනු මැනවී

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පරවූ පෙම් මල....//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී....//

කදුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි....//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළග තනියට ඉනු මැනවී....//

🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵🎶🎵

කතාව මෙපමණය... වියදම අපමණය...

මේ ගීත මාරම ලස්සනය. හොයාගෙන අහන්න පුළුවන්නම් ඔබ වාසනාවන්තය... ඔක්කොම කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ය.
තාම මම වර්තමානයේ ය. ඇය තාම පොටෝ එකක් එව්වෙවත් මම ආදරේ කිව්වෙවත් නැත. මේ පෝස්ට් එක දැක්කට පසු එවන්නේද නැත..😂. බිත්තර කරකන සාත්තර කාරයෙක් ගෙදර ආවාම බීඩියක් දී මම මගේ අනාගතේ අහගත්ත විදිහයි මේ.

2017/09/25 ලියූවකි....

#අකිල



No comments:

Post a Comment